වැඩ ගොඩක් හැඩ කළ නිශ්ශංක ලකුණ | දිනමිණ

වැඩ ගොඩක් හැඩ කළ නිශ්ශංක ලකුණ

සමඟි පෙරමුණ ආණ්ඩුව සමයේ වරාය සංයුක්ත මණ්ඩලයේ දෙවැනි ප්‍රධානියාව සිටියේ නිශ්ශංක විජයරත්න මහතාය. වරාය සේවකයන්ට නොමිලේ දුන් දිවා බත් පාර්සලය හොඳ නැතැයි කියමින් දිනක් සේවක පිරිසක් කළමනාකරුගේ කාර්යාලය වටලා ඝෝෂා කරන්නට වූහ.

දිවා ආහාරය සඳහා නිවෙසට ගොස් සිටි නිශ්ශංක විජයරත්න මහතාට වහාම පැමිණ මේ කලබලය සංසිදුවන ලෙස සේවක මණ්ඩල කළමනාකරු දුරකථන ඇමතුමක් දුන්නේය. විජයරත්න මහතා පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ‘එම ප්‍රශ්නය විසඳීමට වරාය සේවක වෘත්තීය සමිතිවලින් දෙදෙනා බැගින් ‍තෝරා ගෙන තම කාර්යාලයට එවන” ලෙසය. (එකලද වරාය වෘත්තීය සමිති 50 – 60 ක් පමණ තිබිණි)

විජයරත්න මහතා තම කාර්යාලයට එන විට වරාය සේවකයන් අතර ‘ගණංකාරයකු’ ලෙසත්, ඇමැති පිලිප් ගුණවර්ධන මහතාගේ ගෝලයකු ලෙසත් ප්‍රකටව සිටි ‘හාබර් පියදාස’ සේවකයන්ගේ නායකයා ලෙස කාර්යාලය තුළ පෙරමුණේ සිටියේය. සෑම සේවකයකුම අත බත් පාර්සලය බැගින් විය.

“සර්... අපේ සේවකයන්ට දෙන දවල් කෑම පාර්සලේ බල්ලෙකුටවත් කන්න බෑ”

ඔහු විජයරත්න මහතා ඉදිරිපස තිබූ මේසය මත බත් පාර්සලයක් තබා චෝදනාව උස් හඬින් ඉදිරිපත් කළේය.

ගින්නෙන් තැවූ කෙසෙල් කොළයකින් ඔතා තිබූ බත් පාර්සලය ලිහා එය අනුභව කරන්නට පටන් ගත්තේ වරාය සේවක පිරිස් එකිනෙකාගේ මුහුණු බලා සිටියදීය. ඔහු බත් පාර්සලයම කා දමා අත සෝදා ගත්තේ

“අයිසෙ.. මේ මරු කෑම එකක්නේ!” කියමිනි.

හාබර් පියදාස දත්මිටි කමින් බලා සිටියේය.

“සර්.. ඕක හොඳ එකක් වෙන්නැති” කියමින් හාබර් පියදාස තවකෙකුගේ අත තිබූ බත් පාර්සලයක් රැගෙන විජයරත්න මහතාගේ මේසය මත තැබුවේය. විජයරත්න මහතා එම පාර්සලය ද ලිහා ඉන් කටවල් හතර පහක් කෑවේය.

මෙය බලා සිටිය නොහැකි වූ කම්කරු නායකයන් එකා දෙන්නා කාමරයෙන් පිටව යන්නට පටන් ගත්තේ රවමිනි. ගොරවමිනි. කරකියා ගත නොහැකිව සිටි ‘හාබර් පියදාස’ ද විජයරත්න මහතාගේ කාර්යාල කාමරයෙන් පිට වූයේ ඇසෙන නොඇසෙන පරිද්දෙන් කුණුහරුපයක් ද කියා ගෙනය.

