කණ්ඩායම් නායකයා අද තරග බිමේ | දිනමිණ

කණ්ඩායම් නායකයා අද තරග බිමේ

ප්‍රින්ස් ගුණසේකර ජපානයේ

ටෝකියෝ නුවර සිට...

මෙවර ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන චාමර නුවන් ධර්මවර්ධන අද දිනයේ තම පළමු තරගයට පිවිසෙයි.

මෙයට පෙර රියෝ ඔලිම්පික් උලෙළේදී සහභාගි වූ පළමු තරගය ජයගෙන දෙවැනි වටයට පිවිසි ඔහු මෙවර ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා බලාපොරොත්තුවක් බවට පත්ව සිටී.

කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් තරග කරන චාමර නුවන්ට අද හමු වන්නේ ජිබවුටි රාජ්‍යයයේ අඩේන් ඇලෙක්සැන්ඩර් ක්‍රීඩකයායි. 23 හැවිරිදි ඔහු ලෝක ශූරතාවලියේදී 17 වැනි ස්ථානයට පත්ව ඇති අතර, අප්‍රිකානු කලාපයේ තෙවැනි ස්ථානයට පත් වූ ක්‍රීඩකයා වේ.

අත්දැකීම් බහුල 29 හැවිරිදි වියෙහි පසු වන චාමර නුවන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා ශිෂ්‍යත්ව අරමුදල් හිමි ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකි. ඔහු මසකට අමෙරිකානු ඩොලර් 1000ක ශිෂ්‍යත්වයක් හිමි කර ගෙන විදෙස් පුහුණුවකින් අනතුරුව ටෝකියෝ තරගාවලියට එක් විය.

මේ අතර, පළමු තරගයෙන් පරාජය වූ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න අද අයර්ලන්තයේ නාහට් නුගයන් සමඟ තරගයට පිවිසීමට සූදානමින් සිටී. මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3. 50ට ආරම්භ වීමට නියමිතව ඇත. මේ තරගය නිලූකට ඉතා වැදගත් වන්නේ ක්‍රීඩා උලෙළේ තවදුරටත් රැඳී සිටීම මෙම තරගයේ ප්‍රතිඵල මත තීරණය වන බැවිනි.

මීටර් 100 කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ රෝම නුවර සිට ඔහුගේ පුහුණුකරු සමඟ ටෝකියෝ ගම්මානයට පැමිණ සිටින අතර, අද දිනයේ අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරන මැටිල්ඩා කාල්සන් හා ඇයගේ පුහුණුකරුවන්, කළමනාකරුවන් පැමිණීමට නියමිතය‍.

ජර්මනියේ සිට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සහිත විදෙස් ගමන් බලපත්‍රයකින් තරගයට පැමිණෙන ඇය යුරෝ මිලියන 6කට (ශ්‍රී ලංකා මුදලින් කෝටි 142ක්) මිලට ගත් අශ්වයා සමඟ ටෝකියෝ වෙත පැමිණේ.

නව අදහස දක්වන්න