රිෂාඩ් නිවෙසේ දැරියක මිය යෑම: මන්ත්‍රී බිරිය-පියා සහ බ්‍රෝකර් අත්අඩංගුවට | දිනමිණ

රිෂාඩ් නිවෙසේ දැරියක මිය යෑම: මන්ත්‍රී බිරිය-පියා සහ බ්‍රෝකර් අත්අඩංගුවට

රක්ෂණ ශ්‍රියන්ත
සුභාෂිණී සේනානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ සිටි මෙහෙකාර දැරියක් පිලිස්සුම් තුවාළ ලැබ මිය යෑම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිය, බිරියගේ පියා සහ එම දැරිය කොළඹට රැගෙන ආ පුද්ගලයා පොලිසිය විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ දැරිය මිය යෑම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 20කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිය වන 46 හැවිරිදි ෂෙහාබ්ඩීන් අයේෂා සහ බිරියගේ පියා වන 70 හැවිරිදි මෙහොමඩ් ෂෙභාබ්ඩීන් නමැති අයද අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව දැරිය කොළඹට රැගෙන විත් කෘරත්වයට භාජනය කරමින් මෙහෙකාර සේවයට යෙදවීම සම්බන්ධයෙන් ඩයගම ප්‍රදේශයේ පදිංචි තැරැව්කරු වන පොන්නයියා පන්කර් නොහොත් ශංකර් නමැති 60 හැවිරිදි පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් කරුණු, පරිවේෂණීය සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ බොරැල්ල පොලිසිය, කොළඹ දකුණ කාන්තා හා ළමා කාර්යාංශය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

නව අදහස දක්වන්න