මට වුණු වියෝයා | දිනමිණ

මට වුණු වියෝයා

 

අම්මගෙ බත් එක වෙනුවට
කාල පරාටා කොත්තු
රෑ දොළහට දෙකට ජනේලෙන්
සාලෙට පැන ගත්තු
කුරුල්ලෙක් වගේ හිටි කොට
දීලා එක පිට තොත්තු
කොහෙවත් හිටි කෙල්ලෙක් කළ
හැටි මට ගින්නක් පත්තු

හරි හුරතල් අහිංසකයි
හා පැටියෙක් පරදින්නේ
යන-එන කොට පොළොවටවත්
නොදැනෙන්නයි ඇවිදින්නේ
ඉස්සර නම් කනට ඇහෙන්නැති
ගානට කොඳුරන්නේ
මේ වගෙ ගිනි කන්දක් බව
කොහොම ද දෙවියනි දන්නේ

හැන්දෑවේ හය වෙන කොට
ගෙට නාවොත් රැවුම් ගොඩයි
ඉඳ-හිට වත් අට පැන්නොත්
එන තරහට කකුල් කඩයි
පොඩ්ඩක් බැරි වෙන්නට බෑ
පර සක්වළ ගගහ හඬයි
මතක් වෙන කොටත් දනවා
පපුවයි ඒ සමග බඩයි

මමම හොයා ගත් හින්දා
බැහැ කාටත් දොස් කියන්න
පේන බලන්නට හැකියෑ
කලින් කසාදය ලියන්න
ගෙදර-දොරේ වැඩවල නම්
නෑ කිසි ඇදයක් හොයන්න
මොනව වුණත් කටට රහට
පුළුවන් බත් ටික උයන්න

කොල්ල කාලෙ කරපු කෙරුම්
ඔක්කොම දැම්මොත් අල්ලා
යන්තම් ඉහ ගහගත්තැකි
ගෘහ මූලිකකම පල්ලා
එකට අපායෙත් යං කියු
මිතුරනි මේ අහපල්ලා
මේක තමයි බං දෙව්ලොව
ඉක්මනටම බැඳපල්ලා

දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න