දෙවුන්දරම එළිය කරන එළිය කුලුන | දිනමිණ

දෙවුන්දරම එළිය කරන එළිය කුලුන

ඈතින් දිස් වන්නේ තද නිල් පාට ඉමක් නොපෙනෙන මහා සාගරයයි. තැනින් තැන සුදු තිත් මෙන් පෙනෙන්නේ නැව් සහ බෝට්ටුය. රන් පැහැයෙන් දිලිසෙන මුහුදු තීරය, එක පේළියට වැනෙන පොල් ගස් රුප්පාව, ගසා ගෙන යන්න තරම් සැර සැඩ සුළඟ සහ ඝෝෂාව යන මේ සියල්ල එකට එකතු වි ගෙන දෙන්නේ අමුතුම අත්දැකීමක්. චමත්කාරජනක සුන්දරත්වයක්. මේ අන් තැනක් නොවේ, ශ්‍රී ලංකාවේ තිබෙන අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධත්වයක් උසුලන ප්‍රදීපාගාර පහෙන් එකක් වන දෙවුන්දර මහා ප්‍රදීපාගාරයයි.

දෙවුන්දර මුහුදේ නාගෙන, වෙරළේ සෙල්ලම් කර, එන අතරේ ප්‍රදීපාගාරයටත් නැඟ බලන්නේ නම් දකුණට යන ඕනෑම විනෝද චාරිකාවක් වඩාත් පරිපූර්ණ වෙනවා. එසේ වුවද ඒ සඳහා ටික කලක් ගත වෙනු ඇති. ඒ අන් කිසිවක් නිසා නොව රටේ මේ මොහොතේ පවත්නා කොරෝනා වසංගතය ඊට හරස් වි ඇති බැවිනි.

මෙම ප්‍රදීපාගාරය පිහිටා ඇත්තේ දෙවුන්දර තුඩුවේයි. දෙවුන්දර තුඩුව යනු ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරයි. එය අන්තර්ජාතික සලකුණක්. එය සලකුණු කොට ඇති සලකුණ ද පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස පවතිනවා.

ඉර බැස යන සැන්දෑ මොහොත පෙනෙන්නේ ගිනි ගත් හිසක් නිවා ලන්නට හිස මහ සයුරේ විටින් විට ගිල්වන්නාක් මෙනි. ඒ සුන්දරත්වය අතිශයින්ම අත්විඳින්නට හැකි ක්ෂේම භූමියක් වන්නේ ද මේ තුඩුවයි. එය කෙතරම් චමත්කාරජනක දැයි බලන්නට නම් ඔබ ද වරක් හෝ මේ ප්‍රදීපාගරයේ සඳලුතලයට නැඟ බැලිය යුතුමයි.

වරෙක මෙය ධීවරයින්ගේ මංසලකුණක් මෙන්ම නාවිකයන්ගේ රේඩාර් පද්ධතියක් වගේයි. ඉතිහාසයේ රස කතා, නැතිනම් පෙම් කතා සිහිවන විට මෙය පෙනෙන්නේ චිත්‍රාවන්ගේ එක්ටැම් ගෙය ලෙසින්. මෙය නැරඹීමට යන ඔබ එහි පාමුල සිටින විට ළිප් ගලක් මෙන් ද මේ කුලුන මහාමේරු පර්වතයක් ලෙස ද පෙනෙන්නට බැරි නැත. ඒ අන් කිසිවක් නිසා නොව මෙය ශ්‍රී ලංකාවේ උසම ප්‍රදීපාගාරය වන නිසායි.

දෙවුන්දර තුඩුවේ ඇති මීටර් 54ක්, නැත්නම් අඩි 161ක් උස දෙවුන්දර ප්‍රදීපාගාරය මහල් 7 ක් සහ කවුළු 14 කින් යුක්තය. පියගැට පෙළ ගණන 196 කි. මෙය නිපදවා ඇත්තේ සර් ජේම්ස් නිකලස් ඩග්ලස් නමැති අයෙක්. මෙය මේ ප්‍රදේශයේ වැදගත්ම සංචාරක ආකර්ෂණයක් ලබන තැනක්. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි දකුණු ආසියාවේම ඇති උසම ප්‍රදීපාගාරවලින් එකක් ලෙසයි සඳහන් වන්නේ.

දෙවුන්දර ප්‍රදීපාගාරයේ තද සුදු ආලෝකයක් විහිදුවන ප්‍රධාන පහන හරියටම තත්පර පහකට වරක් කරකැවෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළෙන් නාවික සැතපුම් 28ක් දක්වා දුරක තියෙන ඕනෑම නැවකට, බෝට්ටුවකට තත්පර 5කට වරක් නිවි නිවී දැල්වෙන සුදු ආලෝකයක් දැක ගත හැකියි. නවීන තාක්ෂණය ඇති නමුදු මේ ආලෝක දහරාව තවමත් අන්තර්ජාතික මුහුදු ගමන්වලට වැදගත් දර්ශකයක් බවත් පිළිගත් දෙයක්.

