පෙරහරේ අගය සුරකින සම්ප්‍රදාය | දිනමිණ

පෙරහරේ අගය සුරකින සම්ප්‍රදාය

 

ඇසළ මස දිවයින පුරා පැවැත්වෙන පෙරහර අතරින් ප්‍රමුඛ තැන ගන්නේ මහනුවර ඇසළ පෙරහරය. ඇසළ මස, මාසේ පෝයට පසුදින එනම් පෑලවිය දින කප් සිටුවීමෙන් පෙරහර ඇරඹේ. එම නිකිණි පුර පසළොස්වක දින මහා පෙරහර පවත්වා දළදා මාලිගාවේ පෙරහර ආදාහන මළුවට යයි. සතර දේවාල පෙරහර පසුදින අලුයම ගැටඹේ තොටේදී දිය කපා එදින දවල් පෙරහර පැවැත්වීමෙන් පසු පෙරහැර පූජාව නිම කරනු ලැබේ.

මෙම පෙරහර අවුරුදු දහස් ගණනක් තිස්සේ වර්ධනය වූවකි. එම නිසා අපේ ඇසළ පෙරහර ගැන වර්ණානාවක් කරන ”ජෝන් ටේරයිඩර්” නම් යුරෝපීයයකු සඳහන් කර ඇත්තේ මෙය ”ලෝකයේ ඇති එකම වර්ණවත් දර්ශනය වේ. විනය ගරුක සෙනඟකගේ අවංක ගෞරවාදරය ලබන මේ අලංකාර මහා පෙරහර වනාහි මේ රටේ හෝ අන් කිසිම රටක හෝ දක්නට නොලැබෙන අන්දමේ විරල වූ ද, කවරදාවත් අමතක නොවන්නා වූ ද දර්ශනයක්” කියාය. එම නිසා එයටම ආවේනික ලක්ෂණ සමූහයකින් සමන්විතය. ඒ ගැන විස්තරයක් කරන එම්.ඩබ්.කේව් මහතා සඳහන් කර ඇත්තේ ”දින ගණනක් පැවැත්වෙන ඇසළ පෙරහර අවුරුදු දහස් ගණනක් තිස්සේ පෙළ ගැසුනක්” බවය.

වසර දහස් ගණනකට පෙර මෙරට පැවති සමාජ ස්ථරයක් ඒ ආකාරයෙන්ම දැකගත හැකි එකම අවස්ථාව වන්නේ මහනුවර ඇසළ පෙරහරයි. මේ නිසාම මහනුවර ඇසළ පෙරහර පැවැත්වීමේදී එහි සම්ප්‍රදායයන් රැක ගැනීම ඉතා ම වැදගත් කරුණක් බව අප විසින් නැවත නැවත අවධාරණය කරනු ලබන්නකි.

ඵෙතිහාසික කවර අංගයක් වෙතත් වර්තමානයට ඒමේදී විවිධ වෙනස්කම්වලට භාජනය වීම නොවැළැක්විය හැකි කරුණකි. එහෙත් ඇතැම් අංග සිතාමතාම විනාශවීමට ඉඩදීම සමාව දිය නොහැකි කරුණකි. මෙම පෙරහරේ ගැඹුර රැඳී ඇත්තේ එහි ඇති ඓතිහාසික අංග නිසාය. වර්තමානයේ බොහෝ සාටෝපව පවත්වන ඇතැම් පෙරහරවල් නැරඹීමෙන් ගැඹුරු ආස්වාදයක් ලැබිය නොහැක්කේ ඒවායේ ඓතිහාසික පසුබිමක් නැති නිසාය. මහනුවර පෙරහර නරඹා ගැඹුරු ආස්වාදයක් ලැබීමට, බුද්ධාලම්භන ප්‍රීතියෙන් උදම්වීමට, ජාත්‍යාලයෙන් ඔදවැටීමට නම් පෙරහරේ එක් එක් අංග ගැන වැටහීමක් තිබිය යුතුය.

