විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගේ මුදල් වංචා කර වසර 3ක් සිර දඩුවම් වින්ද නීතිඥයාට ඇප | දිනමිණ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගේ මුදල් වංචා කර වසර 3ක් සිර දඩුවම් වින්ද නීතිඥයාට ඇප

නෙල්කා මැදගෙදර

විදෙස්ගත ශ්‍රී ලාංකිකයකු නිවෙසක් සෑදීම සඳහා එවන ලද ඔස්ට්‍රේලියානු ඩොලර් එක් ලක්ෂ අසූ දහස් පන්සියක මුදලක් සාවද්‍ය සාපරාධී අපහරණය කිරීමේ චෝදනාවට වරදකරු වී කොළඹ මහාධිකරණයෙන් වසර 3ක සිර දඩුවම් නියමව සිටින නීතීඥවරයකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

බිම්සර දිසානායක නැමැති එම නීතීඥවරයාට සෑම මසකම හතරවැනි ඉරුදින මේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොට්ඨාසයේ පොලීසියට වාර්තා කරන ලෙසද, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගැනීමටද අභියාචනාධිකරණය නියම කර තිබේ.

තමා ඇප මත නිදහස් කරන්නැයි ඉල්ලා නීතීඥ බිම්සර දිසානායක නැමැත්තා ගොනු කර තිබූ ඇප අයැදුම්පතක් මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගේන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලමින් මෙම ඇප නියෝග නියම කෙරිණි.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු , ඔස්ට්‍රේලියානු ඩොලර් එක් ලක්ෂ අසූ දහස් පන්සියක මුදලක් කුරුණෑගල ප්‍රදේශයේ නිවෙසක් සෑදීම සඳහා පෙත්සම්කරුගේ ගිණුමට එවා තිබූ අතර , එම මුදල්‍ සාවද්‍ය සාපරාධීව අපහරණය කරන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ මෙම නීතීඥවරයාට එරෙහිව නඩු පවරන ලදී.

මෙම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව 2018 ජනවාරි 28 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණය එම නීතීඥවරයාට වසර 3ක සිර දඩුවමක් නියම කළ අතර ඊට අමතරව රුපියල් ලක්ෂ පහක දඩයක්ද නියම කෙරිණි.

ඊට අමතරව රුපියල් ලක්ෂ 90 ක මුදලක් මෙම සිද්ධියට ලක්වූ වින්දිතයාට ගෙවන ලෙසටද මහාධිකරණය නියෝග කෙරිණි.

මෙම නියෝගවලින් අගතියට පත් වූ පෙත්සම්කරු එම දඩුවමට එරෙහිව අභියාචන පෙත්සමක් සහ තමා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ඇප අයැදුම්පතක් ගොනු කෙරිණි.

එම ඇප අයැදුම්පත සලකා බලමින් අභියාචනාධිකරණය මෙම ඇප නියෝග ලබා දෙන දී තිබේ.

නව අදහස දක්වන්න