කජු වවන්න ඉගෙන ගන්න | දිනමිණ

කජු වවන්න ඉගෙන ගන්න

කාබනික කජු වගාවක් ආරම්භ කරමින් පදවිය ප්‍රදේශයේ ගොවි ජනතාවට ආදායමක් සපයා දීමට ජා ඇළ සමන්ත තමෙල් මහතා මේ දිනවල සූදානමින් සිටිනවා. මෙම කාබනික කජු වගාව නිසා පදවිය ප්‍රදේශයේ වී ගොවින්ගේ ඉවත දමන වී පොතුවලටත්, කුකුළු සහ ගව පට්ටි හිමියන්ගේ කුකුළු පොහොර සහ ගොමවලටත් මිලක් නියම වෙනවා. මේ නිසා ලැබෙන විදේශ විනිමය පදවිය ගම්මානයටම බෙදී යන ආකාරයට වැඩපිළිවෙළක් සකස් වෙනවා. මේ වැඩපිළිවෙළ සමඟම කජු සහ මඤ්ඤොක්කාවලටත් අගය එකතු කිරීමක් කරමින් ඔහු මේ ද්‍රව්‍යයන් ලෝකයේ බොහෝ රටවලට අපනයනය කරනවා.

 

 

ඔබ මොනවද කරන්නේ?

අපි කජු, පොටැටෝ චිප්ස්, කසාවා චිප්ස් හදනවා.

 

මේවා හදන්නේ විදෙස් වෙළෙඳපොළ සඳහා ද දේශීය වෙළෙඳපොළ සඳහා ද?

පිටරටත් යවනවා. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේත් තිබෙනවා.

 

මේ නිෂ්පාදන කර්තව්‍යය ආරම්භ කළේ කොහොම ද?

මේ වැඩේ ඉස්සෙල්ලම පටන් ගත්තේ මගේ තාත්තා. ඔහු ඊඩ්න් තමෙල්. 1981 අවුරුද්දේ තමයි ආරම්භ වුණේ. එදා සිටම මේ නිෂ්පාදන වර්ග ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලට දැම්මා. ඒ කාලෙදිම අපනයන කටයුතුවල යෙදුණත් මේ දේවල්වලට අගය එකතු කිරීමක් කරලා හරියටම පිටරට යවන්න ගත්තේ 2000දි. පට නිෂ්පාදනාගාර 3ක් තිබෙනවා ජා ඇළ සහ දඹුල්ලේ.

 

කජුවලට අගය එකතු කිරීමක් කරන්නේ

කොහොම ද?

කජු බැදීමෙන් තමයි. බැදපු කජු මුලින්ම කළේ අපියි. ඒ වගේම කසාවා චිප්ස් ඒ කියන්නේ මඤ්ඤොක්කා චිප්ස් කිසියම් හොඳ තත්ත්වයකට ගේන්නත් අපට පුළුවන් වුණා. හොඳ ඇසුරුම්කරණය කිරීම මඟින් එය සිදු කළා. ISO සහතිකය සමඟ මුලින්ම කසාවා චිප්ස් වෙළෙඳපොළට දැම්මේ අපි. ඒ වගේම පොටෑටෝ චිප්ස් මුලින්ම ආරම්භ කළෙත් අපි.

 

මේ නිෂ්පාදන සඳහා ගොවියන්ගෙන් ලැබෙන සහයෝගය කෙබඳු ද?

අප වටා ගොවි පිරිසක් පිරිසක් සිටිනවා. ඒ අය සමඟ ගිවිසුම්ගත වී තමයි වැඩ කරන්නේ. අල, මඤ්ඤෙක්කා, කජු සහ පැෂන් ෆ්රුට්, අඹ වැනි පලතුරුවලටත් ගොවීන් 400ක් පමණ සිටිනවා. දඹුල්ල, නුවරඑළිය, යාපනය, ඇඹිලිපිටිය, මොනරාගල‍ වැනි ප්‍රදේශවල ගොවීන් අප සමඟ සම්බන්ධ වී අමුද්‍රව්‍ය සපයා දෙනවා. කජු නම් වැවෙන්නේ පුත්තලම, මඩකලපුව, අම්පාර, කුරුණෑගල සහ මහව වැනි වියළි කලාපීය දේශගුණයක් තිබෙන පැතිවලින් ගන්නවා.

