විදෙස් රැකියාවලට යන ශ්‍රමිකයන්ට එන්නත් දීම නාරාහේන්පිට හමුදා රෝහලේදී | දිනමිණ

විදෙස් රැකියාවලට යන ශ්‍රමිකයන්ට එන්නත් දීම නාරාහේන්පිට හමුදා රෝහලේදී

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් දීම පසුගියදා (28) නාරහේන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරිණි.

ආරම්භක දිනයේ මේ එන්නත දුන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරන ශ්‍රමිකයන්ට බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත්ව යන රටවල් රැසක්ම පිළිගනු ලබන්නේ ෆයිසර් එන්නත බැවින් එම එන්නත විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දීම සඳහා පසුගියදා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී එකඟතාව පළ කෙරිණ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ පූර්ණ සහයෝගය ඇතිව යුද හමුදා රෝහලේ දී මේ එන්නත් දීමේ කටයුතු ආරම්භ කෙරිණ. එම ශ්‍රමිකයන් 1200කට පමණ එන්නත දෙන අතර දිගටම මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. විදේශ රැකියා සඳහා රැකියා බලපත්‍ර ලැබූ සහ ඊට අදාළ අවසර ලැබූ පුද්ගලයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ ලියාපදිංචිවීමෙන් මේ එන්නත ලබා ගත හැකිය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ මේ එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ලියාපදිංචි විය හැකිය.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න