දේශගුණික විපර්යාස සහ වසංගත සාගතය | දිනමිණ

දේශගුණික විපර්යාස සහ වසංගත සාගතය

ධම්මික සෙනෙවිරත්න

පීඩාවට ලක් වෙලා තියෙන මිනිස්සු දේශගුණික විපර්යාස ඇති කිරීමට බිඳක් හෝ දායක වී නැත. ඔවුන්ට කාර් නැත, තියෙන්නේ කරත්ත. ඔවුන්ට උදුන් නෑ, විදුලිබලය නැත. ඇත්තටම ගෝලීය උණුසුම ඉහළ නැඟීම වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය බින්දුවයි. එසේ තිබියදී මේ ප්‍රශ්නයෙන් දැවෙන්නේ ඔවුන්ය. ඒ නිසා සදාචාරාත්මකව බැලුවත් අප ඔවුන්ට උපකාරී විය යුතුයි.’

වසංගතය මැද ආ සාගතය ලෝකයේ රටවල් ගණනාවක් ඛේදවාචකයක ඉම අද්දරට රැගෙන විත් තිබේ. වසංගතය නිසා අහිමි වන ජීවිතවලට අමතරව සාගතය නිසා මිනිසුන් මිය යන අයුරු දක්නට ද ලෝකයට සිදු වී ඇත. මේ දක්වාම සාගත ගැන බොහෝ විට අසන්නට ලැබුණේ යුද ගැටුම් ද සමඟය. ඊට වෙනස්ව, නූතන ඉතිහාසයේ පළමු වතාවට දේශගුණික විපර්යාස හේතුවෙන්ම ඇති වූ දරුණු සාගතයකට මැඩගස්කරය මුහුණදී සිටී.

මැඩගස්කරයේ දකුණු ප්‍රදේශ දශක හතරක ඉතිහාසයේ දරුණුම නියඟය හමුවේ පීඩාවට පත්ව ඇත. ‘ලෝක ආහාර වැඩසටහන’ (WFP) පවසන පරිදි මේ වන විට මිලියන 1.14ක පමණ ජනකායක් ආහාර හිඟයකින් පෙළෙන අතර, 400,000ක් පමණ සාගතයෙන් පීඩා විඳීනි දැනටමත් මාස ගණනක් තිස්සේ ආහාර අහේනියට පිළියම් නැති මිනිසුන්ට කැලෑ කොළ, පතොක්, පළගැටියන්, කුහුඹුවන් වැනි සතුන් අනුභව කරමින් කුසගිනි නිවා ගැනීමට සිදු වී තිබේ. ලෝක ආහාර වැඩසටහන මේ ජනයාට පිළිසරණක් වීම සඳහා කටයුතු කරමින් සිටින අතර පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය සිතාගැනීමට පවා නොහැකි බවය. තමන් සන්තකව ඇති හැළි වළං, හැඳි ආදිය දී නරක් වූ තක්කාලි, කේඩෑරි වී ගිය කුකුළුන් මෙන්ම තවමත් වෙළෙඳපොළේ ඉතිරිව ඇති සහල් ටිකක් සපයා ගන්නා මිනිසුන් ද අද මැඩගස්කරයේ දැකිය හැකිය.

ඔක්තෝබරයේදී සාගතය දෙගුණ වේවි. ඊළඟ කන්නයට දෙමසකට අඩු කාලයක් තිබියදී වගා ඉඩම් වැල්ලෙන් වැසී ගොස් ඇති අයුරු දිස්වේ. එම ප්‍රදේශයේ ජලය නැති අතර වැසි වැටෙන බවට සළකුණක් පවා නැත. ‍ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ මැඩගස්කර වාසීන්ගෙන් යම් ප්‍රමාණයක් ආහාර සුරක්ෂිතතාවක් නැති වීම හේතුවෙන් 5 වැනි මට්ටමේ සාගත අවදානමක ඇති බවය. මේ තත්ත්වය ඔක්තෝබරය වන විට දෙගුණ වනු ඇතැයි බිය පළ වේ. WFP විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් වෙස්ලි පවසන පරිදි මෙය යුද්ධයක් හෝ ගැටුම්කාරිත්වයක් නිසා ඇති වූවක් නොව දේශගුණික විපර්යාස නිසා ඇති වූ ගැටලුවකි.