මහනුවර රාජධානි සමය වනවිට පෙරහැර පවත්වා ඇත්තේ දෙවියන් සම්බන්ධ උත්සවයක් ලෙසය. දෙවෙනි රාජසිංහ රජු සමයේ ලංකාවේ සිරගතව සිටි ඉංග්‍රීසි ජාතික ”රොබට් නොක්ස්” සඳහන් කොට ඇත්තේ අද මෙන් දළදා මාලිගාවේ සහ දේවාලවල වශයෙන් වෙන් වෙන්ව නොව එකම පෙරහරක් ලෙස එදා පෙරහර සංවිධානය වූ බවය.

රටේ යහපත සඳහා දේව බැල්ම ලබාගැනීමේ අරමුණින් පැවැත්වූ පෙරහරට යුද්ධ හමුදාව සම්බන්ධ කර ඇත්තේ දෙවෙනි රාජසිංහ රජු සමයේය. මෙම පෙරහර දේව කෙළියක් හා යුද්ධ පෙළපාළියක් වීම බුද්ධාගමට මහත් මදිකමක් ලෙස සැලකූ වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් ක්‍රි.ව. 1756 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ඒ බව පෙන්වාදෙන ලදුව මෙතෙක් සෑම බදාදා දිනවලදී හා පෝය දිනවලදී දළදා මාලිගාව තුළ කෙරෙන පෙරහර ඇසළ උළෙලේදී සතර දේවාල පෙරහරට පෙරටුව ගමන් කිරීමට විධිවිධාන සැලැස්වීය.

එසේ කොට රජතුමා මහත් රාජර්දියෙන්, මහත් ආනුභාවයෙන්, දළදා කරඬුවට පිටුපසින් ගමන් ගත් බව ‘‘මහාවංශයේ” සඳහන් වේ. ‘‘සඟරාජයේ” ඒ බව සඳහන් වන්නේ මෙසේය.

‘‘බුදුන් පෙර දැරි කොට

දෙවියන් ඊට පසු කොට

පෙරහර යන ලෙස ට

පැවතුනේ අප මුනිඳු තාලෙට” යනුවෙනි.

මේ අනුව වර්තමානයේ පැවැත්වෙන පෙරහර ඒ ආකාරයට මුලින්ම සංවිධානය වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේය. පෙරහරේ කොඩි ගෙනයාමට එදා විශේෂ අවධානයක් යොමුකර ඇත. 1828 මැයි 28 දින පැවැත්වූ පෙරහර පිළිබඳව ”තලවතුරේ සියඹලායායේ පුංචිරාල” නම් අයෙක් කරන ලද විස්තරය අනුව කොඩි ගෙනගිය ආකාරය දැකගත හැකිය. එම පෙරහැර එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකරු විසින් ආණ්ඩුවේ වියදමින් සිංහලේ රජුන් ඉටුකළ ආකාරයෙන්ම සිදු කළ බව සඳහන් වේ.

ඒ අනුව පෙරහරේ මුලටම ඇතුන් කීපදෙනකු පිරිවරාගෙන හස්තිරාජයකු මත හස්තික ලකුණ දරන කොඩිය ගත් ගජනායක නිලමේත්, දෙවනුව කොඩිතුවක්කු ඇතා මහ කොඩිය ගත් කොඩිතුවක්කු ලේකම්ද ගමන් කොට ඇත. ප්‍රාදේශීය කොඩි ගෙන ගොස් ඇත්තේ ඉන් අනතුරුවය. එම කොඩි ගෙන ගියේ ඒ ඒ ප්‍රදේශවල පාලකයන් හෝ වැසියන් රජුට දක්වන ලද පක්ෂපාතිත්වය අනුව රජු විසින් නිල කරන ලද ආකාරයටය. ඒ අනුව ප්‍රාදේශීය කොඩිවලින් මුලින්ම ගෙන ගියේ මාන්න පහ ලැබූ හතර කෝරළයේ ”ඉරහඳ” මහ කොඩියයි. අනතුරුව පිළිවෙළින් සත් කෝරළයේ සිංහයා කොඩියත්, මාතලේ දිසාවේ සුදු කොඩියත්, සබරගමුවේ පට කොඩියත්, කෝරළ තුනේ භේරුණ්ඩ පක්ෂියා කොඩියත්, ඌව වලපනේ මොනර කොඩියත්, උඩ පළාතේ නෙළුම්මල් කොඩියත් ගෙන ගොස් ඇත. මෙම කොඩි දැනුදු පෙරහරේ ගෙන යන නමුත් මෙම අනුපිළිවෙළ අනුව ගෙන යන්නේ දැයි නොසිතේ. එසේම මෙම පෙරහරේ රාජ්‍ය අංශයේ ගෙන යා යුතු විශේෂ වස්තු පහක් විය.