‘තව සවුත්තු වෙච්ච බත් පාර්සල් තියෙනවා නම් ගේනවා” යැයි විජයරත්න මහතා කියන විට සේවකයන් සියල්ල කාමරයෙන් පිටවී ගොසිනි.ඉතිරිව සිටියේ සේවක මණ්ඩල කළමනාකරු පමණකි. වරාය කම්කරුවන්ගේ ආහාර වර්ජනය එතෙකින්ම අවසන් විය.

නිශ්ශංක විජයරත්න මහතා සිවිල් නිලධාරියෙකි. අමාත්‍යාංශ ලේකම්වරයෙකි. මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධුරය දැරුවෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. දේශපාලනඥයෙකි.

1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෑගල්ල මන්ත්‍රීවරයා වූ ශ්‍රීමත් එඩ්වින් ඒ පී. විජයරත්න මහතාගේත් ලීලා විජයරත්න මහත්මියගේත් දෙවැනි පුත්‍රයා ලෙස කොස්කඳවල රන්දුනු තෙන්නකෝන් වික්‍රමසිංහ ජයසේකර නිශ්ශංක පරාක්‍රම විජයරත්න උපන්නේ 1924 ජුනි 14 වැනිදාය. කොළඹ රාජකීය සහ ඇලෙක්සැන්ඩ්‍රා විදුහල්වලින් උගත් ඔහු උසස් අධ්‍යාපනය හැදෑරුවේ ලංකා විශ්වවිද්‍යාලයෙනි.

උපාධිය දිනූ පසු කෙටි කලක් කෑගලු විදුහලේ ඉගැන්වූ විජයරත්න මහතා ලංකා කාලතුවක්කු හමුදාවේ (ස්වේච්ඡා) දෙවන ලුතිනන්වරයකු ලෙස ද කටයුතු කළේය. ඒ අතරම ඔහු සිවිල් සේවා විභාගයට පෙනී සිටියේය. එතෙක් පැවති සිවිල් සේවය වෙනුවට ආදේශ කළ ලංකා පරිපාලන සේවාවට සුදුසුකම් ලැබූ විජයරත්න මහතා උප දිසාපතිවරයකු ලෙස ගාල්ලේත්, අනතුරුව වැඩබලන දිසාපති ලෙස මන්නාරම, මුලතිව් සහ යාපනයේත් සේවය කළේය.

යාපනයේ සිටියදී එතෙක් වන වැදී තිබුණු තන්තිරිමලේ පුද බිම දියුණු කිරීමට පියවර ගත්තේය. අනාගතයේ ඇති විය හැකි ජනවාර්ගික ගැටලුව ගැන සිතා එය වැළැක්වීම සඳහා කිලිනොච්චිය, ඉරණමඩු ප්‍රදේශවල හමුදා කඳවුරු ඉදි කරන ලෙස ඔහු බණ්ඩාරනායක මැතිනියට යෝජනා කළේය. එහෙත් එම යෝජනාව ක්‍රියාත්මක වූයේ නැත.

නීටා දූල්ලෑව මෙනවිය සමඟ විවාහ වූ නිශ්ශංක විජයරත්න මහතා 1958 සිට 1962 දක්වා සේවය කළේ අනුරාධපුරය උප දිසාපතිවරයා ලෙසය. ඒ අනුරාධපුර නව නගරය ඉදි වෙමින් තිබූ කලබලකාරී අවධියයි.

අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වූ විජයරත්න මහතා අටමස්ථානාධිපති හල්මිල්ලෑවේ රේවත නාහිමියන් සමඟ එක්ව පූජා නගරය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කළේය. පූජා නගරය තුළ ඉදි කර තිබූ අන්‍යාගමික ගොඩනැගිලි සාකච්ඡා මාර්ගයෙන් ඉන් ඉවතට ගෙන ගොස් ඉදි කිරීමට පියවර ගත්තේය.