ඉතිහාසයේ සාගත පිළිබඳ වාර්තා වී ඇත්තේ අස්වනු අඩු වීම, කෘමි ආදී පළිබෝධ ආක්‍රමණ ආදිය හේතුවෙනි. ඒ අතරම මිනිසුන්ගේ මැදිහත් වීම මත ඇති වූ යුද ගැටුම්වල ප්‍රතිඵල වන සාගත ද එක්වේ. මැඩගස්කරයේ තත්ත්වය ඉහත සියල්ලට වඩා වෙනස්ය. ඊට වැඩි දායකත්වයක් දක්වා ඇත්තේ ද මිනිස් ක්‍රියාකාරකම් වීම ඛේදවාචකයකි. ඉන්දීය සාගරයේ පිහිටි මැඩගස්කරය සුන්දරත්වය අතින් මෙන්ම ජෛව විවිධත්වය අතින් පොහොසත් දූපතක් ලෙස ද ප්‍රකටය. පසුගිය වසර 5ක් තිස්සේ එහි වාර්තා වූයේ සාමාන්‍ය වර්ෂාපතනයට අඩු වර්ෂාවකි. විශේෂයෙන් දකුණු ප්‍රදේශවල කෘෂිකර්මාන්තයේ නියැළෙන ජනයාට එය විශාල බලපෑමක් ඇති කළේ, ගංගා, වාරි යෝජනා ක්‍රම සිඳීයන්නට පටන්ගත් බැවිනි.

ඇතැම් විට 8 වැනි මහාද්වීපය ලෙස හැඳින්වුව ද මැඩගස්කරය දිළිඳු රාජ්‍යකි. සාගතයට මුහුණ දී සිටින ජනජීවිත රැකගැනීම වෙනුවෙන් ආධාර අවශ්‍ය වී ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසයි. ආහාර සැපයීමට අමතරව වාරිමාර්ග යෝජනා ක්‍රම ආදිය ද නැංවිය යුතුව ඇත. 2015 පාරිස් සම්මුතිය මඟින් දේශගුණික විපර්යාස හේතුවෙන් බලපෑමට ලක් වන සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සඳහා වාර්ෂිකව ඇ.ඩො. බිලියන 100ක ආධාර සැපයීමට ධනවත් රටවල් එකඟ විය. මේ ඉලක්කයට ළඟා වීමට තවමත් හැකි වී නැත. දැනට ප්‍රකාශිත දත්තවලට අනුව 2018 වසරේදී ප්‍රමාණය ගණනය කරන විට ඇ.ඩො. බිලියන 20ක හිඟයක් ඇත. ලෝක බැංකුව ගණනය කරන පරිදි, දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ මිලියන 140ක් පමණ ජනකායකට තම රටවලට පදිංචි ස්ථාන වෙනස් කරමින් වඩා ආරක්ෂිත තැන්වලට සංක්‍රමණය වීමට සිදුව තිබේ. මේ තත්ත්වය අප්‍රිකාව, ආසියාව, යුරෝපය, අමෙරිකාව ආදී සෑම කලාපයකට දැකිය හැකිය.

