ලොව ප්‍රබල රාජ්‍ය නායකයන්ගේ දුරකතන, ඊ මේල් හැක් කරලා | දිනමිණ

ලොව ප්‍රබල රාජ්‍ය නායකයන්ගේ දුරකතන, ඊ මේල් හැක් කරලා

අන්තර්ජාතික මට්ටමේ ධනකුවේරයන් සහ ප්‍රබල පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත ලොව පුරා දේශපාලන නායකයන්, මාධ්‍යවේදින්, සමාජ ක්‍රියාකාරින් ඇතුළු පුද්ගලයන් රැසකගේ ක්‍රියාකාරකම් පිළිබඳ ඔත්තු බැලීමට ඊශ්‍රායලයේ ඔත්තු බැලීමේ සමාගමක් කටයුතු කර ඇතැයි අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කළේය.

ඊශ්‍රායලයේ එන්එස්ඕ ගෘප් නමැති ඔත්තු බැලීමේ සමාගමක් විසින් නිපදවනු ලැබූ ‘පෙගාසස්‘ නමැති මේ මෘදුකාංගය මගින් ඔත්තු බැලීම් සිදු කර ඇති බව ද වාර්තා වේ.

ලොව ප්‍රබල රටවල රාජ්‍ය නායකයන් රැසක් බිය වැද්දූ මේ සිදුවීම අන්තර්ජාතික මට්ටමෙන් දැඩි අවධානයට ලක්වී ඇති අතර, විශාල කැළඹීමක් ද ඇතිවී තිබේ. සිය සේවාදායකයන්ගේ අවශ්‍යතාව පරිදි පෙගාසස් මෘදුකාංගය නිර්මාණය කළ බවත්, එය විවිධ රටවල ජනාධිපතිවරු, අගමැතිවරු, අරාබි රජ පවුල්වල සාමාජිකයන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් වෙත ලබා දී ඇති බවත් හෙළි වී තිබේ.

මේ මෘදුකාංගය භාවිත කරමින් විවිධ පුද්ගලයන්ගේ සමාර්ට් ජංගම දුරකතනවලට ඇතුළු වී ඔත්තු සෙවීමේ කටයුතු සිදු කළ හැකි වන අතර, ඔවුන්ගේ සියළු පෞද්ගලික තොරතුරු, දුරකතන සංවාද, ඡායාරූප මෙන්ම විද්‍යුත් තැපෑලේ තොරතුරු ද ලබාගත හැකි බව වාර්තා වේ.

පෙගාසස් මෘදුකාංගය අලෙවි කරනු ලබන්නේ රජයන්ට සහ බුද්ධි අංශවලට පමණක් බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියද, පසුගිය කාලයේ ලොව පුරා විවිධ මට්ටමේ පුද්ගලයන්ට එම මෘදුකාංගය අලෙවි කර ඇතැයි විදෙස් පුවත් සඳහන් කළේය.

අදාළ සමාගම ඊශ්‍රායල අගමැතිවරයාගේ යටතේ ක්‍රියාත්මක වන බැවින් මේ පිළිබඳ පුළුල් පරික්ෂණයක් පැවැත්වීමට ඊශ්‍රායල රජය පියවර ගෙන ඇත.

පෙගාසස් මෘදුකාංගය ඉතා දරුණු ලෙස අවභාවිතයට ලක්වී ඇතැයි ද , ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්රෝන්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඉරාක ජනාධිපති බර්හැම් සාලි ඇතුළු ලොව පුරා විවිධ රටවල රාජ්‍ය නායකයන් රැසකගේ දුරකතන පෙගාසස් මෘදුකාංගය ඔස්සේ ඔත්තු බැලීම් සිදු කර ඇතැයි වාර්තා වේ.

ප්‍රංශ ජනාධිපති මැක්රෝන් දැනටමත් ඔහුගේ ජංගම දුරකතනය හා එහි අංකය වෙනස් කර ඇතැයි ද වාර්තා වේ. පෙගාසස් මෘදුකාංගය මගින් මේ වනවිට ලොව පුරා ජංගම දුරකතන කොපමණ සංඛ්‍යාවක ඔත්තු බලා තිබේදැයි යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැත.

 

නව අදහස දක්වන්න