රිෂාඩ් බදියුදීන් ඉෂාලිනී දැරියගේ මරණයේ සැකකරුවෙක් වෙයි | දිනමිණ

රිෂාඩ් බදියුදීන් ඉෂාලිනී දැරියගේ මරණයේ සැකකරුවෙක් වෙයි

ඉෂාලිනි ජූඩ් දැරිය පිලිස්සුම් තුවාල සහිතව මියයෑමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේ 5 වැනි සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම් කර තිබේ.

එම සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිය ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (23) නියෝග කළාය.

එම නඩුව ඊයේ (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර මෙම නඩුවේ සැකකරුවන් වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිය ඇතුළු සිව් දෙනාගේ ක්‍රියා කලාපය හා ඔවුන්ගේ තර්ජනාත්මක හැසිරීම් සැලකිල්ලට ගනිමින් සැකකරුවන් සාක්ෂිවලට අහිතකර ලෙස මැදිහත් වී ඇති බවට අනාවරණය වීම සලකා ඔවුන් ලබන 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය .

දැරිය පිලිස්සීමෙන් අනතුරුව මෙම සැකකරුවන් විසින් සුවසැරිය ඇමතීමෙන් පසුව එම සුවසැරිය රථයෙන් පැමිණි හෙද නිලධාරිනිය වන ඇන්ජලි උපේක්ෂා බස්නායක යන අය විසින් දෙන ලද ප්‍රකාශ අනුව ඇය එහි යන විටත් දැරිය පිලිස්සීමෙන් පසුව තෙත බරිතව නොතිබූ බවත් කුස්සියට ආසන්න ස්ථානයක දැරිය බිම එරමිණිය ගොතාගෙන ඇති ආකාරයට ඉන්දවා රෙද්දක් ඇඟට පොරවා සිටි බවත් අනාවරණය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා, කොළඹ අපරාධ කොට්ඨාසය, බොරැල්ල පොලීසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න