තව නම් වින්නැහි වෙන්නෙපා | දිනමිණ

තව නම් වින්නැහි වෙන්නෙපා

 

වැස්ස. මහවැස්සක් ඒක. මුරුගසන් වරුසාව කියන්නෙ මේකටද මන්දා. මහ වැස්සෙම මං කැප් එකක් දාගෙන, උදැල්ලකුත් අරං, පැන්නා ගේට්ටුවෙන් එළියට. මහ වැහි; අනෝරා මහ වැහි! දෙගොඩ තළා ගලාගෙන යන මහම මහ වැහි! ගං වතුරක් වගෙයි. අපේ ගෙට ඉස්සරහින් එළල තියෙන සිමෙන්ති පාර විතරක් නෙවෙයි, ඊටත් උඩහින් පේන මහ දැවැන්ත කොන්ක්‍රීට් පාරත් පුපුරුවාගෙන කඩං එන වැහි වතුර කන්දරාව කෙළින්ම ගලාගෙන යන්නෙ අපේ ගේ ඉස්සරහින්.

දැන් මේ පාර වටපිට පොළෝ තලේ ගුගුරුවාගෙන, පොළෝතලේ පුපුරුවාගෙන, එන්නෙ මහ ජල කඳ, අපේ ගේ ගිලගන්න වගේ. ඒ දවස්සල පාරට සිමෙන්ති එළාගෙන ගියෙ, කිසිම ප්‍රමිතියක් නැතුව. අනාගතයේදි ප්‍රාදේශීය සභාවට ඡන්දෙන් ඉල්ලන්න බලාගෙන ඉන්න ආපේක්ෂකයාගෙ මනදොළ සරිකර ගන්න තමයි එහෙම කරන්නැත්තෙ. හිටපු ගමන්නෙ,සිමෙන්ති එලුවෙ පාරට.

ඒ මීට අවුරුදු කීපයකට කලින්. නරකම නෑ. පහුගිය ඡන්දෙන් වැඩිම මනාප මල්ලක් අරගෙන ප්‍රාදේශීය සභාවට රිංග ගන්න පුළුවන් වුණෙ ඒ ආනිසංසෙට.

නගර සභාවෙ සභාපතිතුමාගෙ ප්‍රතිපාදනවලින් තමයි නිවාස සංකීර්ණයෙ පොඩි ගුරුපාරවල් බලා ඉන්දැද්දී කාපට් පාරවල් වුණේ. එතෙන්දි බැලුවෙත් නෑ, හෙව්වෙත් නෑ, ගත්තෙත් නෑ ශක්‍යතා වාර්තාවක්වත්.

ඕනෑකමක් තිබිලම නෑ හරියට, නිවැරදිව අදාළ කටයුත්ත කරන්න. ඉතින් අද මං වගෙ කීදෙනෙකුට මේ, වින්නැහිය වෙලා ඇද්ද? අද කවුද ඒව ගණන් ගන්නෙ? කාගෙත් අවධානය අවදානමටයි යොමු වෙලා තියෙන්නෙ.

එහෙන් කොරෝනා මෙහෙන් එන්නත්කරණය වැඩිම අසාදිතයො ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එන්නත්කරණය සිද්ධ වුණත්, මරණ ගානත් ඉහළ යනවා, දවසින් දවස. ඊට හපන් කොහෙන්හරි යන මහ නැවක් හරි පටලැවිල ගිනි ගන්නවා. මීගමු ධීවරයන්ටත් මාළුවලට යන්න තහනම්ලු. දියඹ මූදට දැල්පන්නකාරයන්ට මූදුරස්සාකාරයන්ට කාලෙකින් බෑ තමතමුන්නෙ රස්සා කරුමාන්තය කරගෙන ඉන්න. ඒ මදිවට යාස් කුණාටුවෙනුත් පීඩනය අපට. රටටම ගං වතුර අරගෙන මහ වැස්සත් උන්හිටි ගමන්නෙ කඩාපාත් වුණේ. කොන්ක්‍රීට් පාරෙන් කඩං එන මහ වතුර ජල කඳ ගෙට වදියි කියන බයට මං මහ වැස්සෙම අතෝරක් නැතුව වහින මේ වැස්සෙම, උදැල්ලකුත් අරන් ජල කඳ හරස් කර ගන්නයි බැලුවෙ. ඒත් ඒ ජල කඳ කපල අරින්න මට හයියක් නං නෑ.

දොරකඩටම වතුර ඇවිදිං. ගෙට ගියොත් විනාසයි. මෙහෙම අපිට වෙද්දි; ගං වතුර වහලෙටත් උඩින් ගිය අපේම මිනිස්සු කොහොම වේදනා කන්දරාවක් උහුලන්නැද්ද? අපේ ගෙදර ගරාජයේ ඉස්සරහ කෑල්ලටයි වතුර කඳ ඇවිත් තියෙන්නෙ. තව ඩිංගක් එහා මෙහා වුණොත් වතුර රිංගනව ගේ ඇතුළටම. වැස්සෙන් නං සමාවක් නෑ අපිට තාමත්.