ඉඩෝරය

ගැටුමක් නිසා නොව කුසගින්න හේතුවෙන් මැඩගස්කරයේ මිනිසුන් මිය යමින් ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ කලාපීය අධ්‍යක්ෂවරිය ලෝලා කස්ත්‍රෝ පවසා සිටියේ, ඉකුත් මාසයේ එහි කළ සංචාරයෙන් අනතුරුවය. අට මසක් තිස්සේ තම දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා උදෑසනම කෘමිසතුන් සහිත ආහාර පිඟානක් පිළියෙල කරන මවක ගැන WFP වාර්තා කර තිබිණි. එය ඇයගේ පමණක් නොව තවත් බොහෝ දෙනකුගේ කතාවය. ගවයන්, එළුවන්, බැටළුවන් ආහාරයට ගෙන අවසන දේශගුණික විපර්යාස නිසා ඇති වූ දීර්ඝ නියං තත්ත්වය මැඩගස්කරයේ සාගතයක් ඇති කරන විට කොරෝනා වසංගතය සහ යුද ගැටුම් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවත්නා ලෝකයේ රටවල් ගණනාවක් ද ආහාර අර්බුදයකට රැගෙන ගොස් ඇත. මෑතදී WFP මඟින් එම රටවලට සහන සැලසීම සඳහා ඇ.ඩො. බිලියන 6ක ආධාර අවශ්‍ය වී ඇතැයි ඉල්ලීමක් කර තිබිණි. එවැනි රටවල් 43ක මිලියන 41ක ජනතාවක් සාගතයක අද්දරට පැමිණ සිටින බව ඉන් පෙන්වා දී තිබේ. එනම්, මෙය ලෝකයේ රටවල් 1/5කට බලපා ඇති තත්ත්වයකි. මේ රටවල් බොහොමයක් උප සහරානු අප්‍රිකා කලාපයේ පිහිටා තිබේ. ඉතියෝපියාවේ ට්‍රිගේ ප්‍රදේශයේ පවතින යුද ගැටුම් හේතුවෙන් 900,000ක‍ට පමණ සාගතයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි අමෙරිකාව ගණනය කර ඇත. දකුණු සුඩානයේ පවතින ප්‍රචණ්ඩ ගැටුම් ද එවැනි අවදානමක් නිර්මාණය කර තිබේ. නයිජීරියාව සහ මොසැම්බික් රාජ්‍ය ද ආහාර හිඟයකට මුහුණ දී සිටී.

සාගතය

දේශගුණික විපර්යාස හේතුවෙන් නියඟ, සුළිකුණාටු, වැලිකුණාටු මෙන්ම පළගැටි උවදුර ද කෙටි කාලසීමාවක් තුළ මෙවැනි ආපදා තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත් බව විශේෂඥයෝ පෙන්වා දෙති. පසුගිය බදාදා ඉතාලියේදී විසි දෙනාගේ කණ්ඩායමේ (G20) හමුව අමතමින් WFP ප්‍රධානී ඩේවිඩ් බේස්ලි අනතුරු අඟවා සිටියේ මැඩගස්කරය ඇතුළු රටවල් ගණනාවක් අනපේෂිත සාගතයකට මුහුණ දෙමින් සිටින බවය. මැඩගස්කරය සඳහා පමණක් ඇ.ඩො. මිලියන 78.6ක ආධාර අවශ්‍ය වනු ඇති බව ඔහු එහිදී පවසා සිටියේය.

මැඩගස්කරයේ තත්ත්වය එසේ වන විට, අමෙරිකාවේ ඔරිගන් හා වොෂින්ටනයේ උෂ්ණත්වය මෙතෙක් පැවති වාර්තා බිඳ දමමින් ඉහළ නැඟ තිබේ. කැනඩාවේ ද ඉහළ උෂ්ණත්වයක් වාර්තා වෙමින් පවති. බ්‍රිටිස් කොලොම්බියාවේ, උෂ්ණත්වය ඉහළ නැඟීම හේතුවෙන් මරණ වාර්තා විය හැකි බවට අනතුරු අඟවා තිබේ. උතුරු අමෙරිකාවේ රටවල ද වැඩි උෂ්ණත්ව අගයක් වාර්තා වෙමින් තිබියදී මැද පෙරදිග, දකුණු ආසියාව සහ රුසියාව ද ඉහළ උෂ්ණත්ව අගයන් වාර්තා කරන්නට පටන්ගෙන ඇත.

මැඩගස්කරයේ ගොවිජනයා පවසන්නේ වසර 3ක පමණ සිට වැසි නොලද බවය. දැඩි නියං තත්ත්වය හේතුවෙන් හා අධික සුළං සමඟ වගාව සඳහා සුදුසු සාරවත් පස් ගසාගෙන ගොසිනි. වගාබිම් දිස්වන්නේ වියැළුණු කාන්තාර මෙනි. කුසගින්න හේතුවෙන් මිනිසුන් මිය යෑම වළකා ගැනීම පිණිස සහනාධාර සැපයීමට සිදුව ඇත. දිගු කාලීන පිළියම් ද යෙදිය යුතුව තිබේ.

