චෝදනා රැසක් මැද සපල වූ සංවර්ධන ව්‍යාපෘති පෙළ | දිනමිණ

චෝදනා රැසක් මැද සපල වූ සංවර්ධන ව්‍යාපෘති පෙළ

ෆවුස් මොහොමඩ්

ලොව බොහෝ රටවල කුලුනු ආකෘතියේ ගොඩනැඟිලි නිර්මාණය දීර්ඝ කාලයක සිට සිදුවන්නකි. ගෝලීය ආර්ථික ප්‍රවාහයට එක්වන බොහෝ ධනවත් රටවල් මෙන්ම දියුණුවෙමින් පවතින රටවල් ද අන්තර්ජාතික මට්ටමේ ඉදිකිරීම් සමාගම්වල දායකත්වය හෝ ආයෝජනය තුළින් සිය රටට ආවේණිකව එවැනි කුලුනු ආකෘතියේ ගොඩනැඟිලි ඉදි කරනු ලැබීම රටෙහි සංවර්ධනයේ අතිශය වැදගත් පියවරකි. ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පිළිබිඹු කෙරෙන නෙළුම් කුලුන ඉදි කරනු ලැබුවේ ද එම අරමුණ හා බලාපොරොත්තුව වෙනුවෙනි.

වසර 2012 දී ඉදිකිරීම් ආරම්භ කොට 2019 වසරේ සැප්තැම්බරයේදී විවෘත කළ නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකේ. චීන සමාගමක් විසින් මෙරට ඉංජිනේරුවන්ගේ ද සහාය ඇතිව ඉදි කළ මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104ක් බව කියැවේ.

නෙළුම් කුලුන විවෘත කළ කාලයේදී මෙරට විවිධ පළාත්වල ජනතාව එය නැරැඹීමට පැමිණි අතර, දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි උනන්දුවට සහ ආකර්ෂණයට ලක් වූ ඉතා අලංකාර නිර්මාණයක් වන නෙළුම් කුලුන ශ්‍රී ලාංකේය අනන්‍යතාව අන්තර්ජාතික ප්‍රජාව අතරට රැගෙන ගිය අපූරු නිර්මාණයකි. මෙරට විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජකයන්ගේ උනන්දුව සහ ආකර්ෂණය ඇති කරලීමට නෙළුම් කුලුන ප්‍රබල සාධකයක් වුද එය ඉදි කිරීමේදී මෙරට මෙන්ම ඇතැම් විදෙස් රටවල විවිධ පාර්ශ්ව අතරින් විරෝධතා සහ බාධක පැන නැඟුණු අවස්ථාවන් ද එමටය. නෙළුම් කුලුන ව්‍යාපෘතියේ හිමිකාරිත්වය චීනය සතුවන බවට ඇතැමුන් නිකුත් කළ ප්‍රකාශ පසුකාලීනව පුස්සක් බවට පත් වූයේ එවැනි කිසිදු හිමිකාරිත්වයක් චීනයට නොමැති බවත්, එහි හිමිකාරිත්වය ඇත්තේ ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමට බවට එම චෝදනාවලට පිළිතුරු සපයමින් චීනය තහවුරු කිරීමෙනි.