ලංකාව ආක්‍රමණය කළ සොලී, පාඬි, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන් සිංහල සේනා සමඟ කළ යුද්ධවලදී ඔවුන් පරදා පැහැර ගත් යුද්ධ භාණ්ඩ පහකි. එනම් සොලී රටේ රාජ්‍ය ලාංඡනය වූ පිත්තල මුතු කොඩිය, පඬි රජවරුන්ගේ අභිෂේකයට ගත් කකුධ භාණ්ඩයක් වූ නයි පෙන හැඩය ඇති පිත්තල පලිහ, 1584දී විමලධර්මසූරිය රජ දන්තුරේ සටනේදී පෘතුගීසීන්ගෙන් ලබාගත් යුද බෙරය, 1638 දී දෙවන රාජසිංහ රජු ගන්නෝරුවේ සටනේදී ලබාගත් යුද බෙරය හා තම්බෝරුව, 1803 දී වාගොල්ල සටනේදී ඉංග්‍රීසින්ගෙන් ලබාගත් බ්‍රිතාන්‍ය යුද බෙර දෙකද යන වස්තු පහයි එසේ ගෙන ගියේ. මේවා වර්තමාන පෙරහරේ ගෙන යනවාද නැද්ද කියාවත් දැනගැනීමට ක්‍රමයක් නැත. එමනිසා ඒවා පෙරහරේ ගෙන යන්නේ නම් නරඹන අයට පැහැදිලි ලෙස දැනගැනීමට ක්‍රමයක් සලසන්නේ නම් පෙරහරේ ඓතිහාසික අගය තවදුරටත් වැඩි වීමට හේතුවනු ඇත.

පෙරහර හමාරවන්නේ දේවාල පෙරහැර දිය කැපීමේ චාරිත්‍රයෙන් හා මාලිගාවේ පෙරහර ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයේ පුද සිරිත් කිරීමෙන් අනතුරුව දවල් පෙරහර පැවැත්වීමෙනි.

අවසාන දින රාත්‍රියේ පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව පෙරහර පහම ආදාහන මළුව කරා ගමන් කරයි. දළදා මාලිගාවේ පෙරහර එහි නවතින අතර දේවාලවල පෙරහර ඒ ඒ දේවාලවලට ආපසු පැමිණ දිය කැපීමට ගෙන යන කොතල රන්දෝලිවල තබාගෙන ගැටඹේ තොටට යයි. ගැටඹේ තොටේදී දිය කැපීමේ චාරිත්‍රය සිදුවේ. මේ චාරිත්‍රය එදා සිදුකළ අයුරු රැල්ප් පීරිස් මහතා සඳහන් කර ඇත්තේ මෙසේය.

