කාබනික පොහොරින් ලොව දිනූ රටවල් | දිනමිණ

කාබනික පොහොරින් ලොව දිනූ රටවල්

සහ­තික කරන ලද කාබ­නික කෘෂි නිෂ්පා­ද­න­යෙහි නියැ­ළුණු ගොවීන් 835,000කට ආසන්න සංඛ්‍යා­වක් භාර­ත­යෙහි සිටින බව 2018 වස­රේදී කරන ලද අධ්‍ය­ය­න­ය­කින් අනා­ව­ර­ණය වූයේ ය. ඩොමි­නි­කන් රාජ්‍ය ඉතා සාර්ථක ලෙස කාබ­නික වගා­වට යොමුව ඇති තවත් රාජ්‍ය­යකි.

මේ දිනවල කාබනික පොහොර භාවිතයට හුරු වීම ගැන නිතර නිතර කතා කෙරෙනු දක්නට පුළුවන. කාබනික පොහොර භාවිතය කාබනික කෘෂිකර්මාන්තයේ එක් වැදගත් අංගයකි. කාබනික පොහොර භාවිතයෙන්, කාබනික ගොවිතැනට රුකුල් දීමක් සිදු කෙරේ. රටක් කාබනික ගොවිතැනට යොමු වීමෙන් පරිසරයටත්, මිනිස් සමාජයටත් අබමල් රේණුවක තරමේ වරදක් සිදු වන්නේ නැති බව විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයෝ අවධාරණය කරති. කාබනික පොහොර භාවිතයෙන් දිරි ගැන්වෙන කාබනික කෘෂිකර්මාන්තය, එහි ඇති වාසි, වත්මන් ලෝකයේ කාබනික කෘෂිකර්මාන්තය සිදුවන අන්දම පිළිබඳව බොහෝදෙනෙකුට අමතකව ඇති සෙයකි.

කාබනික කෘෂිකර්මාන්ත පිළිබඳ සංවිධානයන්හි අන්තර්ජාතික ෆෙඩරේශනය සඳහන් කරන්නේ කාබනික කෘෂිකර්මාන්තය පසෙහි, පරිසර පද්ධතිවල සහ ජනතාවගේ නිරෝගිමත් බව නොනසා පවත්වාගෙන යන ගොවිතැන් ක්‍රමයක් බවයි. කාබනික කෘෂිකර්මාන්තයේදී අහිතකර බලපෑම් සහිත යෙදවුම් භාවිත විමක් සිදු නොවන අතර එය පාරිසරික ක්‍රියාවලීන්, ජෛව විවිධත්වය සහ දේශීය තත්වයන්ට අනුවර්තනය වූ චක්‍ර අනුව සිදු කෙරේ. කාබනික කෘෂිකර්මාන්තය සම්ප්‍රදාය, නවෝත්පාදනය හා විද්‍යාව යන ක්ෂේත්‍රවල ඒකාබද්ධතාවෙන් සිදු කෙරෙන්නක් බවත්, පරිසරයට සහ සියලු දෙනාට ම යහ ජීවන තත්ත්වයක් එමඟින් අත් කෙරෙන බවත් එම ෆෙඩරේශනය ඉදිරිපත් කරන අර්ථ දැක්වීමෙහි සඳහන් වේ. කාබනික අස්වනු ගැනීම හුදෙක් භෝග වගාවට පමණක් සීමා වූවක් නොවේ. සත්ත්ව ගොවිපොළ ද කාබනික ක්‍රම අනුගමනය කරමින් පවත්වාගෙන යා හැකි ය. සරලව කිව හොත් භෝග වගාව සහ ගොවිපොළ සතුන් ඇති කිරීම, ස්වාභාවික ක්‍රම අනුව සිදු කරගෙන යෑම කාබනික කෘෂිකර්මාන්තයට අයත් වේ.