තාමත් මහ වැහි ගෙට ගලන්න ඔන්න මෙන්න කපා හෙළපු පාම් ගස් කීපයක් මං ඇදගෙන ආවා. කඩාගෙන ගෙට එන්න හදන මහ වතුරට හරස් කරන්න. එහෙන් සංචරණ සීමා පනවලා යාන්තමට ඇර ගත්ත කඩේක බඩුත් ගිනි ගණන්. මීටරේ සීමාවට සතොසෙ පෝලිමේ ඉන්දැද්දිත් කඩං හැලුණා මහ වැස්සක්. මහ මූදේ ලුණු වතුරත් එක්ක ගිනියම් වුණු එක්ස්ප්‍රස් පර්ල් නැවේ මහ ගින්නටත් වැඩියෙන්, අපේ හිත්වල ගින්දර ඇවිළිලා. ජීවිත රටාව අපෙ හොඳටම වෙනස් වෙලා. මේ පාරත් සංචරණ සීමා හින්දා රුපියල් පන්දාහෙ දීමනා ලැබෙනවා. දුගී මගී අයට. කාටද දීමනා ලැබෙන්නෙ කියන එකත් ප්‍රශ්නයක්. ගිය පාර තුන්පාරටම දීමනා කරදරයක් නැතුවම ලබාගත්තෙ නැතිබැරි අය නෙවේ. ඇති හැකි අය. මහවැස්සට මුවහ වෙවී, කොටන් වැහි අඩේට තියද්දි, මේ සිදුවීම් පෙළ ගැස්සි ගැස්සී මතකය දෙවනත් කරන්නෙ ඇයි කියල හිතා ගන්නනං බෑ.

මං අපට වෙච්ච මේ ගොඩ ගංවතුර ගැන මහා දුකකින් කිව්ව කතාකරල මගෙ දුවටත් දුරකතනයයෙන්.

“අනේ අම්මෙ දැන්නං කතා කරන්නෙපා මෙහෙට. විදුලි කොටනව හොඳටම...පස්සෙ කතාකරන්නං......”

මොක වුණත් වැස්සේ මුල් අදියර නිමාවෙලා බින්දු බින්දු හිරිකඩයක් එනව වගේ. වතුර තාම බැහැල නෑ. අල්ලපු ගෙදර අය, ඇවිත් උදව්වට කොන්ක්‍රීට් කුට්ටියක්ම කඩල දාල එතනිං වතුර ගලං යන්නයි සැලැස්සුවා.

වැස්ස වලාහක දෙයියො ඩිංගකට හැංගිල වගෙ හිටියට, මෙන්න ආයෙම ඇවිදිං!

ආයෙ අලුතෙන් මහ වැහි. අර මුලින් වගෙයි. වැස්ස ආපහු. කඩපු ඉඩ අයිනෙන් වැහි වතුර දැන් කඩාගෙන කඩාගෙන යනවා. හැබැයි ගෙට නං නෙවෙයි මේ පාර. යාන්තං ඇති.

මේ දවස්වල වහින වැස්සට නං තෙමෙන්නත් එපා කියලයි පිටරටක ඉන්න මිතුරියක් කිව්වෙ. එක්ස්ප්‍රස් පර්ල් නැව හින්දා ඇසිඩ් වැහි වැටෙන්න පුළුවන්ලු. තෙමෙන්න හොඳ නැත්තෙ ඒකයි. ඊටමත් නිව්මෝනියා, පෙණහලු රෝග, හුස්ම ගැනීමේ අමාරුකම්, කැස්ස.

මේ ඔක්කොමත් එක්කම කෝවිඩ් දහ නවයෙ අලුත් අලුත් කොරෝනා ප්‍රභේද. වැස්ස තුරල් කරද්දි, වතුර පාර අහකට හැරවෙද්දි, මං ඇසිඩ් වරුසා හේදිලම යන්න කියල නාන කාමරේට රිංගලා නාගත්තා.

මිලිමීටර් එකසිය පනහක වැහි අදත් වැටෙයි කිව්වට අද පාන්දර ඉඳං වැස්සෙ නං නෑ. තවත් අසල් වැසියෙක් ඇවිත් ගේට්ටුව ඉස්සරහින් පාම් කඳන් අහුරල, පස් බැම්මක් බැන්දා. ආයෙ වැස්සොත් ගෙට වතුර දාන එක නවත්වා ගන්නයි කාගෙනුත් මේ උදව්. පින් සිද්ධ වෙන්නෝන, හැමෝගෙම හැම උදව්වකටම.

ඒත් අද තාමත් මිලි මීටර එකසිය පනහෙ වැස්සක් නං වැටුනෙ නෑ.

කොවිඩ් පොකුරු පිපෙන්න කලින් කොවිශීල්ඩ්, සයිනොෆාම්, ස්පුට්නික් 5 එන්නත් විදගත්තෝ, විදගත්තෙ නැති අය... ජීවිතෙන් සමු ගත් උදවිය... රෝහල්ගත වුණු ආතුරයන් ගැන තොරතුරුයි දවස පුරාම වරින් වර ඇහෙන්නෙ. නිරෝධායනය වෙච්ච ගණන, පීසීආර් කරපු ගණන, දැන් මේ සියලු විස්තර වාර්තා අපේම ජීවිතවල තවත් එක් අංගයක් විතරයි.

වැහි තුරල් කරනව වගෙ කවද්ද ඉතින් මුළු ලෝකෙම පරාගනය කළ, මේ සද්දන්ත කොවිඩ් මල මුකුලිතව පර වෙලා යන්නටම යන්නෙ?

එහෙම අහද්දි ඇහෙනව ඈතම ඈත විහාරයකින්...

“නීරෝගි වෙත්වා...! නිදුක් වෙත්වා..! සුවපත් වෙත්වා..! සියලු සත්ත්වයෝම.... සි... ය... ලු...”

 

ලක්ෂ්මී බෝම්බුවල

 

 

නව අදහස දක්වන්න