මේ අතර, කොවිඩ් වසංගතයේ බලපෑම් අප්‍රිකානු කලාපය සම්බන්ධයෙන් තවමත් බරපතළය. ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වීම ඉහළ යමින් පවතී. වසංගතයට එරෙහිව සටන් කරන අතර, එකිනෙකා අතර වාර්ගික ගැටුම් ද මේ කලාපයේ සුලබය. පවතින තත්ත්වය වඩා අයහපත් අතට හැරවීමට එය හේතු වී තිබේ. දරුණු ලෙස ආහාර හිඟයකට මුහුණදී සිටින ළමයින් අධ්‍යාපන ක්‍රියාවලියෙන් බැහැර වී ඇත. ජීවිත රැක‍ ගැනීම ඔවුන් හමුවේ ඇති විසල් අභියෝගයයි.

උද්ධමනය ඉහළට

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසන පරිදි කොවිඩ් වසංගතය හා දේශගුණික විපර්යාස ගැටලු හේතුවෙන් වෙළෙඳපොළ මත ඇති වී ඇති පීඩනය ලොව පුරා ආහාර මිල ගණන් ඉහළ දැමීමට හේතුවී තිබේ. 2011 සැප්තැම්බරයෙන් පසු ලෝකයේ වැඩිම ආහාර ගණන් වාර්තා වී ඇති බව පවසන එය ධාන්‍ය මිල ගණන් වාර්තාගත ලෙස ඉහළටම ගොස් ඇතැයි ද පෙන්වා දේ. WFP කලාපීය අධ්‍යක්ෂවරිය පවසන්නේ දකුණු මැඩගස්කරය යනු අයිස්පරයේ මුදුන පමණක් බවයි. එනම් තවමත් අපට දක්නට ඇත්තේ සුළු කොටසකි. නොපෙනෙන පරාසය ඉතා විශාලය. දේශගුණික විපර්යාස හා කොවිඩ් වසංගතය හේතුවෙන් තවත් රටවල් මෙවැනි තත්ත්වවලට මුහුණ දෙනු ඇති බවට ඇය අනතුරු අඟවා ඇත. ‘ඇංගෝලාව, උතුරු මොසැම්බික් වගේ රටවලත් අපට මේ තත්ත්වය දකින්න ලැබේවි’ යනුවෙන් ඇය, එම අවදානම පැහැදිලි කර තිබිණි.

ඉතාලි විදේශ ඇමැති දුයිජි ඩි මයියෝ G20 අමාත්‍ය සමුළුව අතර වාරයේ, ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා වන පළමු පියවරක් වන්නේ සියලුදෙනාගේම කුස පිරවෙන බවට වගබලා ගැනීම බවය. මේ කාරණය අවධානයට ගනිමින් G20 සමුළුවේදී ‘මතෙරා ප්‍රඥප්තිය’ (Matera Declaration) ඇතිකරගෙන තිබේ.

දේශගුණික විපර්යාස සමඟ බැඳී ඇති මේ බරපතළ අර්බුදයේ ඛේදනීය පැතිකඩක් ලෝක ආහාර වැඩසටහනේ කලාපීය අධ්‍යක්ෂවරිය මෙලෙස දක්වා තිබිණි:

‘මේ පීඩාවට ලක් වෙලා තියෙන මිනිස්සු දේශගුණික විපර්යාස ඇති කිරීමට බිඳක් හෝ දායක වී නෑ. ඔවුන්ට කාර් නෑ, තියෙන්නේ කරත්ත. ඔවුන්ට උදුන් නෑ, විදුලිබලය නෑ. ඇත්තටම ගෝලීය උණුසුම ඉහළ නැඟීම වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය බින්දුවයි. එසේ තිබියදී මේ ප්‍රශ්නයෙන් දැවෙන්නේ ඔවුන්. ඒ නිසා සදාචාරාත්මකව බැලුවත් අප ඔවුන්ට උපකාරී විය යුතුයි.’

නව අදහස දක්වන්න