මධ්‍යම චීනයේ ගංවතුරෙන් 33ක් මරුට | දිනමිණ

මධ්‍යම චීනයේ ගංවතුරෙන් 33ක් මරුට

අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

 මධ්‍යම චීනයේ ෂෙන්ෂූ පළාතට බලපෑ ගංවතුර හේතුවෙන් උමං මාර්ගවල සිර වූ පුද්ගලයන් මුදා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. එම පළාතේ ගංගා පිටාර ගැලීමෙන් අධික ජල ධාරාවක් නගරයට කඩා වැදී ඇති අතර, දුම්රිය උමං මාර්ග සහ මෝටර් රථ ගමන් කරන උමං මාර්ග රැසක් ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ.

ඊයේ වන විට මේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගිය අතර, තවත් පුද්ගලයන් 8 දෙනකු තවමත් අතුරුදන් බව ෂෙන්ෂූ පළාත් බලධාරිහු පවසති.

ෂෙන්ෂූ පළාතේ උමං දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් පුද්ගලයන් 12 දෙනකු මිය ගිය බවත්, තවත් පුද්ගලයන් 5 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වන අතර, ජලයට හසු වන විට උමං දුම්රියවල මගීන් 500කට අධික පිරිසක් සිටි බවත් වාර්තා වේ.

මේ වන විට ෂෙන්ෂූ සහ හෙනන් පළාත්වලට ඇද වැටුණු මහ වර්ෂාව නිසා විපතට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 99ක් ඉක්මවා ඇතැයි ද වාර්තා වේ. ගංවතුර තත්ත්වය නිසා එරට ආර්ථිකයට අමෙරිකානු ඩොලර් මිලියන 109ක පාඩුවක් සිදු වී ඇතැයි ද සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

 


නව අදහස දක්වන්න