Gadget පිටුව | දිනමිණ

Gadget පිටුව

සින්දුවෙන් ‍රැවුළ කැපීම

මුහුණ බැලීමට සැවොම කන්නාඩි භාවිත කරන අතර, විශේෂයෙන් කාන්තාවන්ගේ ප්‍රියතම උපකරණයක් ලෙස ද සැලකිය හැකිය. කාන්තාවන් තමන් කොතරම් ලස්සනද, තමන්ගේ මුහුණේ පවතින කුරුලෑ, ලප ආදිය හොඳින් නිරීක්ෂණය කිරීමට තමන්ට සිටින හොඳම මිතුර ලෙසින් කන්නාඩිය හැඳින්විය හැකිය.

Careos smart mirror යනු කන්නාඩියකින් ලැබෙන ප්‍රයෝජනයට වඩා වැඩි වාසි සලසන ස්මාට් කන්නාඩියකි. කාන්තා, පුරුෂ සියල්ලටම තම මුහුණ ලස්සනට තබා ගැනීමට මෙමඟින් විශාල දායකත්වයක් සැලසේ. පිරිමි අය රැවුළ කැපීමේදී Careos smart mirror මඟින් මුහුණේ සමීප දසුන් ලබා දීමක් සිදු කරන අතර එමඟින් සාමාන්‍ය කණ්ණාඩියකට වඩා පහසුවෙන් ඒ දෙය සිදු කර ගත හැකිය. එසේම ඔබට රැවුළ කැපීමේදී සිංදුවක් අසමින් ඒ දේ කිරීමට සිතුවොත් එයට ද Careos smart mirror සූදානම්ය. ඔබගේ ස්මාට් දුරකතනයට පහසුවෙන් සම්බන්ධ කළ හැකි මේ උපාංගය කාන්තාවකගේ මුහුණේ පවතින යම් යම් ගැටලු පහසුවෙන් හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට ද උදවු කරයි.

 

 

ලොව කුඩාම කීටැග් පවර් බෑන්ක්

ස්මාට් දුරකතන, ස්මාට් ඔරලෝසු, බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී ආදි බොහෝ දේවල් ආරෝපණය කර ගැනීමට පවර් බෑන්ක් භාවිතයට ගනී. විවිධ ප්‍රමාණවලින් මේ පවර් බෑන්ක් වෙළෙඳපොළේ මිල දී ගැනීමට හැකි අතර, ප්‍රමාණයෙන් තරමක් විශාල වීමෙන් යන එන ඕනෑම තැනක රැගෙන යෑමේ අපහසුතා මතු වේ.

Tau power bank එක දැනට නිපදවා ඇති පවර් බෑන්ක්වලින් කුඩාම එකක් ලෙස සැලකිය හැකි අතර කීටැග් එකක් ලෙසින් ද භාවිත කළ හැකිය.

Tau power bankහි 1400mAhක ආරෝපණ ගබඩා කළ හැකි අතර මෙය රැහැන් රහිතව ආරෝපණය කිරීමේ හැකියාව ද පවතී. දෙපසින් ඇති කොටස් දෙකෙන් ස්මාට් දුරකතනයක්, යූඑස්බී ආධාරයෙන් ආරෝපණය කරන උපකරණ ආදිය පහසුවෙන් ආරෝපණය කළ හැකිය. මේ කුඩා පවර් බෑන්ක් එක ඩොලර් 28කට මිල දී ගත හැකිය.

 

 

කනට මීපැණි වත් කරන ‘හියුමන් හෙඩ්ෆෝන්’

ස්මාට් දුරකතනවල පැවති රැහැන් සහිත පසු කාලීනව රැහැන් රහිත වී බ්ලූටූත් සහ එයාපොඩ්ස් ලෙස තාක්ෂණයේ දියුණුවත් සමඟ වෙනස් විය. කෙසේ වෙතත් හෙඩ්ෆෝන්වලට ද බොහෝ අය ප්‍රිය වීම හේතුවෙන් පසුකාලීනව රැහැන් රහිතව නිර්මාණය කළ නවීන පන්නයේ හෙඩ්ෆෝන් එකක් ලෙස මේ හියුමන් හෙඩ්ෆෝන් හැඳින්විය හැකිය.