පරිසර මිතුරු බව

කාබනික ගොවිතැනේදී බහුලව ම භාවිතයට ගැනෙන්නේ ජෛව විද්‍යාත්මක ද්‍රව්‍ය ය. එහිදී වල් පැළෑටි පාලනය කරන්නේ ඒවා අතින් උදුරා දැමීම, බිම් කෙටිම, කපා දැමීම, තාපය භාවිත කිරීම වැනි ක්‍රම උපයෝගී කරගනිමිනි. කාබනික කෘෂිකර්මාන්තයේදී කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත නොකෙරේ. ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතයෙන් වැඩිදියුණු කෙරුණු ජීවින් සහ ශාක, කාබනික කෘෂිකර්මානතයේදී මුළුමනින්ම බැහැර කෙරේ. එහිදී පොහොර වශයෙන් යොදා ගැනෙන්නේ කොම්පෝස්ට් පොහොරය. කාබනික කෘෂිකර්මාන්තයේදී පස සරු කර ගැනෙන්නේ බෝග මාරුකරමින් වගා කිරීම, වගාවන්ට හරිත පොහොර (green manure) යෙදීම, කාබනික අපද්‍රව්‍ය යෙදීම වැනි ක්‍රමවලිනි. වගාවට පැමිණෙන කෘමින් විනාශ කිරීම සඳහා ලොව බොහෝ කාබනික වගාවන්හිදී පාවිච්චි කෙරෙන්නේ කපුරු මල්වල ඇති පයිත්‍රීන් වැනි ස්වාභාවික රසායනිකයන් ය. එවැනි අවස්ථාවලදී මෙරට සාම්ප්‍රදායික වගා ක්‍රමවලදී නම් කොහොඹ ඇට යොදා ගැනේ. ස්වාභාවික ක්‍රම උපයෝගී කරගන්නා නිසා පසෙහි සහ පරිසරයේ සමතුලිත බව කාබනික වගාවෙන් ආරක්ෂා කෙරේ. අනෙක් අතට ඉසින යන්ත්‍ර යොදාගෙන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය ඉසීමක් කාබනික කෘෂිකර්මාන්තයේදී සිදු නොකෙරෙන බැවින් පරිසරයට බැහැර කෙරෙන දූෂක සහ අපද්‍රව්‍ය ප්‍රමාණය ද බෙහෙවින් ම අඩු ය.

වත්මන් කෘෂිකර්මාන්තයේදී රසායනික පොහොර, රසායනික පළිබෝධ නාශක, රසායනික වල්නාශක සහ රසායනික කෘමිනාශක භාවිතය ඉතා ඉහළ ය. එමඟින් ජල මූලාශ්‍රයවලට බැර ලෝහ එකතු වන්නේ යැයි සංවාදයක් ඇති වී තිබේ. එවැනි තත්ත්ව සම්බන්ධයෙන් අප රටෙහි ද විශාල කතාබහක් ඇති වී තිබෙන බව මෙහිදී මතක් කර දිය යුතුව ඇත. පානීය ජල මූලාශ්‍රය එවැනි රසායනික හේතුවෙන් දූෂ්‍ය තත්ත්වයට පත් වූ විට මිනිසා භයානක ලෙඩ රෝගවලට ගොදුරු වේ. ශ්‍රී ලංකාවේ පැතිර යන වකුගඩු රෝගය සම්බන්ධයෙන් ද විද්වතුන් මෙවැනි මත ඉදිරිපත් කර ඇති බව අප අමතක නොකළ යුතු ය. ගංගාවලට කාබනික නොවන (අකාබනික) කෘෂි රසායනික ද්‍රව්‍ය එක්රැස් වීමෙන් වඩාත් විපතට පත් රටක් හැටියට ඇමෙරිකාව දක්වන්නට පුළුවන. කෘෂිකර්මාන්තයේදී පරිහරණයට ගන්නා විනාශකාරී කෘමිනාශක, රසායනික පොහොර සහ සත්ත්ව අපද්‍රව්‍ය ඇමෙරිකාවේ ගංගාවලට එකතු වීම නිසා ඒවායෙහි ජලය දූෂ්‍ය තත්ත්වයට පත්ව ඇති බව අනාවරණය කර ගැනිණ.

ඇතැම් බෝග වර්ග කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිත කර වගා කෙරෙන විට පසෙහි ඇති විවිධ සංඝටක අසාමාන්‍ය ලෙස ඒවා මඟින් අවශෝෂණය කෙරේ. පුලුන් වගාව එහිදී නිදසුනක් හැටියට දක්වන්නට පුළුවන. කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය යොදා පුලුන් වගා කරන විට විශාල වශයෙන් ඊට ජලය අවශ්‍ය වේ. කාබනික ක්‍රම පාවිච්චියට ගෙන පුලුන් වගා කරන විට එම වගාවට අවශ්‍ය වන්නේ සාපේක්ෂව අඩු ජලය ප්‍රමාණයක් බව අධ්‍යයනයන්ගෙන් තහවුරුව ඇත.

