ජීවිතය උඩුයටිකුරු කළ වසංගත සිහින | දිනමිණ

ජීවිතය උඩුයටිකුරු කළ වසංගත සිහින

වසංගතය පැමිණියේ ඉතාමත් රහසිගතවය. මුලින් කුඩා සුළං පහරක්ව ද, ඉන් පසුව චණ්ඩ කුණා‍ටුවක්ව ද ලෝකයට කඩා වැදි කොරෝනා වසංගතය තම රාක්ෂ මුහුණ පෙන්වන්නට තරමක් කල් ගත්තේය. ධනයෙන් ආඩ්‍ය වූවාට, බලයෙන් සන්නද්ධව සිටියාට වසංගත රකුසා පරාජය කිරීමට ඒ කිසිවකගේ උපකාරය නොලැබුණි. දොර, දොර මරණ සුලබ වූ අතරම, ජීවිතය පිළිබඳ කලින් පැවැති දිගු කාලීන සිහිනවල බිත්ති පුපුරා යන සැටියක් දක්නට ලැබුණි. කොරෝනා වසංගතය සමඟ පළමුව සටන් කිරීමටත්, දෙවැනුව ඊට අර්ධ වශයෙන් යටත් වීමටත් ලෝකවාසීන්ට සිදු වීම අතිශය දෛවෝපගතය. දැන් ලෝකයම සිටින්නේ මේ වසංගතය විසින් පැනැවූ අධම නීති රාශියකට යටත්වය. ඒ නීති පද්ධතිය අතර සාමාන්‍ය මිනිස් ජීවිතය උඩු යටිකුරු කරන්නට සමත් නීති රාශියකි. වෙනදාට නීති පනවන්නේ මිනිසා විසිනි. ඒ මෙතෙක් බලවන්තයා වූයේ ඔහු බැවිනි. එහෙත් දැන් බලවතා කවුදැයි ප්‍රශ්න නැඟීමට පවා කාලයක් ඉතිරිව නැත. වයිරසයක් විසින් මානව ජීවිත රවුම අවුල් කර දමා ඇත.

කොටින්ම දැන් මිනිසාගේ සිහින පවා වසංගතය විසින් අවුල් කර දමා ඇති බවට සී.එන්.එන් පුවත් අඩවියේ පළ කළ ලිපියක සඳහන්ය. වසංගත කාලය සමඟ මිනිසාගේ සිහින කැපී පෙනෙන අයුරින් වෙනස්ව ඇති බවට මේ ලිපියේ තව දුරටත් පෙන්වා දෙයි. වසංගතය යනු බියකරු සිහිනයකින් අවදි වීමක් නම් දකිමින් සිටි සිහිනය කෙබඳු විය යුතුද? අවදි වන්නට නොලැබ ඔබට සිහිනයේම දිගින් දිගටම හිර වී සිටින්නට සිදු වුව හොත් තත්ත්වය කුමණාකාර වනු ඇතිද? වසංගතයේ දරුණුම කාලය මුළුල්ලේ බොහෝ අය දකින සිහින අතිශය බියකරු වූත්, කාල්පනික ඒවාය. මේ සිහින තුළ විචිත්‍ර බියජනක බවක් ද දක්නට ඇත. ඊට ඝෘජුවම බලපාන්නේ අප අත් විඳිමින් සිටින කම්පන මට්ටමයි. ආදරණීයන් අහිමි වීම, බරපතළව කොවිඩ් රෝගයට මුහුණ දෙන්න සිදුවීම මෙන්ම කොවිඩ් සත්කාර ඒකකවල සේවය කරන ඉදිරි පෙළ සේවකයකු වීම හේතුවෙන් මේ සිහින තුළ බොහෝ අයට ගැලී සිටින්නට සිදුව ඇත. මේ නරක සිහින ව්‍යසනකාරී විය හැකිය.

