තීරණාත්මක දින තුනක් | දිනමිණ

තීරණාත්මක දින තුනක්

පළාත් අතර සංචරණ සීමා පවත්වා ගනිමින් රට ලිහිල් කිරීමකට ලක් කර තිබේ. එය ඊයේ සිට ක්‍රියාත්මකය. වෙළෙඳසල් විවෘතය. සුරාසල් ද විවෘතය. අවශ්‍ය කටයුතු සඳහා ස්වකීය පළාත තුළ සංචරණය කිරීමට අවසරය ඇත. මාසයකට පමණ පසු රටේ ජනතාව ගෙදරින් එළියට යන අවස්ථාවක් ලෙස මෙය සැලැකිය හැකිය. රට විවෘත කිරීමට තිබූ අවස්ථා දෙකකදීම තීරණය වෙනස් කර තිබුණේ කොවිඩ් ව්‍යාප්තියේ ශීඝ්‍රතාව සලකා ගෙනය. ඊයේ සිට දින තුනක් සඳහා රට විවෘත කර ඇත්තේ ද යම් අවදානම් තත්ත්වයක් යටතේය. නිදසුනක් ගත හොත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ රට වසා දැමීම තවදුරටත් දීර්ඝ කළ යුතු බවය.

ආණ්ඩුව කොවිඩ් වැළැක්වීම ගැන මෙන්ම සියලුම රටවැසියන්ගේ ජන ජීවිතය ගැන ද බැලිය යුතුය. කොළඹ වතු සමාජවල ජනතාව දිගින් දිගටම සිය විරෝධතා ප්‍රකාශ කරති. ආධාර අවශ්‍ය නැති බවත්; රට විවෘත කළ යුතු බවත් ඔව්හු කියා සිටිති. නාගරික වතු ජනතාවගේ ජීවිත රැඳී ඇත්තේ නගරයේ වෙළෙඳ කටයුතු සමඟය. මසකට වැඩි කාලයක් ඒවා තහනම් වීම ඔවුන්ගේ දිවි පැවැත්මට බාධාවකි. ඇතැම් සිද්ධිවලින් පෙනී යන්නේ නාගරික වතු ජනයා මුර කපොලු බිඳගෙන නගරයට කඩා වැදීමට සූදානම් බවය. ශ්‍රී ලංකාවේ ලොතරැයි අලෙවියෙන් ජීවත් වන පවුල් තිස්පන්දහසක් ඇතැ’යි කියති. ඒ සියලුදෙනා අද හිස් අතින් සිටිති. දින තුනකට හෝ රට විවෘත කිරීම සුබදායකය.

රජය පැත්තෙන් ගත හොත් වියදම් අධික වී ආදායම් පල්ලම් බසින තත්ත්වයක් දැක ගත හැකිය. එක අතෙකින් වෙනදාට වඩා ජනතා සහන හා ආධාර සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වී ඇත. තව අතෙකින් කොවිඩ් වැළැක්වීම සඳහා අවශ්‍ය වන මුදල දිනෙන් දින ඉහළ යයි. මේ අතර රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, පිං පඩි හා තවත් දීමනා නිශ්චිත දිනවලට ගෙවිය යුතුය. ඒවා මෙතෙක් නිසි පරිදි සිදු වී ඇති අතර ආදායම් ඉපැයීම දිනෙන් දින පහළට වැටෙයි. මෙබඳු තත්ත්වයක් යටතේ ජාතික ආර්ථිකය කළමනාකරණය කර ගැනීම පුදුමයට කාරණයකි. අමතක නොකළ යුතු කාරණයක් වන්නේ රට වසා දමන සෑම දිනකම රජයට රුපියල් කෝටි ගණනක ආදායමක් අහිමි වන බවය.

කොවිඩ් වසංගතය තුළ ලෝකයේ සෑම රටකම පාහේ ආර්ථිකයන් කඩා වැටී ඇත. දියුණු රටවල ආර්ථිකය හා රාජ්‍ය භාණ්ඩාගාර ශක්තිමත් බැවින් ඊට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත. එහෙත් දුප්පත් රටවල තත්ත්වය වෙනස්ය. ඇතැම් රටවල ආර්ථිකය දුවන්නේ විදේශීය ණය හා ආධාර යටතේය. ශ්‍රී ලංකාවේ ද විදේශීය ණය ප්‍රමාණය සුළු පටු නැත. සෑම රටක්ම ආර්ථිකය පවත්වා ගැනීම සඳහා බලවත් පරිශ්‍රමයක යෙදී සිටී. රට වසා තබන කාලසීමාව දීර්ඝ වන විට ගැටලු තවත් සංකීර්ණ වෙයි. වත්මන් ආණ්ඩුව එක්ලක්ෂ ගණනකට රජයේ නව රැකියා සපයා දී ඇති අතර ඔවුන් සඳහා වැඩ බෙදා දී නැතත් මාසික වැටුප් හා දීමනා ගෙවීමට සිදු වී ඇත. ආණ්ඩුව වෙත විශාල ආර්ථික පීඩනයක් ඇති බව පැහැදිලිය.