නීරෝගී සුවයට තිත

වගාවන්ට රසායනික ද්‍රව්‍ය ඉසින විට එහි අහිතකර බලපෑම පරිසරයේ සිටින බොහෝ ජීවී විශේෂ වෙත එල්ල වන බව අපට සිතෙන්නේ නැත. පරිසරයට කිසිදු හානියක් සිදු නොකරන පක්ෂී විශේෂ, සමනලයන්, මීමැස්සන් වැනි සතුන්ගේ ජීවන චක්‍රවලට, ඔවුන්ගේ වාසස්ථානවලට එමඟින් හානි කෙරේ. එනිසා ඇතැම් ජීවී විශේෂවල ගහනය අඩු වීමත් තවත් සමහර ජීවී විශේෂ වඳ වී යෑමත් සුලභ වී ඇත. කාබනික ගොවිතැනේදී පරිසරයේ ජීවත් වන, වගාවට හිතකර ජීවීන්ට වගා භූමියට පැමිණෙන්නට දිරිදීමක් සිදු වේ. එනිසා ඇතැම් ජීවිහු වගා බිම පිරිසිදු කිරීමටත්, වගා බිම සිටින කෘමින් අල්ලාගෙන කෑමටත් යොමු වෙති. පරිසරයේ ජීවී විවිධත්වය ආරක්ෂා කර ගැනීමට ඉවහල් වන්නේ කාබනික ගොවිතැන බව මේ නිසා අමුතුවෙන් කිව යුතු නොවේ.

කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිතයට ගෙන කෙරෙන ගොවිතැනේදී පරිසරයට විමෝචනය කෙරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව ඉහළ ය. මේ නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට එය රුකුලක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කාබනික ගොවිතැන මඟින් එවැනි තත්ත්වයක් මතු නොකෙරේ.

මානව ශිෂ්ටාචාරයේ ආරම්භක අවධිවල සිට ම කෘෂිකර්මාන්තය වර්ධනය වූයේ කෘත්‍රිම රසායනිකයන් භාවිත කරමින් නොවේ. කෘෂි රසායනිකයන් ලොව පළමු වරට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන්නට පටන් ගත්තේ දහනව වන සියවසේ මැද භාගයේ සිට ය. සත්‍ය වශයෙන් ම කිවහොත් පළිබෝධ නාශක යුගය ආරම්භ වන්නේ එක්දහස් නවසිය හතළිස් ගණන්වල සිට ය. කෘත්‍රිම රසායනික භාවිතයට ගැනීමෙන් කෙටි කාලයක් ඇතුළත පහසුවෙන් වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වූ බැවින් මිනිස්සු ඉතා වේගයෙන් ඒ දෙසට ඇදෙන්නට පටන් ගත්හ. එහෙත් පස සෝදා යෑම, පස නිසරු විම, පරිසරය, පස සහ පානීය ජල මූලාශ්‍රය දූෂ්‍ය වීම වැනි පාරිසරික ගැටලුත්, කෘත්‍රිම රසායනික යෙදු ආහාර භාවිතයට ගැනීම නිසා මිනිසා නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරු වීමත් වැඩි වන්නට පටන් ගත්තේ ය. මිනිසාට පිළිකා වැලඳීමට එක් හේතුවක් වන්නේ කෘෂිකර්මාන්තයේදී කෘත්‍රිම රාසයානිකයන් භාවිතය යැයි විද්වතුන් අතර මතයක් ඇති වී තිබේ.

මේ ආදි කාරණාව හේතු කරගෙන කාබනික වගාව වෙත යොමු වීමේ අවශ්‍යතාව පැන නැඟීමත් සමඟ ම ඒ සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යයනයන් සහ පර්යේෂණ වැඩි වන්නට වූයේ ය. කෙසේ වූවත් කාබනික වගාව වෙත යොමු වීමට අවශ්‍ය පදනම දැමුවේ ඉංග්‍රීසි ජාතික ඇල්බර්ට් හොවාර්ඩ් සහ ගේබ්‍රියෙල් හොවාර්ඩ් යුවළ බැව් නොකියා ම බැරි ය. ඔවුහු උද්භිද විද්‍යාඥයෝ වූහ. ඉන්දියාවේ භාවිතයට ගැනෙන සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම ඔවුන් දෙපළ ප්‍රචලිත කරන්නට පටන් ගත්තේ 1921 තරම් කාලයේ සිට ය. ඉන්දියාවේ තිබෙන සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම සම්බන්ධයෙන් උනන්දුවක් දැක් වූ ප්‍රථම ඉංග්‍රීසි ජාතිකයෝ ද ඔවුහූ ය. එලෙස ආරම්භ වුණු කාබනික වගාව තවත් බොහෝ විද්‍යාඥයන්ගේ පර්යේෂණ මඟින් කාලයත් සමඟ පෝෂණය කෙරිණ. කාබනික වගාවත්, ඉන් ලබා ගන්නා ඵලවල අති ගුණාත්මක බවත්, එවැනි අස්වනු පරිභෝජනය කිරීමෙන් මිනිසාට අත්විඳිය හැකි නිරෝගී සුවය ගැනත් සාමාන්‍ය ජන සමාජයේ විශාල සංවාදයක් ඇති විණ.