මනෝ වෛද්‍යවරියක වන ඩියර්ඩේ බැරට් පවසන ආකාරයට වයිරසය විසින් අපේ ජීවිත වසා ගැනීමත් සමඟම අවිඥානිකව අප විසින් බියකරු සිහින එකතු කරමින් සිටියි. බොහෝ රාත්‍රී යාම මරණයේ භීතිය වටා භ්‍රමණය වීම ඊට ආසන්නම හේතුවයි. කොවිඩ් වසංගතය විසින් අපට කුමන ඉරණමක් අත කර දේදැයි නොදැන අතිශය අතීරණාත්මකව නින්දට යෑමට සිදු වීම වැළැක්විය නොහැකිය. ඕනෑම අයකුගේ සමීපතමයකුට කොවිඩ් වසංගතය යම් දැනෙන බලපෑමක් එල්ල කර තිබේ. මරණ සහ රෝගී සංඛ්‍යා ලේඛන පිරික්සූ විට ඒ බලපෑම එක අයකුට වඩා වැඩි බවත් හෙළි කර ගත හැකිය. ඉහතින් කී නරක සිහින විලෝපිකයකු ලෙස පැමිණ අපේ සාමාන්‍ය සුවදායි, මෘදු සිහින සියල්ල පන්නා දමා ඇත. දැන් විලෝපික භයංකාර සිහින ඇති කරන්නා තමන්ට ඕනෑ හැටියට සිහින නිමවයි.

හාවඩ් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක වන බැරට් විසින් වසංගත සිහින සහ සෙසු සිහින පිළිබඳ කෘති කිහිපයක්ම රචනා කර ඇත. ඇය පවසන ආකාරයට වසංගත සිහින භයංකාර සිනමාපට වැනිය. ඒ සිහිනවල ඇත්තේ වැම්පයර් දත් ඇති තණකොළපෙත්තන්, සමූහ වශයෙන් දඟලන විශාල පණුවන්, රංචු වශයෙන් පියාඹමින් හඹා එන මිනීමරු මී මැස්සන් හෝ මැස්සන් පිළිබඳ සිහින දු‍ටු අය රාශියකි. නරක සිහිනවලින් කාන්තාවන් හට එල්ල වී ඇති බලපෑම බලවත්ය. ඔවුන් මේ සිහිනවලින් දැඩිව පීඩා විඳි බවත් ඈ පවසයි. මේ තත්ත්වයේ බරපතළකම කොතෙක් ද යත් එක් සිහින දකින්නෙක් විස්තර කළ පරිදි ඈ මෘත ශරීරාගාරයක් තුළට ඇවිද යනු දැක ඇත. එහෙත් පසුව ඇය විසින්ම සොයාගෙන ඇත්තේ එය කොවිඩ් රෝගීන් පණ පිටින් එම්බාම් කරන ස්ථානයක් බවයි. මේ සිහින තුළ ඇති භයංකාර බවට අමතරව දැකිය හැක්කේ කාල්පනික බවකි. හරියටම ගෙතූ කතන්දර මෙනි. ප්‍රබන්ධ මෙනි. සිහින පිළිබඳ එතරම් අප නොතැකුවත්, ඒවාට විප්‍රකාර තේරුම් දීමට උත්සාහ කළත් ලෝකයේ වෙනත් රටවල මෙවන් දෑ පිළිබඳ ක්‍රමාණුකූල අධ්‍යයනය කෙරෙයි. සහකාර මහාචාර්යවරයා වසංගත සිහින පිළිබඳ පොත් ලියා පළ කරන්නට පවා ඇත්තේ ඒ අධ්‍යයනවල ප්‍රතිඵල හේතුවෙනි. සෙසු රටවල මිනිසුන් මානසික සෞඛ්‍ය පිළිබඳ සුළුවෙන් නොතකන බැවිනි.