නටබුන් සහිත පූජා භූමියේ පදිංචිකරුවන් නව නගරයේ පදිංචි කරවා පූජා භූමිය තුළ නිදහසේ වන්දනා කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළේය. එනිසා අදටත් අනුරාධපුරය අටමස්ථානය වන්දනා කරනන්ට යන බැතිමතුන්ට අවහිරයකින් තොරව වතාවත් කිරීමට අවකාශ ලැබී ඇත්තේ ඒ හේතුවෙනි. ඒ සඳහා අන්‍යාගමික පූජක පක්ෂයෙන් ද නිශ්ශංක විජයරත්න මහතාට මනා සහායක් ලැබිණි.

එපමණක් නොව 25000ක් පමණ දෙනාට සැලසුම කර තිබූ නව නගර සැලැස්ම ලක්ෂයක් ජනතාව වෙනුවෙන් පුළුල් කිරීමට ද ඔහු කටයුතු කළේය. අනුරාධපුරයට ඇතුළුවීම සඳහා පාලම් දෙකක් ඉදි කළේය. ඇතැම් විරෝධතා නොතකා අනුරාධපුර ගුවන් තොටුපළ ඉදි කිරීමේ වගකීම ද ඉටු කළේය.

බොහෝ කලක් අනුරාධපුර ජනතාවට සේවය කළ එච්.ආර්. ප්‍රීමන් මන්ත්‍රීවරයා වෙනුවෙන් සිහිවටනයක් ද විවෘත කළේය. අනතුරුව සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට ඔහු කොළඹට ආවේය.

සිංහලය රාජ්‍ය භාෂාව කෙරෙන කමිටුවේ ලේකම්වරයා වූයේ විජයරත්න මහතාය. කලා භවන පිටුපස ජෝන් ද සිල්වා රඟහල ඉදිකිරීමට පියවර ගත් හෙතෙම එම රඟහලට ජෝන් ද සිල්වා යන නාමය ද දුන්නේය.

මෙරට රාජ්‍ය ලාංඡනය සකස් කරන ලද්දේ ද නිශ්ශංක විජයරත්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීමෙනි. රාජ්‍ය ලාංඡනය සහ ජාතික කොඩිය සැලසුම් කමිටුවේ සභාපතිවරාය වූ ඔහු අද ජාතික කොඩියේ සිවු කොන දැක්වෙන බෝපත් සතර (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා) යොදන ලෙස යෝජනා කළේ ද ඔහුගේ අදහසකට අනුවය. 1973 දී පරිපාලන සේවයෙන් ඉවත් වූයේය.

1975 දී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා ඡන්දයක් පැවැත්විණි. ගම්වාසීන්ගේ ඉල්ලීමකට අනුව ඊට ඉදිරිපත් වූ නිශ්ශංක පරාක්‍රම විජයරත්න මහතා ඉන් ජය ගත්තේය. එතෙක් පැවති උඩරට රදල ධුරාවලියට සාර්ථකව අභියෝග කුළ දියවඩන නිලමේ ඉතිහාසයේ පළමු පහතරට ගොවිගම පුද්ගලයා වූයේ ඔහුය.

හෙතෙම දළදා පෙරහර ප්‍රතිසංවිධානය කළේය. දළදා මාළිගාවට නව පරිපාලන ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඇසළ පෙරහර අරමුදලක් පිහිටු වූයේය. රන් කෞතුකාගාරයක් ගොඩ නැඟුවේය. පූජනීය ස්ථානයකට පැමිණෙන විට සංවර ඇඳුමකින් සැරසී යා යුතුය යන මතයේ සිටි විජයරත්න මහතා ඇතැම් බැතිමතියන් කොට ගවුමින් සැරසී දළදා වැඳීමට යාම වැළැක්වීම සඳහා මාලිගාවට ඇතුළුවන ස්ථානයේදී එවැන්නන්ට රෙදිකඩක් ලබා දීමට කටයුතු යෙදුවේය.

මෙලෙස දළදා මාලිගාවට නව ආලෝකයක් ලබා දීමට ක්‍රියා කළ දියවඩන නිලමේ නිශ්ශංක විජයරත්න මහතා ප්‍රසිද්ධියේ දේශපාලනය කළේ නැත. එහෙත් 1976 දී පමණ මහමළුවේ පැවති විපක්ෂයේ රැස්වීමක් නිසා ඔහු ‘යූඇන්පීකාරයකු’ ලෙස හංවඩු ගැසුණේය.