මේ ප්‍රදීපාගාරයත් එය පිහිටි මේ තුඩුවත් කෙතරම් සුන්දර තැනක් ද යන්න වදනෙන් කිව නොහැකි තරම්. සුන්දර තණ බිස්ස සිසාරා යන සීතල මුහුදු සුළං රැලි ගිමන් නිවාලනවා. සිත සංසුන් කරනවා. දැහැන්ගත වන්නට වුව ද ශාන්ත සුන්දර පරිසරය හරිම නිසංසලයි. මෙය විටෙක සංස්කෘතික දායාදයන් වුවා පමණක් නොවෙයි, කලා නිර්මාණයක් ද වි ඇත්තේ මෙහි ගැබ් වි ඇති ආදි මිනිසුන්ගේ කලා ශිල්පයන් ද මෙහි තිබෙන හෙයින්.

ප්‍රදීපාගාර කිව්වාම අපට මතක් වෙන්නේ මහ මුහුද ඒ කියන්නේ මේවා පිහිටා තිබෙන්නේ එක්කෝ මුහුද මැද්දේ නැතිනම් මුහුදු වෙරළේ නිසයි. අපේ ධිවරයින් මේවාට කියන්නේ පහන් කණු කියලයි ඒවායේ බොහොමයකම ආලෝක විහිදුවන විදිලි ලාම්පු සවි කර තිබෙන නිසා. ඒ වගේම බොහෝ දෙනෙක් සිතා සිටින්නේ මේවා ප්‍රයෝජනවත් වන්නේ ධීවර ප්‍රජාවට පමණක් කියායි. ඒත් ලෝකයේ බොහෝ රටවල් මෙවන් ප්‍රදීපාගාර තමන්ගේ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන සංචාරක ව්‍යාපාරය සඳහා යොදවා ගෙන ඇති බව නම් අපට දැක බලා ගත හැකියි.

සාමාන්‍යයෙන් ප්‍රදීපාගාරයක් යනු ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රසිද්ධම සංචාරක ආකර්ෂණ වලින් එකක්. බොහෝ විට මුහුදට කිට්ටුවෙන් ඉතා උසට මේවා ඉදි වි තිබෙන බැවින් ප්‍රදීපාගාර උඩට ගියාම වටපිටාව ඉතාම සුන්දර විදියට දැක ගන්නට පුළුවන්. බොහෝ ප්‍රදීපාගාර ඉදි වි ඇත්තේ මිනිස්සුන්ට ඉන්න අමාරු පුංචි දූපත්වල හෝ ගල් වැටි උඩ නිසා ඒ අවට පරිසරයත් හරිම සුන්දරයි. මේ නිසා තමන්ගේ ප්‍රදීපාගාර වෙත සංචාරකයන් ගෙන්වා ගන්නට ප්‍රවර්ධනය කරන එකත්, පහසුකම් සලසන එකත් බොහෝ රටවල සිදු කරන සංවර්ධන ක්‍රියාදාමයක්.

මෙවැනිම තවත් සුන්දර ප්‍රදීපාගාර ගාල්ලේ සහ බේරුවලත් පිහිටා තිබෙනවා. මේවා සියල්ල අපිට උරුම මහා සොඳුරු දායාදයන්.

GPS ඇතුළු නවීන ක්‍රම බිහි වෙන්න කලින් ලෝකය පුරා මුහුදු ගමන් හැම එකක්ම සිදු වුණේ මේ ප්‍රදීපාගාරවල පිහිටෙන්. රාත්‍රිය පුරා නියමිත කාලයකට සැරයක් කැරකෙන, සැර ආලෝකයක් විහිදුවන පහනක් මේ හැම එකකම ඇති නිසාත් ප්‍රදීපාගාරය උසට ඇති නිසාත් ඈතින් යන නැව්වලට පවා ගොඩබිමට කලින් ප්‍රදීපාගාර දර්ශනය වෙනවා. මේ නිසාත් ඉන් ආලෝක ධාරා නියමිත කාල හෝරාවන් අනුව විහිදෙන නිසාත් තමන් සිටින තැන කොතන ද යන්න නිශ්චය කර ගන්නට හැකියාව ලැබුණා.

මේ හැම එකක්ම ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ බටහිර පාලකයන් තමන්ගේ වෙළෙඳ නැව්වලට මඟ පෙන්විම සඳහා ඉදි කරනු ලැබූ ඒවා විම විශේෂත්වයක්. ඒ වගේම රටේ ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක්ම මේ ප්‍රදීපාගාර එක්ක බැඳී පවතින බවත් කිව යුතුමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රදීපාගාර බොහොමයක්ම ඉදි වුණේ 18 වන ශත වර්ෂයේදී. ශ්‍රී ලංකාවත් ඇතුළුව බ්‍රිතාන්‍ය යටත් විජිතවල තිබුණු ප්‍රදීපාගාර නඩත්තු කිරීම සඳහා “රාජකීය ප්‍රදීපාගාර සේවය” (Imperial Lighthouse Service) නමින් වෙනම ආයතනයක් ඔවුන් විසින් පවත්වා ගෙන ගිය බව පෙනී යනවා. බ්‍රිතාන්‍යය අපේ ප්‍රදීපාගාර ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරනු ලැබුවේ ද අප නිදහස ලබා කලක් ගත විමෙන් ද පසුවයි. මේ වෙන කොට බොහෝ ප්‍රදීපාගාර පවත්වාගෙන යෑම භාර වි ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට හා නාවික හමුදාවට.

 

නන්දසිරි වැලිගමගේ

නව අදහස දක්වන්න