අප ආයතනයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් තිබෙනවා. ඒ අය එම වගාවන් ගැන සොයා බලනවා. විශේෂයෙන් කාබනික වගාවන් තමයි සියල්ලම.

ඒ වගේම අප කජු ගම්මානයක් හදන්න මූලික පියවර රැසක් අරගෙන තිබෙනවා.

 

කොහේද මේ කජු ගම්මානය හදන්න සැලසුම් කර තිබෙන්නේ?

පදවිය ප්‍රදේශයේ. ඒ සඳහා ගොවීන් සමඟ කතාබහ කරලා මූලික අඩිතාලම දාලා තිබෙන්නේ. අක්කර 1000ක් එම ගොවීන් සමඟ එකතු වී වවන්න තමයි අප සූදානම් වන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අපේ පැළ තවානක් දඹුල්ලේ නිෂ්පාදනාගාරය අයත් ඉඩමේ තිබෙනවා. ඒ නිසා ගොවියන්ට අවශ්‍ය කජු පැළ අප දෙනවා. ඒ වගේම කාබනික පොහොර, කාබනික කෘමිනාශක යොදා එය කාබනික වගාවක් ලෙස කර ගෙන යන්නයි සැලසුම් කර තිබෙන්නේ. දැන් තිබෙන කාබනික රැල්ල එන්න කලින් අපි මෙය පටන් ගත්තේ.

පදවිය ප්‍රදේශයේ ගොවියන්ට අයිති වී මෝල්, කුකුල් ගොවිපළවල්, ගව පට්ටි සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. අපේ මේ කාබනික වගාවත් සමඟ ඒ අයගේ වී පොතුවලට, කුකුල් පොහොර සහ ගොමවලටත් මිලක් ලැබෙනවා. අපි මේ නිෂ්පාදන අපනයනය කරන නිසා ඒ විදේශ ආදායම කෙළින්ම ඒ අයට ලැබෙනවා. මේ නිසා මුළු ගමක්ම ආදායම් ලබනවා. අක්කර 1000කින් ලැබෙන කජු ආදායම තව වසර තුනහමාරකින් පදවිය පැත්තටම ගලා ගෙන යාවි.

 සමන්ත තමෙල්

ඔබ අපනයන කටයුතු ආරම්භ කළේ මෑතක දි ද?

නැහැ. 1990 ගණන්වල ඉඳලා සුළු පරිමාණ වශයෙන් මාලදවයිනට වගේ යැව්වා. ඒ කාලේ පිටරට යැව්වේ raw කජු. ඒජන්තවරු හරහා තමයි අපි විදෙස් රටවලට ඒවා යැව්වේ. ඊට පසුව තමයි අපි කජුවලට අගය එකතු කිරීමක් කළේ. අපේ නිෂ්පාදනවල ලොකුම පරාසයක් තිබෙන්නේ කජු, පොටැටෝ චිප්ස් සහ කසාවා චිප්ස්වලට. මේ වෙනකොට අපි කෙළින්ම අපේ නිෂ්පාදන විදෙස් රටවල් කිහිපයකටම යවනවා. මාලේ, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය, කොරියාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇංගෝලාව, කොංගෝ, බ්‍රිතාන්‍ය වැනි රටවල් කිහිපයක්ම තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලටත් අලුතින්ම යවන්න සූදානමක් තිබෙනවා. මේ රටවලත් මේ දේවල් තිබුණත් අපේ අගය එකතු කරන ලද නිෂ්පාදන ඒවාට වඩා ප්‍රබලයි.

 

ඒ කියන්නේ කිසියම් විශේෂත්වයක් ඔබගේ නිෂ්පාදනවලට තිබෙනවා ද?

ඔව්. අපේ නිෂ්පාදන අද්විතීයයි. අපි පාවිච්චි කරන්නේ හොඳම දේවල්. අපේ මැෂින් පවා අන්තර්ජාතික මට්ටමේ ඒවා. ඒ මැෂින් හරි මිලයි. ඒවා නැතිව මේ නිෂ්පාදනවල ප්‍රමිතිය ගන්න බැහැ. මේ නිසා එම රටවල නිෂ්පාදන සමඟත් තරග කරන්න අපට පුළුවන්. ඒ වගේම අපේම අත්දැකීම් මේ හැම දේම හොඳ නිෂ්පාදනයකට අදාළ වෙනවා. කවුරුත් කරන දේවල් අප කරන්නේ නෑ. හැම නිෂ්පාදනයක්ම අලුත් දෙයක්.