මේ හේතුවෙන් බැරට් මහාචාර්යවරිය විසින් වසංගත සිහින පිළිබඳ දිගින් දිගටම කරුණු ‍රැස් කරමින් හිඳියි. මේ වන විට රටවල් 76කින් සිහින 14000ට වඩා එකතු කර ගැනීමට ඇය සමත්ව ඇත. ඉන් තුනෙන් දෙකක්ම එක්සත් ජනපදයෙනි. මේ අඛණ්ඩ විශ්ලේෂණයේදී ඈ විසින් අනාවරණය කර ගත් අනෙක් කාරණාව වන්නේ එන්නත් දීමට පටන් ගත් දා පටන් වසංගත සිහිනවල සැලකිය යුතු වෙනසක් සිදුව ඇති බවයි. සිහිනවල අන්තර්ගතය භයානක බවින් අඩු වන්නට පටන් ගෙන තිබේ. සමහර රටවල් නැවත විවෘත කරමින් ජන ජීවිතය සාමාන්‍ය අතට හැරවීමට උත්සාහ දරමින් හිඳියි. ආරක්ෂාව පිළිබඳ එන්නතින් යම් සහතිකයක් ලැබීම මීට ආසන්නම හේතුව විය හැකිය.

ඇය විසින් සිහින එකතු කිරීමට පටන් ගත්තේ කුමක් හේතුවෙන්දැයි ඇසූ ප්‍රශ්නයට බැරට් මහාචාර්යවරිය පවසන්නේ මෙවැන්නකි.

"සිහින පිළිබඳ මගේ පර්යේෂණවලින් නොයෙක් ගැටලු විසඳාගන්න පාරක් හැදෙනවා. විශේෂයෙන්ම අර්බුද, කම්පන අතරතුර සිහින ගැන මම කීප වතාවක්ම අධ්‍යයනය කළා. 9/11 සිදුවීමෙන් පස්සෙ වගේම ගල්ෆ් යුද්ධයෙන් පස්සේ මම සිහින ගැන පර්යේෂණ කීපයක් කළා. ඒ අතරේ ඉතාම අහම්බෙන් මට හම්බ වුණා දෙවැනි ලෝක යුද්ධෙ කාලෙ නාසි හිර කඳවුරක හිටපු හිරකාරයෙක් තමන් දැකපු සිහින 500ක් ගැන ලියපු සටහනක්. මේ ඔක්කොම පරික්ෂා කළාම මට තේරුණා අතීත අර්බුදවලට වසංගත කාලෙ දකින සිහිනවල යම් සමානකමක් තියෙනවා කියලා.

උදාහරණයක් විදිහට ඉතාලියට ඉතාම දරුණුවට වසංගතය බලපාපු කාලෙ සෞඛ්‍ය සේවකයෙක් නිතරම හීනෙන් දැක්කෙ ඔහු ඉදිරියේම යම් කෙනෙක් මිය යනවායි. මේ පුද්ගලයාව බේර ගැනීම සෞඛ්‍ය සේවකයා සතු වගකීමක් බවත්, එය තමන්ට කරන්න නොහැකි වීම ගැන ඇති වුණ පසුතැවීමත් එක්කයි මේ සිහින ඔහු පසුපස ඇවිත් තියෙන්නේ. ඔවුන්ගේ සිතුවිලිවලින්මයි ඔවුන් මේ නපුරු සිහින තනාගෙන තිබුණේ.

ආසියාවේ මිනිස්සු බහුතරයකගේ සිහින අතරේ මුව ආවරණයක් පලඳින්න තමන්ට අමතක වුණා හරි වෙනත් අය මුව ආවරණ පැලඳගෙන නැති නිසා ඒකෙන් බියට පත්වෙලා තමන්ට තියෙන අනතුර ගැන තැති ගැනෙන බවක් සුලබව දකින්න දකින්න තිබ්බා. නමුත් මුව ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමත් එක්ක ඒ සිහිනත් වියැකිලා ගිහින් තිබුණා."

වසංගත සිහින යන වසංගතය මෙන්ම ක්‍රමයෙන් මිනිස් ජීවිත වසාගත්, කාලානුරූපීව වියැකී යන්නට තතනන යමක් වැනිය. නරක සිහින වසංගතය මෙන්ම ඉක්මනින් වියැකී යන්නේ නම් අගේ යැයි කිව හැකි මුත් එයට දිය හැකි නිශ්චිත ඖෂධයක් නැත. එහෙත් කාලය විසින් ක්‍රමානුකූලව ඊට විසඳුම් සපයනු නියතය.

සී.එන්.එන් ඇසුරෙනි 
කාංචනා අමිලානි

නව අදහස දක්වන්න