කෝ මලී | දිනමිණ

කෝ මලී

 

සිඟිති හිරු අතු පතර රොන්සුනු තවරන්නාක් මෙන් ප්‍රභාවක් විහිදෙයි. ගහ කොළ ද මහපොළොව ද මංගලෝත්සවයට සරිලන පරිද්දෙන් සැරසුණු කලෙක මෙන් රුසිරෙන් අග තැන්පත්ය.

“චිප්... චිප්.... දුවන්ඩ කිව්වේ. කොහේ ඉඳලා එනවද මන්දා. පුදුම කරදරයක් නෙ අප්පා තියෙන්නෙ, මේ දඩාවතේ යන බල්ලන්ගෙන්.”

කැට-මුගුරු පහරින් රිදුම් දුන් බව හඬගා කියන්නාක් මෙන් වේදනාවෙන් කෑගසන බලු පැටවා මගේ කවි කල්පනා අකා-මකා දමයි.

උදෑසන අසිරිය පලුදු කරමින් ඒ කුඩා අසරණයා පාරේ ඒ මේ අත දිවුවාය. අබ මිටක් සොයා උමතුවෙන් දිවගිය කිසාගෝතමිය තරමට ඇය අසරණ බව පෙනිණ.

“කවුරුහරි උදේම ගෙනත් දාලා. ඒක නේ ඔය ආතක් පාතක් නැතුව දුවන්නෙ.” පාරේ යන්නකු පහදා දුන්නේය.

“කික්කියක් හින්දා ගෙනැල්ලා දාන්න ඇති. බලු-බළල් පැටවු අතන මෙතන දාලා යන එක අරුමයක්යැයි, උපන් හැටියේ දරු පැටව්, වයසක අම්මලා අප්පලා පවා පාරේ දාලා යන ඈයෝ ඉන්න රටක.”

හිටිහැටියේ අසරණ අනාථ භාවයේ පත්ලට ඇදවැටුණු බැල්ල දෙස බැලීම පවා වේදනාකාරීය.

“කික්කියෝ හදන්න කවුරුත් කැමති නෑ. ඇයි ඉතින් බලූ රැලේ යන කාලෙට ගමේම බල්ලො එනවනේ හොයාගෙන. ඊට පස්සේ පැටව් ගහනවා නෙ අප්පා කෙළවරක් නැතුව.”

ඒ කිවූව සැබෑවක් බව දනිමි. බැල්ලක වෙනුවෙන් කා කොටා ගන්නා බල්ලන්ගේ කාලගෝට්ටිය ඉවසිය නොහැකි තරමට දැඩිය. එහෙත් ඒ කවර කරුණක් හෝ මේ අසරණයාට පිහිට වීමට මට බාධා නොකරයි.

“මක්කරන්න ද පැංචියේ? කොහේ කියලා යන්න ද? ඉතිං ඔයා කොහේ ඉඳලා ආවත් බඩගිනි නැතෑ වසේට. ඔන්න ඔහේ තියෙන දෙයක් කාලා මෙන්න මෙහෙ වැටිලා ඉන්න.” මා කී කතාව ද හෙළූ දයාන්විත බැල්ම ද නොඅදහන්නාක් මෙන් බැල්ල බලා සිටියි. මේ සා නිර්දය පලවා හැරීමට පසු ඇය තවදුරටත් මිනිස් කුලයේ එකියක විශ්වාස කරනු ඇත් ද?

“එන්න එන්න. මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි බල්ලන්ගෙනුත් ඔයාව බේර ගන්න වෙයි ටික දවසක් යනකං. බල්ලොත් කැමති නෑනේ ඒගොල්ලන්ගෙ දේශ සීමා ආක්‍රමණය කරනවට පිටස්තර නාඳුනන බල්ලෙක්” මම වැඩිදුරටත් පැහැදිලි කළෙමි.

කික්කිය කුස්සිය කරා කැන්දාගෙන ආවේ දැවෙන කුසගින්න විය හැක. යහමින් කරවල ද මුසුකොට අනා දුන් බත්පත ඇය කොතරම් ලහිලහියේ ගිල දැම්මේ ද කිව හොත් මගේ කොල්ලනගෛ් ද අවධානයට හා අනුකම්පාවට පාත්‍ර වූවාය.