මෙය කනට අපහසුවක් නොවන අයුරින් භාවිත කළ හැකි අතර, පැලඳ සිටීමේදී රිදීම් ආදියට මුහුණ දීමට සිදු නොවේ. එක් වරක් ආරෝපණය කළ පසු පැය 9ක කාලයක් භාවිත කිරීමට ද හැකිය. එසේම රැහැන් සහිත හෙඩ්ෆෝන්වලට වැඩියෙන් හොඳින් සින්දු ඇසීමේ හැකි අතර, භාෂා කිහිපයක් ඔස්සේ ඔබ අසන දේ රස විඳීමේ හැකියාව ද ඇත. එලෙසම මෙමඟින් අවට පරිසරයේ ශබ්ද පවා හොඳින් ග්‍රහණය කර ගන්නා බැවින් ඔබ මෙය පැලඳ මාර්ගයේ ගමන් කිරීමේදී සිදු විය හැකි අනතුරුවලින්ද වැළකී සිටීමේ හැකියාව human headphones මඟින් සැපයේ.

 

සද්ද අඩු කළ නව සැක්සෆෝනය

සැක්සොෆෝනය වාදනය කිරීමට බොහෝ අය කැමති වුව ද එය එතරම් ලෙහෙසි නොවීමට හේතුවක් වී ඇත්තේ පිඹීමෙන් වාදනය කිරීම හේතුවෙනි. එලෙසම ඉන් නැඟෙන ශබ්දය හේතුවෙන් ඔබ රාත්‍රී කාලවල දී වුවද පුහුණු වීම් සිදු කළ නොහැකිය.

Aerophone go යනු ඒ සියලු ගැටලුවලට පහසුවෙන් විසඳුම් ගෙනෙනා සැක්සොෆෝනයක් වන අතර, එය ක්‍රියා කරනු ලබන්නේ ආරෝපණවලට උපකාරය ඇතිවය. මෙහිදී ඔබට වැඩි ශක්තියක් යොදා පිඹීමට අවශ්‍ය නැති අතර ඔබට හෙඩ්ෆෝන් එකක් පැලඳ පුහුණු වීම් සිදු කළ හැකිය. සාමාන්‍ය සැක්සොෆෝනයක් මඟින් ඇසෙන ශබ්දයම මේ Aerophone go එක මඟිනුත් නිකුත් වන අතර ස්මාට් දුරකතනය සම්බන්ධ කර වෙනත් හඬ ද ආධාරයෙන් ඔබට සංගීතය අධ්‍යයනය කිරීමේ හැකියාව පවතී.

 

 

පොඩ්ඩන්ටම හැදූ ‘පපී කියුබ්’ ප්‍රොජෙක්ටරය

ප්‍රොජෙක්ටර් එකක් මඟින් අප සිදු කරනුයේ යම් දේශනයක් සිදු කිරීමේදී තිරයක් මත යම් රූප රාමු කිහිපයක් පෙළගැස්වීමය. එමඟින් වැඩි පිරිසකට එකවර යම් දෙයක් ගැන පැහැදිලි කිරීමේ හැකියාව පවතින අතර, දේශනයට සම්බන්ධ වන පිරිසට ද එය අවබෝධ කර ගැනීමට පහසු වේ.

පපී කියුබ් යනු සාමාන්‍ය ප්‍රොජෙක්ටර් එකකින් එහාට ගිය උපාංගයක් වන අතර, ඉන් නිර්මාණය කරන රූප රාමු ස්පර්ශ කිරීමෙන් වැඩ කිරීමට ද හැකිය. කුඩා දරුවකුට ක්‍රීඩාවක් කිරීමට, පරිගණක ක්‍රීඩාවක් සිදු කිරීමට මෙන්ම ඕනෑම මේසයක්, බිත්තියක් ස්පර්ශක තිරයක් කිරීමට පපී කියුබයට හැකිය. එකවර පැය දෙක හමාරක පමණ කාලයක් ආරෝපණය කිරීමෙන් භාවිත කිරීමේ හැකියාව පවතින අතර, ඕනෑම එළිමහන් ස්ථානයක හෝ මෙය පහසුවෙන් භාවිත කළ හැකිය.

 

 

 

ඇඳුම් ‍තෝරා මැද දෙන ස්මාට් අල්මාරිය

මිනිසා ටිකෙන් ටික කාර්යබහුල වන විට ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු සිදු කර ගැනීමට දවසේ පැය ගණන ප්‍රමාණවත් නොවීය. ඉන් අනතුරුව එදිනෙදා වැඩකටයුතු පහසු කර ගැනීමට නවීන යන්ත්‍රෝපකරණ සෙවීමට ඔවුහු කටයුතු කළහ. තාක්ෂණයේ දියුණුවත් සමඟ අද වන විට සිතා ගැනීමටවත් නොහැකි නව නිෂ්පාදන බිහි වී ඇත.