ඒ විපක්ෂයේ රැස්වීමක් පැවැත්වීමට මාලිගාව ඉදිරිපස මහමළුව ලබා දුන්නේ යැයි පවසමිනි. එහෙත් ඊට දියවඩන නිලමේවරයාගේ සම්බන්ධයක් තිබුණේ නැත. මහමළුව පමණක් නොව මාලිගාවේ පත්තිරිප්පුවත් එදා අයිතිව තිබුණේ රජයටය.

මේ හේතුව නිසා නිශ්ශංක විජයරත්න මහතා ඉබේම ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වෙත ඇදී ගියේය. විපක්ෂ නායක ජේ. ආර්.ජයවර්ධන මහතා දැදිගම එජාප සංවිධායක ධුරය විජයරත්න මහතාට ලබා දුන්නේය.

1977 මහ ඡන්දයේදී ඔහුට දැදිගම අසුනින් එජාප අපේක්ෂකත්වය ලබා දුන්නේය. එම ජූලි 21 දා පැවති මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපයේ ධර්මසිරි සේනානායක මහතා පරදවා වැඩි ඡන්ද 6732කින් විජයරත්න මහතා ජය ගත්තේය. ජූලි 23 වැනිදා දිවුරුම් දුන් ජේ.ආර්.ජයවර්ධන අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති ධුරය හිමි වූයේ නිශ්ශංක විජයරත්න මහතාටය.

අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ඔහු 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. රුහුණ විශ්වවිද්‍යාලය හා විවෘත විශ්වවිද්‍යාලය පිහිටුවීමට යෝජනා කළේය. 1980 දී ජනවර්ගය අනුව තම ආගම් සම්ප්‍රදාය හා අනන්‍යතාව නිරූපණය වන පරිදි පාසල් සිසු සිසුවියන්ට නිල ඇඳුමක් ඇඳීමේ අයිතිය ලබා දුන්නේ ද ඔහුය.

1980 ඳී කළ කැබිනට් සංශෝධනයෙන් පසු විජයරත්න මහතාට අධිකරණ ඇමැති ධුරය හිමි විය. චීන රජයේ ආධාර ඇතිව කොළඹ නව අධිකරණ සංකීර්ණය ගොඩනැඟුණේ විජයරත්න මහතා ඇමැති ධුරය දරන සමයේදීය. පසු කලෙක වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් අතින් වූ වරදක් සම්බන්ධ වගකීම බාරගත් හෙතෙම ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වූයේය.

1987 දී යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරමින් මෙරට සංස්කෘතික ත්‍රිකෝණයට, ජාතික උරුමයන් සුරැකීම සඳහා අවශ්‍ය ආධාර ලබා දීමට ක්‍රියා කළේය. 1988 දී අංක 72 දරන සමථ මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය දුන්නේ ද විජයරත්න මහතාය.

අනතුරුව සෝවියට් සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්ව ගිය හෙතෙම එහි වසර තුනක කාලයක් සේවය කළේය. නිශ්ශංක - නීටා දෙපළට දරුවෝ 5කි. නෙරංජන්, මනෝ, අනුරාධ, ලංකේෂ් සහ නිශාංගනී ඒ දරුවෝය.

නෙරංජන් විජයරත්න මහතා 1985 සිට 2005 දක්වා දළදා මාළිගාවේ දියඩන නිලමේ ධුරය දැරූ අතර මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායක ලෙස ද කටයුතු කළේය. මනෝ විජයරත්න සහ අනුරාධ විජයරත්න මහත්වරුන්ද දේශපාලනයට සම්බන්ධ වූහ. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා, නිශ්ශංක විජයරත්න මහතා ‘දේශමාන්‍ය’ ගෞරව නාමයෙන් පිදුවේය.

 

 බන්ධුල ගුණරත්න

 

නව අදහස දක්වන්න