අද වනවිට කාබනික කෘෂිකර්මාන්තයෙන් ලබා ගන්නා අස්වනු සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබේ. මේ නිසා ලොව සෑම කලාපයක ම පාහේ ජනයා කාබනික කෘෂිකර්මාන්තය වෙත දැනටමත් නැඹුරු වී සිටිති. චීනය කාබනික කෘෂිකර්මාන්තයට යොමු වූයේ එක්දහස් නවසිය අනූ ගණන්වල සිට ය. එරට රජය, ග්‍රාමීය සංවර්ධනයේ එක් කොටසක් ලෙස කාබනික බෝග වගාව ප්‍රවර්ධනය කරයි. අපට අසල්වැසි රාජ්‍යයක් වන ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තය සියයට සියයක් ම කාබනික වගා ක්‍රමවලට යොමු වුණේ 2016 වසරේ සිට ය. කේරළය, මිසෝරාම්, ගෝව, රාජස්තානය, මෙඝාලයා, ආන්ද්‍ර ප්‍රදේශ් වැනි එරට සෙසු ප්‍රාන්ත ද කාබනික ගොවිතැන වෙත ඉතා ශීඝ්‍රයෙන් යොමු වෙමින් සිටින බව සඳහන් වේ.

ගෝලීය ප්‍රවණතාව

සහතික කරන ලද කාබනික කෘෂි නිෂ්පාදනයෙහි නියැළුණු ගොවීන් 835,000කට ආසන්න සංඛ්‍යාවක් භාරතයෙහි සිටින බව 2018 වසරේදී කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වූයේ ය. ඩොමිනිකන් රාජ්‍ය ඉතා සාර්ථක ලෙස කාබනික වගාවට යොමුව ඇති තවත් රාජ්‍යයකි. ලෝක වෙ‍ෙළඳපොළට 55%ක කාබනික කෙසෙල් ප්‍රමාණයක් සපයන්නේ ඩොමිනිකන් රාජ්‍යයයි. සිය රටෙහි කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා තායිලන්ත බලධාරීන් වැඩ පිළිවෙළක් සකස් කළේ 1991 වසරේදීය. ඇමෙරිකා එක්සත් ජනපදය මහා පරිමාණ වශයෙන් කාබනික කෘෂි කර්මාන්තයේ නිරත තවත් රාජ්‍යයකි. 2000 - 2011 අතර කාල පරාසයේදී ඉඩම් අක්කර මිලියන 3.53ක කාබනික වගා කටයුතු පවත්වාගෙන යන්නට ඇමෙරිකා බලධාරීහු සමත් වූහ. වඩාත් විශේෂත්වය වන්නේ ඇමෙරිකාව සිය රටේ කාබනික වගා කටයුතු ප්‍රමිතියකට යටත් කර නියාමනය කිරීමට විධිමත් පියවර ගෙන තිබීමයි. මේ නිසා කාබනික වගාව සිදු කෙරෙන ගොවිපොළෙන් වෙළඳපොළට රැගෙන එන ආහාර භෝග කිසිදු රසායනික ද්‍රව්‍යයක් එකතු නොකර පාරිභෝගිකයා අතට පත් කෙරේ. එනිසා පාරිභෝගිකයා සැම විට ම මිලදී ගන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ, සෞඛ්‍යාරක්ෂිත කෘෂි නිෂ්පාදනයන්ය.

ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය පෙන්වා දෙන අන්දමට රටවල් 187කට ආසන්න සංඛ්‍යාවක කාබනික වගාව සිදු කෙරේ. ලෝ පුරා සිටින ගොවීන්ගෙන් මිලියන 3.1කට ආසන්න සංඛ්‍යාවක් කාබනික ගොවිතැන සඳහා යොමු වී සිටිති. අන්තර්ජාතික සංවිධානවල සංඛ්‍යා ලේඛන මඟින් අනාවරණය කෙරෙන පරිදි 2019 වසරේදී යුරෝ බිලියන 106ක පමණ කාබනික ආහාර ලෝකය පුරා අලෙවි කෙරී ඇත. කාබනික වගාවට යොමු වන පිරිසත්, කාබනික ආහාර භෝගවලට ඇති ඉල්ලුමත් ලෝ පුරා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවත්නා බව ආහාර හා කෘෂිකර්ම සංවිධාන බලධාරීහු පවසති. මේ කාරණා සැලකිල්ලට ගන්නා විට ශ්‍රී ලංකාව කාබනික වගාව වෙත යොමු වීමට තවමත් පමා බව ඔබට වැටහී යනු නිසැක ය.

මංජුලා විජයරත්න

 

නව අදහස දක්වන්න