කෝකටත් විරුද්ධ න්‍යාය | දිනමිණ

කෝකටත් විරුද්ධ න්‍යාය

ආණ්ඩුව විසින් ගනු ලබන සෑම තීරණයක්ම විවේචනය කිරීමත් ඒවාට එරෙහිව විරෝධතා පැවැත්වීමත් සාර්ථක විපක්ෂයක ස්වභාවය නොවේ යැයි මහනාහිමිවරු පෙන්වා දෙති. රටේ විවිධ ප්‍රදේශවල නිතිපතාම පාහේ විරෝධතා පැවැත්වෙයි. මේ විරෝධතා කොවිඩ් වසංගතය වැළැක්වීමට බාධාවක් වන අතර, රටේ ආර්ථිකයට ද බලවත් පහරක් එල්ල කරයි. මේවා මහජන විරෝධතා ලෙස හඳුන්වන්නේ වුව ඇත්ත කතාව එය නොවේ. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන විරෝධතා සංවිධාන කරති; ඒවා ස්වකීය දේශපාලන පැවැත්ම සඳහා භාවිත කරති. විරෝධතා පැවැත්වීම හා මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වුව එම අයිතිය භාවිත කළ යුත්තේ ජනතාවගේ යහපත උදෙසාය. එහෙත් අද සිදු වන්නේ එහි අනෙක් පැත්තය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හා ගුරු වැටුප් විසමතා පිළිබඳ ගැටලුව මූලික කොට පැවැත්වෙන විරෝධතා මේ දිනවල ප්‍රමුඛ වෙයි. කොතලාවල විශ්වවිද්‍යාල පනත ගැන කරුණු දක්වන මහනාහිමිවරු නිදහස් අධ්‍යාපනය ගැන සේම අධ්‍යාපනයේ නිදහස ගැන ද සමාජය කල්පනා කළ යුතු යැයි පෙන්වා දෙති. එම පනතෙහි මූලික අරමුණ කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අවස්ථා පුළුල් කොට රටේ වැඩි දෙනකුට උසස් අධ්‍යාපනය ලැබීමට අවකාශ සැලසීමය. එය වරදක් ලෙස තර්ක කරන්නට හැකියාවක් නැත. වෘත්තිය සමිති හා දේශපාලන ව්‍යාපාර ආණ්ඩුව ගනු ලබන ඕනෑම තීරණයකට එරෙහිව ක්‍රියා කරන බව මේ විරෝධතාවලින් වටහා ගත හැකිය. මෙහි පාඩුව ඍජු ලෙසින් බලපාන්නේ අපේ දරු පරපුරට යැයි කිව හැකිය.

ආරක්ෂක ලේකම්වරයා කොතලාවල විශ්වවිද්‍යාලය ගැන අපූරු විවරණයක් කර තිබේ. ඔහුට අනුව එය ශත පහේ විශ්වවිද්‍යාලයක් නොවේ. එහි ගුරුවරු ලෝකය පිළිගත් බුද්ධිමත්හු වෙති. පසුගිය කාලය තුළ එම විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලබාගැනීම සඳහා දෙසිය ගණනක් ඉදිරිපත් වී සිටියහ. එහෙත් ආචාර්ය උපාධි පිරිනමා ඇත්තේ දස දෙනකුට පමණි. අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළින්ම සලකනු ලබන ආයතනයක් ලෙස කොතලාවල විශ්වවිද්‍යාලය පෙන්වා දිය හැකිය. එය මුදලට උපාධි විකුණන අධ්‍යාපන කඩයක් නම් පළමු කී දෙසිය ගණනටම ආචාර්ය උපාධි පිරිනැමිය යුතුව තිබිණි. කොතලාවල විශ්වවිද්‍යාල පනත පිළිබඳ අසත්‍ය ප්‍රචාර රැසක්සමාජ ගත කර තිබේ. එය දේශපාලන ප්‍රයෝගයකි.

රටකට අවශ්‍ය වෘත්තිකයන් නිර්මාණය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල පද්ධතියයි. රටකට අවශ්‍ය විනයගරුක පුරවැසියන් බිහි කරනු ලබන්නේ ජාතික අධ්‍යාපනයයි. අධ්‍යාපනය රටට, ලෝකයට හා නූතන යුගයට ගැළපෙන ක්‍රමවේදවලින් සමන්විත විය යුතුය. ඒ අනුව අධ්‍යාපන පාඨමාලා මෙන්ම ආයතන පවත්වාගෙන යනු ලබන ක්‍රමවේදයන් ද යාවත්කාලීන කිරීමට රජයකට සිදු වෙයි. ජාතික අධ්‍යාපනය සම්බන්ධ වගකීම රජය භාර ගත යුතුය. අධ්‍යාපනය අතීතයේ පැවති අයුරින්ම වර්තමානයේ ද පැවතිය යුතු යැයි කල්පනා කිරීම මෝඩකමකි. මේ මෝඩකම නිසා රටේ තරුණ පරපුර අතරමං වෙති. රැකියා පෝලිම, තරුණ අසහනය පමණක් නොව ජනතාවගේ විනය පිළිබඳ ගැටලු මතුවන්නේ ද අධ්‍යාපනයේ පවතින දෝෂයක් නිසා බව බොහෝ විද්වත්හු පෙන්වා දෙති.