අතීතයේ රෙදි සේදීමට ගමේ වෙනම නිවෙස් තිබුණ ද පසු කාලීනව රෙදි නිවෙසේදීම පහසුවෙන් එදිනෙදා සොදා ගැනීමට රෙදි සෝදන මැෂින් සොයා ගැනිණි. එමඟින් ඇඳුම් එකවර සෝදා වියළා ගැනීමට හැකි වීමෙන් ඊට වෙනම කාලයක් අවශ්‍ය නොවීය. කෙසේ වෙතත් බොහෝ දෙනෙක් අකමැති කාර්යයක් වූයේ එම රෙදි අල්මාරියක හෝ කබඩ් එකක නවා පිළිවෙළට තැබීමය. මෙතෙක් ඊට නිසි විසඳුමක් නොවූයෙන් එය අකැමැත්තෙන් වුව මිනිසාටම කර ගැනීමට සිදු විය.

එහෙත් Threadrobe නම් උපකරණය මිනිසා වඩාත් ප්‍රිය කරන උපාංගයක් බවට පත්ව ඇත්තේ ස්වයංක්‍රියවම රෙදි අසුරා තැබීම, අවශ්‍ය විටදී කැමති වර්ණයෙන් යුත් ඇඳුම් කෙටි වේලාවකදී තෝරා දීම මෙන්ම පොඩි වී ඇත්නම් වාෂ්පීකරණයෙන් එම ඇඳුමට නැවුම් බවක් දිය හැකි වීමය.

Threadrobe ඔබගේ ස්මාට් ඇඳුම් අල්මාරියක් ලෙස හැඳින්වීමට හැකි අතර, මෙය ස්වයංක්‍රියව ක්‍රියා කරනු ඇත. ස්මාට් දුරකතනයේ මෘදුකාංගයක් මඟින් පහසුවෙන්ම මේ උපාංගය හා සම්බන්ධ විය හැකිය. ඔබ අවදි වූ විගස ස්මාට් දුරකතනය මඟින් රැකියාවට හෝ වෙනත් ගමන් යෑමට අවශ්‍ය ඇඳුම තේරීමක් කළ යුතු අතර, සුළු මොහොතකදී Threadrobe එය සූදානම් කර තැබීමට සමත් වෙයි. ස්මාට් අල්මාරියේ ගබඩා කර තිබෙන ඇඳුම් සියල්ල ස්මාට් දුරකතනය මඟින් බලා ගැනීමට හැකි අතර වර්ණ අනුව හොඳින් ගැළපීමකට ද ඔබට සහය වනු ඇත.

එසේ නම් දැන් ඇඳුම් අල්මාරිය ගැන ද ඔබට වද වීමකට අවශ්‍ය නැත. Threadrobe උපකරණයක් මිල දී ගෙන ඔබට අවශ්‍ය විට දී කැමති වර්ණයෙන් යුත් ඇඳුම සුළු මොහොතකදී සොයා ගත හැකිය. පෙර මෙන් මුළු අල්මාරියම අවුස්සමින් ඇඳුම් සෙවූ කාලයට සමු දීමට Threadrobe එකක් ඔබත් මිල දී ගන්න.

 

 

මොබයිල් ෆෝනය ග්ලව්සයට දැමීම

ස්මාට් දුරකතනය තව තවත් දියුණු වෙමින් පවතින උපකරණයක් ලෙස හැඳින්විය හැකි අතර, ඊට හොඳම උදාහරණයක් ලෙස Glovdi පෙන්වා දිය හැකිය. සාක්කුවේ දමාගෙන යා හැකි දුරකතන ඔබ කොතරම් දැක තිබුණ ද අතේ පැලඳගෙන යා හැකි ස්මාට් දුරකතන මෙතෙක් දැක නැතිවාට සැකයක් නැත.

Glovdi යනු නිතරම සාක්කුවේ ස්මාට් දුරකතනය දමාගෙන වැඩ රාජකාරිවල නිරත විය නොහැකි පුද්ගලයන් සඳහාම නිර්මාණය කරන ලද්දකි. මෙය ග්ලව්ස් එකක් ලෙස අතේ පැලඳිය හැකි අතර ක්‍රීඩා කිරීමේදී, රියැදුරන්ට ආදි වැඩි පිරිසකට වඩා ප්‍රයෝජනවත්ය. සාමාන්‍ය ස්මාට් දුරකතනයක අයුරින්ම Glovdi මඟින් ඔබේ එදිනෙදා වැඩකටයුතු සිදු කළ හැකි අතර විශේෂත්වය වනුයේ පැලඳිය හැකි වීමය.

 ගයාන් සංජය

නව අදහස දක්වන්න