”විසිතුරු ලෙස සරසන ලද ඔරුවක් ගං ඉවුරේ සූදානම් කර ඇත. දේවාලවල කපුරාලවරු හතර දෙනා තම තමන්ගේ ආවතේව කාරයන් හතර දෙනෙක්ද සමඟ ඔරුවට ගොඩවී ගඟ ඉහළට මඳ දුරක් යයි. ඔවුහු දේවීන් වහන්සේලාගේ කඩු හා රන් කෙණ්ඩිද රැගෙන යයි. අරුණෝදයේදී ලහිරු රැස් පතිතවෙත්ම කපුරාලවරු කඩුවෙන් දිය දෙබෑ කරති. එකෙනෙහිම අනෙක් අය ගතවූ වර්ෂයේ පුරවා ගත් පැන් ඉවත ලා කඩුව දියෙහි ගෑවුන ස්ථානයෙන් ජලය කෙණ්ඩියට නැවත පුරවා ගනී. මෙය නිමවූ පසු ඔවුහු ගොඩට යති. ජල කෙණ්ඩි හා කඩු රන්දෝලිවල නැවත තැන්පත් කිරීමෙන් පසුව ඔවුහු නැවත පෙරහරෙන් නගරයට පැමිණෙති.” යනුවෙනි.

මෙම චාරිත්‍රය පසුගිය කාලයේ මෙලෙස නොකෙරුණි. එම දිනවල කළේ කපුරාලලා දණක් පමණ වතුරට බැස දේවාභරණ ජලයේ ස්පර්ශ කොට එම ස්ථානයෙන් කෙන්ඩිවලට ජලය පුරවා ගැනීමය. එහෙත් දැන් මෙම චාරිත්‍රය විධිමත් කොට ඇති බව දැනගන්නට ඇත. දැන් ඔරු වෙනුවට නාවික හමුදාව මගින් සපයන බෝට්ටුවලින් ගඟ මැදට ගොස් දිය කැපීම සිදු කරනුු ලැබේ. අස්ගිරිය ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයට යන දළදා මාලිගාවේ පෙරහර එහි පැමිණ ධාතු කරඬු පේස ලේන්සුවෙන් ඔතා අස්ගිරියේ මහානායක හිමියන්ට බාර කළ යුතුය. මහානායක හිමියන් හෝ උන්වහන්සේගේ නියෝජිතයෙක් කරඬුව බාරගනී. බොහෝ විට එය කරන්නේ අස්ගිරි අනුනායක හිමියෝය. කරඬුව ගෙඩි ගෙය තුළ තැන්පත් කිරීමෙන් අනතුරුව පසුදා දවල් පෙරහර අරඹන තුරු එය මුර කිරීමේ රාජකාරිය පැවරී ඇත්තේ මහ දේවාලයේ බස්නායක නිලමේටය. දිය කපාගෙන එන දේවාල පෙරහැර එම දිය කොතල සහිත රන්දෝලි කටුකැලේ ගණදෙවි කෝවිලේ තබා දවල් 1ට පමණ සම්පූර්ණ පෙරහර සැදී දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය දිගේ විත් කන්දේ වීදියේ පෙළ ගැසේ. දවල් දෙකට පමණ අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්වන දළදා මාලිගාවේ පෙරහර පසු පසින් දේවාල පෙරහර එකතු වී පෙරහර පහම මාලිගා චතුරස්‍රයේ තෙවරක් පැදකුණු කිරීමෙන් පසු දළදා මාලිගාවේ පෙරහර දළදා මාලිගයටත් සතර දේවාල පෙරහර සතර දේවාලවලටත් ගෙවදී.

මෙම කටයුතු බොහොමයක් සම්ප්‍රදායානුකූලව ඉටු කෙරේ. සමහර අවස්ථාවල ක්‍රම විලංගනය කරන අවස්ථා ද නැත්තේ නොවේ. කෙසේ වෙතත් පෙරහැරේ අගය රැඳී පවතින්නේ සම්ප්‍රදායයන් ඒ ලෙසම ඉටුකිරීමෙන් බව සඳහන් කළ යුතුය.

 

විජේරත්න අතුරුපාන

 ඡායරූපය අන්තර්ජාලයෙනි

නව අදහස දක්වන්න