ගුරුවරයා ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිකයකු බව කවුරුත් පිළිගනිති. දියුණු රටවල ඉහළම වැටුප් ලබන වෘත්තිකයකු ලෙස ගුරුවරයා හැඳින්විය හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිකයාට ඉහළම වැටුප් ලැබෙන්නේ නැත. එය අද ඊයේ ඇති වූ ගැටලුවක් නොවේ. අවස්ථා කිහිපයකදී ගුරු වැටුප් සංශෝධනය කොට වැටුප් ක්‍රමයක් සකස් කොට තත්ත්වය නිවැරැදි කිරීමට උත්සහ කර තිබුණ ද එය මුළුමනින් සාර්ථක වී නැත. දැනට පවතින වැටුප් විසමතාව වසර ගණනාවක සිට ‍පවතින්නකි. යහපාලන ආණ්ඩුවට එය නිවැරැදි කිරීමේ අවස්ථාව තිබුණ ද එය ඉටු කළේ නැත. වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ අද පවතින අර්බුදකාරි තත්ත්වය ද ප්‍රයෝජනයට ගනිමින් තම ඉල්ලීම් දිනා ගැනීමට උත්සුක වී ඇත.

ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ද අදාළ වැටුප් විසමතාව නිවැරැදි කොට ගුරු වෘත්තිකයන්ට ඉහළ වැටුපක් දිය යුතු බවය. ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව සඳුදා ඉදිරිපත් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එපමණක් නොව, වෘත්තීය සමිතිවලට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් දීමට ද එකඟ වී ඇත. උද්ඝෝෂකයන් මට්ටු කිරීම හෝ විරෝධතාවලට පහර දී පලවා හැරීම හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී නැත. සෑම උද්ඝෝෂණයකටම අවස්ථා දී ඇත. ඇතැම් විරෝධතාවලදී නිරෝධායන නීති උල්ලංඝනය වන අතර, ඒවා දෙස බලා සිටින්නට පොලිසියට සිදු වී ඇත. විරෝධතා නිසා ක්‍රියාත්මක වූ ගුරුවරුන්ගේ ඔන්ලයින් අධ්‍යාපන වර්ජනය ඉතා හානිකර ලෙස ශිෂ්‍ය පරපුරට බලපා තිබේ. මෙහි අවාසනාවන්ත ප්‍රතිඵල දැක ගත හැක්කේ අනාගතයේදීය.

කොවිඩ් වසංගතය නිසා සමස්ත ලෝකයේම අධ්‍යාපනය ගරාවැටීමකට ලක් වූ අතර, ඊට විසඳුමක් ලෙස ඉදිරිපත් වූ විකල්ප ක්‍රියාමාර්ගය වූයේ ඔන්ලයින් අධ්‍යාපනයයි. එය කාලය හා තාක්ෂණය සමඟ සිදු කරන එක්තරා ගනුදෙනුවක් ද වෙයි. එහෙත් රට පුරා යම් සාර්ථකත්වයක් හිමි කර ගනිමින් ඔන්ලයින් අධ්‍යාපනය ව්‍යාප්ත විය. වර්ජනය නිසා එය හිටිහැටියේ නැවතිණි. දරුවන්ගේ අධ්‍යාපනික රිද්මය ඒ අනුව මුළුමනින්ම බිඳ වැටී ඇත. වැටුප් විසමතාව පිළිබඳ සාකච්ඡා පවත්වන අතර, ඔන් ලයින් අධ්‍යාපනය පවත්වා ගෙන යෑමට වෘත්තීය සමිති කාරුණික විය යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදු වී නැත. රටේ පොදු ජනයා තුළ මේ සම්බන්ධයෙන් වන විරෝධතාවක් පවති. එය ගුරුවරුන් වෙත එල්ල වී ඇති බව ද කිව යුතුය.

රට මුහුණදී ඇති වසංගත තත්ත්වය, ආර්ථිකයේ පසුබෑම ආදිය අපගේ වෘත්තීය සමිතිවල ද දේශපාලන ව්‍යාපාරවල ද අවධානයට ලක් විය යුතුය. එහෙත් සිදු වන්නේ අනෙකකි. වෘත්තීය සමිති ෂයිලොක්ගේ න්‍යාය අනුගමනය කරති. දේශපාලන ව්‍යාපාර තමන්ගේ පැවැත්ම සඳහා ඕනෑම දෙයක් කරති. මේවා රටක ඉදිරි ගමනට බලපාන අහිතකර සාධක ලෙස පවති. නිහඬ පිළිවෙතක් අනුගමනය කරන සාමාන්‍ය ජනතාව මේ සියල්ල නිරීක්ෂණය කරන බව ද මතක් කළ යුතුය.

නව අදහස දක්වන්න