“පව් නේද අම්මා?” යි බඩපිස්සා ඇසුවේ ඉල ඇට පෑදෙන තරමට කෙසඟ කික්කිය දෙස විමසිල්ලෙන් බලමිනි.

“එයා දවස් ගානක් බඩගින්නෙ ඉඳලා වගෙයි” ඔහුගේ නිවුන් සොහොයුරා ද අප වෙත එමින් පැවසුවේය.

“සමහර විට ටික දවසක් වෙන්න ඇති ගෙනත් දාලා. බැනුම් ගුටි අඩුවක් නැතුව ලැබුණට බත් කටක් නම් ලැබිලාම නෑ වගේ” මගේ දෙවැන්නා ද මේ අනාරාධිත ආගන්තුකයාගේ වංහුං අනුමාන කළේය.

“හරි හරි, දැන් ඉතින් ඒවගෙන් වැඩක් නෑ. මෙයාට නමක් දාන්න ඕනෑ” අනාථ බැල්ල සනාථ කරනු වස් මම යෝජනා කළෙමි.

“ලැසී” මගේ පුංචි පුතා කාටත් වඩා ඉස්සර විය. “රොක්සි” ඊයේ කීවේ මද්දු පුතාය.

“අනේ අපි වෙන ලස්සන ආදරේ හිතෙන නමක් තියමුකො.” කොල්ලන්ගේ නෙත් මා වෙතට යොමු විය. ඇස් අටක අභියෝගාත්මක බැල්මෙන් පසුනොබා මම “අපි මෙයාට ‘කොමලි’ කියමු” යැයි ඉල්ලා සිටියෙමි.

“ආපෝ! මහා ගොඩේ නමක්...” පළමුව මුහුණ හකුළා ගත්තේ පොඩි පුතාය.

“පරණ නමක් නේද අම්මා?” යි චූටි පුතා මගේ සිත රිදවන්න අකැමැත්තෙන් වගේ තරමක් මුදු මොළොක් හඬින් පැවසුවේය.

“මම නං ආසයි, අනිත් එක මෙයාගේ පොඩි කොමල ගතියකුත් තියෙනවා..” අනුමැතිය පළ කළ මද්දු පුතා දෙස මම කෘතවේදී බැල්මක් හෙළුවෙමි.

“කොමලි, කොමලි” කොලලන් කෑගසන්න වූ කල මට සිනා නැඟුණේ නිතැතිනි.

“අසරණ වුණාම පිහිට වෙන්න ඕනෑ තමා. ඒ වුණාට ඔයාලා මෙයාව දැම්ම සුරතල් කරන්න, අත ගන්න එහෙම එපා. බෙහෙත් විද්දට පස්සේ තමයි ඒ දේවල් හරි ද? ඒත් හොඳට මතක තියාගන්න. අයාලේ ආ බල්ලෙක් නිසා අපි පරිස්සම් වෙන්න ඕනෑ...” මගේ කොල්ලන්ට අවවාද කරන්න ද මම අමතක නොකළෙමි.

පටබැන්දා වූ නම පිළිබඳ මෙලෝ හසරක් නොදත් බැල්ල කුස පුරවා ගැනීමේ ප්‍රීතිය අභිනයෙන් පළ කළාය. පලවා හැරීම හා හිංසනයට පාත්‍ර වීම හේතු කොට ගෙන ඇය වෙත වූ බැගෑබර බව යටපත් වෙමින් කෙළිලොල් කෝමලත්වය ඉස්මතු වෙයි.

කොමලී වල්ගය වනමින් හෙළූ කෘතවේදි බැල්ම ඇය සමඟ ඉදිරියේදී එකපෙළට පැමිණීමට නියමිත කරදර කම්කටුලු රැසකටම නොසැලී මුහුණ දෙන්න තරම් ශක්තියක් මා තුළ ජනිත කළේය.

 

ශාන්ති දිසානායක

 

නව අදහස දක්වන්න