රසකාරක ගත්තාම MSD කියන්නේ ලොකු බිල්ලෙක්. එහෙම වෙන්න හේතුව මිනිසුන්ගේ නොදැැනුවත්කම. MSD කියන දේ අපේ ස්වාභාවික පරිසරයේත් තිබෙනවා. තක්කාලිවල, මාළු මිරිස්වල, වම්බටුවල, මූදු හතුවල මේ MSD තිබෙනවා. වමබටු මෝජුවල ප්‍රණීත රසයක් එන්නේ ඒ නිසයි. MSD කියලා වෙනම දාන දේ රසායනික ද්‍රව්‍යයක්. විජලනය කරන ලද එළවළුවලත් මේ MSD තිබෙනවා. වායින් MSD ගත්තාම මිල වැඩියි. මේ නිසා රසායනික MSD නැතිව ස්වාභාවික MSD තමයි අපි භාවිත කරන්නේ. අපේ නිෂ්පාදනවල මිල වැඩිත් ඒකයි. අපි හරි දේ වගේම හොඳ දේ පාවිච්චි කරනවා.

ඔබගේ මේ නිෂ්පාදනවලට වැඩිම ඉල්ලුම තිබෙන්නේ විදෙස් වෙළෙඳපොළේ ද දේශීය වෙළෙඳපොළේ ද?

 

පිටරට වෙළෙඳපොළ හදන්න පුළුවනි. ඒත් එහෙම හදනවා කියා ඔක්කොම ටික පිටරට යැව්වොත් අපේ අයට කන්න දෙයක් නැති වෙනවා. අපේ හොඳ දේවල් අපේ වෙළෙඳපොළේ තිබෙන කොට පිටරට දේවලට අපේ රටේ වෙළෙඳපොළ. තුළ තිබෙන ඉල්ලුම අඩු වෙනවා. ඒක හොඳ දෙයක්. විදේශ විනිමය අපේ රට තුළ තබා ගැනීමක්. මේ නිසා අපි මේ දෙපැත්තම අනිවාර්යයෙන්ම බලනවා. හැම තිස්සෙම සල්ලිම බලන්න බැහැ.

 

මෙපමණ රටවල් සංඛ්‍යාවක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ඔබට හැකි වුණේ කොහොම ද? කවුද ඔබට සහයෝගය දුන්නේ?

ඒක කියන්නම ඕනෑ. 2000 වර්ෂයේ සිටම අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අපට උදවු කරනවා. අපි මේ වැඩේ ළදරු කාලෙදි අපිව පිටරට ආහාර ප්‍රදර්ශන සඳහා යොමු කළා. ඒ සඳහා විශාල අනුග්‍රහයක් දැක්වූවා. අප ජපානයට හතර වතාවක් ගියා. කොරියාවේ සෝල්වලට, අමෙරිකාවට සහ ඩුබායිවලටත් ගියා. මේවාට සහභාගි වෙලා අපේ නිෂ්පාදනවලට ගැනුම්කරුවන් සොයා ගන්නවා වගේම අන්තර්ජාතික වෙළෙඳාම සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලබා ගත්තා. ඒ සඳහා අද වන තුරු අපනයන සංවර්ධන මණ්ඩලය අප සමඟ සිටිනවා. අපට විදෙස් වෙළෙඳපොළ ජය ගන්නට ඊඩීබී ආයතනය විශාල මෙහෙවරක් කර තිබෙන බව කියන්න ඕනෑ. ඒ කාලේ අපට එයාර් ටිකට් එක ගන්නත් උදව් කර තිබෙනවා.

ඒ වගේම මේ කොවිඩ් සීමාවේ වැඩ කරන්න අවසර පත්‍ර ගන්න අවශ්‍ය දේ ඉතා ඉක්මනින් සපයා දුන් බවත් කියන්න ඕනෑ. ඒ නිසා කොරෝනා පළමු රැල්ලේ ඉඳලම අපි දිගටම වැඩ කළා.

 

චතුමී පිටිපන

නව අදහස දක්වන්න