ගැටලුවෙහි සෞඛ්‍ය පාර්ශ්වය ගතහොත් එහි තත්ත්වය වෙනම විග්‍රහ කර ගත හැකිය. කොවිඩ් මරණ සංඛ්‍යාව දෙදහස් පන්සියය ඉක්මවා ඇත. ආසාදිත වූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ තිස්නව දහසකට වැඩිය. දිනපතාම දෙදහසකට වැඩි නව ආසාදිතයෝ සොයා ගැනෙති. මේ අතර කොවිඩ් වයිරසයේ ඉන්දියන් ප්‍රභේදය දෙමටගොඩ ප්‍රදේශයේ ආසාදිතයන්ගෙන් හමු වී ඇත. එම වයිරස් ප්‍රභේදය මාරාන්තික බව ද, ව්‍යාප්තියේ ශීඝ්‍රතාව අධික බව ද සොයා ගෙන ඇත. එම සාධකවලින් පෙනී යන්නේ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ අවදානම ද පවතින බවය. ආර්ථිකය නඩත්තු කිරීම, ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීම හා කොවිඩ් වැළැක්වීම යන බරපතළ අර්බුද තුනකට ආණ්ඩුව මුහුණ දී ඇත. මෙය ඉතා සංකීර්ණ තත්ත්වයකි.

මේ මොහොතේ ජනතාවගේ හැසිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ. රට විවෘත කළත් දිස්ත්‍රික්ක දොළහක වසා දැමුණු ප්‍රදේශ ගණනාවක් තිබේ. වසා දැමුණු ප්‍රදේශ ඒ අයුරින්ම නිශ්චිත කාලසීමාව තෙක් පවත්වා ගත යුතුය. විවෘත කිරීම තුළ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය උපදේශන ලබා දී ඇත. ඒවා අකුරටම ක්‍රියාත්මක විය යුතුව තිබේ. සෑම පුද්ගලයකු පසුපසම පොලිස් නිලධරයකු යෙදවිය හැකි තත්ත්වයක් නැත. සිදු විය යුත්තේ අවදානම වටහා ගෙන ස්වයං විනයකින් හැසිරීමය. ඉන්දියාවේ නව දිල්ලි නුවර සුරාසල් මාස ගණනාවකට පසු විවෘත කළේය. එහි ජනතාවගේ හැසිරීම අන්තිම නරක බව පෙනී යයි. දිල්ලියේ සුරාසල් මේ තත්ත්වය යටතේ වසා දැමීමට සිදු වනු ඇත.

ශ්‍රී ලංකාව දැනුම්වත් ජන සමාජයකින් සමන්විත වන්නේ යැයි කියන මුත් මේ දිනවල ක්‍රියාකාරකම්වලින් ඒ බවක් සනාථ වන්නේ නැත. අපේ රාජ්‍ය නිලධාරීන්ගෙන් පිරිසක් කොවිඩ් සමය තුළ ගෙදර සිට පඩිය පමණක් නොව; ප්‍රවාහන දීමනාවද ලබා ගත්හ. සංචරණ නීති හා නිරෝධායන නීති උල්ලංඝනය කළ හතළිස්දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන සිටිති. මේ අතර දිනපතාම පාහේ දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනෙති. ඒ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම මතය. තවත් පිරිසක් නීතියට හසු නොවී නීති උල්ලංඝනය කරති. මේ සියලු දෙනා කොවිඩ් ව්‍යාප්තියේ හවුල්කරුවන් ලෙස සැලැකීම නිවැරදිය. කොවිඩ් වළක්වා ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයක් මගින් පමණි.

දින තුනක් රට විවෘතව පවතී. එම කාලය අර්ථාන්විත ලෙස භාවිත කිරීමට ජනතාව පෙලැඹිය යුතුය. අනාගතයේ රට වසා තබන්නේ ද, විවෘත කරන්නේ ද යන තීරණය පවතින්නේ දින තුනේ ජනතා හැසිරීම මතය.

 

 

නව අදහස දක්වන්න