ගෝලීය ආර්ථික ප්‍රවාහයට ප්‍රවේශයක් ලබාගැනීමේදී මෙවැනි සංවර්ධන ව්‍යාපෘතින් අතිශය වැදගත් වන අතර, ඉදිරියේදී එය වඩාත් ඵලදායි ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් නව්‍යකරණය කිරීමටත්, ඊට සමගාමීව ආයෝජන සැලසුම් පිළිබඳ දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමටත් වහා කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඉදිරියේදී ආපනශාලා, වෙළෙඳසැල්, විනෝද ක්‍රීඩා පහසුකම් සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ද අවස්ථාව දීමටත්, සම්ප්‍රදායික නිර්මාණ සඳහා ඉඩකඩ වෙන් කර දීමටත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනයේ සක්‍රිය දායකත්වය ලැබීම තුළින් එරට නව තාක්ෂණික දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට උදාවී තිබේ. එහෙත් චීන ව්‍යාපෘති ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර දී නැති බව කියමින් පසුගිය කාලයේ දෙස් විදෙස් ඇතැම් පාර්ශ්ව විවේචන රැසක් එල්ල කර තිබිණි. නෙළුම් කුලුන මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය ඉදි කිරීමේ සහ සංවර්ධනය කිරිමේ ව්‍යාපෘති එවැනි මතභේදාත්මක ව්‍යාපෘති බව එම පාර්ශ්ව විවේචන එල්ල කරන්නට වූයේ වසර කිහිපයක සිටය.

මෙරට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසකට චීනයේ දායකත්වය ලැබුණු බවත්, ඇතැම් ව්‍යාපෘති සඳහා චීනයේ එක්සිම් බැංකුව ණය මුදලක් දුන් බවත් සැබෑය. එහෙත් එසේ වූ පමණින් එවැනි ව්‍යාපෘති චීනය විසින් පාලනය කරනු ලබන බවට සහ එහි හිමිකාරිත්වය ඇත්තේ චීනයට බවට නිගමනය කිරීම තුළින් පැහැදිලි වන්නේ පටු අරමුණු හා දේශපාලන වාසි උදෙසා විවිධ පාර්ශ්ව ගණනාවක් දැඩි උත්සාහයක නිරතව සිටින බවකි. එමෙන්ම මෙරට සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීමේ කොන්ත්‍රාත් හිමිකර ගැනීමෙන් පසු අදාළ චීන සමාගම් ඒ සඳහා අවශ්‍ය උපකරණ, යන්ත්‍රසූත්‍ර සහ වෙනත් ද්‍රව්‍යන් මෙන්ම, ව්‍යාපෘතියට අදාළ ඉහළ මට්ටමේ නිලධාරින් ද සැලකිය යුතු ප්‍රමාණයෙන් කම්කරුවන් ද චීනයෙන් ගෙන්වීමට කටයුතු කර ඇතැයි කියමින් එමගින් ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ විරැකියාව ඉහළ යන බවටත්, මෙවැනි කටයුතු හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීමේ පීඩනය ඉහළ යන බවටත් තර්ක මතු කරන පාර්ශ්ව රැසකි.

ඇතැම් පාර්ශ්ව චෝදනා කරන නෙළුම් කුලුන සැබැවින්ම මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයකි. එය මේ වසර අවසානයේදී නව මුහුණුවරක් යටතේ සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා විවෘත කිරීමට සූදානම්ය. මීටර් 350ක් පමණ උසකින් යුතු මේ කුලුනේ පළමු මහලේ වර්ග අඩි දසදහසක ප්‍රමාණයක් තුළ තාක්ෂණික නවෝත්පාදන, 5G යෙදුම් හා ප්‍රදර්ශන සඳහා වෙන් කර තිබේ. සන්නිවේදන ක්ෂේත්‍රය තුළින් ලොව ජයගැනීමේ සිහිනය දකිමින් සිටින මෙරට දරු දැරියන්ට එය කදිම ආයෝජන ක්‍රියාවලියකි. එමෙන්ම සන්නිවේදන ක්ෂේත්‍රය තුළ දැනට නිරතව සිටින ආයතනවලට සිය හැකියාවන් හා තාක්ෂණික භාවිතයන් සඳහා ප්‍රවේශය ලබා දීමකි. ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවට අනුව නෙළුම් කුලුන ඉතා ඉහළ ගුණාත්මක මට්ටමේ සන්නිවේදන සේවාවක් මෙරට ප්‍රජාවට ලබා දෙන්නකි. එමෙන්ම එය විද්යු ත් ක්‍රීඩාව සඳහා නව නිවහනකි.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ද නැ‍ඟෙන්නේ එවැනිම චෝදනාවකි. අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් වැය කරමින් ඉදි කරනු ලැබූ හම්බන්තොට වරාය සඳහා චීනයෙන් ලැබුණු ණය යළි පියවීමට ප්‍රමාණවත් ආදායමක් ඉන් නොලැබෙන බැවින් එය චීනයට පවරා දී ඇතැයි ප්‍රබල චෝදනාවක් මතු වී තිබිණි. චීන සමාගම්වල අරමුදල් වලින් ඔවුන් විසින් ඉදිකරනු ලැබූ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ණය උගුලක සිර කිරීමක් ලෙසත් ඇතැමුන් එය විග්‍රහ කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකාවේ චීන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පසුගියදා චීනයේ සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී එම චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතු ණය, මුළු ණය ප්‍රමාණයෙන් 10% කටත් වඩා අඩු බැවින් එවැනි ණය උගුලක සිරවීමක් සිදු නොවන බව ඔහු සඳහන් කර තිබිණි.

මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘති අතර විවේචනයට ලක් වූ තවත් ව්‍යාපෘතියකි. චීනයේ දායකත්වය ලැබීම තුළින් එය වඩාත් විවේචනයට ලක් වූ එකකි. අමෙරිකානු ඩොලර් මිලියන 20ක අයෝජනය ව්‍යාපෘතියක් ලෙස සැලකෙන මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඇතැමුන් හඳුන්වනු ලැබුවේ ලොව වඩාත්ම ජනශූන්‍ය ගුවන්තොටුපළ (Worlds Emptiest Airport) වශයෙනි. එම ගුවන්තොටුපොළ ඉදි කිරීම වෙනුවට කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පුළුල් කිරීමට එකළ මෙරට උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (සෙමා ආයතනය) නිර්දේශ කර තිබූ බවක් ද කියැවේ. එහෙත් මේ වනවිට මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ වඩාත් ඵලදායි ප්‍රගතියක් පෙන්නුම් කරමින් තිබෙන අතර, කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය ද ආරම්භ කර තිබේ. මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ පස් අවුරුදු නව සැලැස්මක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර, වසර 2025 වන විට එය කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ මෙන්ම සක්‍රිය ගුවන්තොටුපොළක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බව පසුගියදා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීවේය. මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය, කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපොළ ඒකාබද්ධ කරමින් සංචාරක භාණ්ඩ හුවමාරු සහ අයෝජන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයේ බලාපොරොත්තුව බව අමාත්‍යවරයා සඳහන් කර තිබිණි.

එය සැලසුම් කර ඇත්තේ වසරකට මගීන් මිලියනයක් සහ භාණ්ඩ මෙට්‍රික් ටොන් 45,000ක් හැසිරවිය හැකි ආකාරයටය. එමගින් රටේ ආර්ථිකයට සෘජුවම දායකත්වය ලබාදීම අරමුණ වී ඇත. මත්තල ගුවන්තොටුපොළ දකුණු ආසියාවේ සාර්ථකම හා කාර්යබහුල ගුවන්තොටුපොළක් බවට පත් කිරීමට ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ලොව ඉහළ මට්ටමේ ගුවන් සමාගම් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ වී තිබේ. කොවිඩ් වසංගතය හමුවේ අඩාළ වූ ගුවන් මෙහෙයුම් රැසක් මෑත කාලයේදී මත්තල ගුවන්තොටුපොළ තුළින් සිදු කෙරුණු අතර, වසංගතයේ ව්‍යාප්තිය මත පනවනු ලැබූ ගුවන් ගමන් සීමා ඉවත් කිරීමෙන් පසු මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස අවසානය දක්වා පමණක් මගීන් 15,070ක් කැටුව ගුවන් යානා 171ක් මත්තලට පැමිණ ඇතැයි ද සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

නව අදහස දක්වන්න