ඉෂාලිනි දැරිය මුලින් පරීක්ෂා කළ වෛද්‍යවරයා භූමිතෙල් ගඳ වහනය වන බවට සටහන් කර තිබුණා | දිනමිණ

ඉෂාලිනි දැරිය මුලින් පරීක්ෂා කළ වෛද්‍යවරයා භූමිතෙල් ගඳ වහනය වන බවට සටහන් කර තිබුණා

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්ට කියයි

ඉෂාලිනි දැරිය රෝහලට රැගෙන ගිය පසු මුලින් පරික්ෂා කළ බැසිල් ටෙරන්ස් නම් වෛද්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර සටහනේ ගෑස් පිපිරීම සම්බන්ධයෙන් ( ? ) ප්‍රශ්නාර්ථයක් දමා භූමිතෙල් ගඳ වහනය වන බවට සටහන් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරි මහත්මිය හමුවේ පැවසුවේය.

දිලීප පීරිස් මහතා මෙසේ ප්‍රකාශ කළේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිළීමෙන් මිය ගිය ජූඩ් කුමාර් ඉෂාලිනි නම් දැරියගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (06) යළි කැඳවූ අවස්ථාවේදීය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා :- ස්වාමීනි අද දින බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරනවා.

දැරිය පිලිස්සීමට ලක් වූ දින පැමිණි 1990 දරන සුව සැරිය රථය සම්බන්ධයෙන් සුව සැරිය පදනම හරහා අදාළ ලේඛන ලබා ගෙන තියෙනවා. ඒ අනුව දැරිය සම්බන්ධයෙන් සුව සැරියට දැනුම් දුන් පුද්ගලයා හඳුනා ගනු ලැබූවා. සැකකාර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කළ (50316) පොලිස් සැරයන් රුවන් පතිරණ නම් නිලධාරියා තමයි එදින සුව සැරියට දැනුම් දී තියෙන්නේ. ඔහුගේ නම විමසන විට ඔහු පවසා ඇත්තේ කැමැති නමක් දාගන්න යනුවෙන්. දැරියගේ නම ලෙස ඉශානි, වයස 18, ගෑස් පිපිරීමක් වෙලා තුවලා වූ බවට දැනුම් දීලා තියෙනවා. නමුත් රෝහලට රැගෙන ගිය පසු දැරිය මුලින් පරික්ෂා කළ බැසිල් ටෙරන්ස් නම් වෛද්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර සටහනේ ගෑස් පිපිරීම සම්බන්ධයෙන් ( ? ) ප්‍රශ්නාර්ථයක් දමා භූමිතෙල් ගඳ වහනය වන බවට සටහන් කර තියෙනවා. එම වෛද්‍යවරයාගෙන් පසුගිය අගෝස්තු මස 05 වන දින ප්‍රකාශයක් සටහන් කර තියෙනවා. දැරිය රෝහල් ගත කරන අවස්ථාවේ දී නඩුවේ දෙවන සැකකරු විසින් ගෑස්වලින් පිපිරීමක් ඇති වූ බවට සඳහන් කර ඇති බවත් නමුත් පරික්ෂා කිරීමේ දී භූමිතෙල් ගඳ වහනය වූ බවත් එම වෛද්‍යවරයා ප්‍රකාශ ලබා දී තියෙනවා.

දෙවන සැකකරු මුල් අවස්ථාවේ සිටම දැරිය ගෑස් පිපිරීමෙන් අනතුරක් සිදු වූ බවට අසත්‍ය තොරතුරු ලබා දී තියනවා. ඒ සඳහා එම සැකකරු පොලිස් නිලධාරීන් ද සම්බන්ධ කරගෙන ඇති බව අනාවරණය වනවා. දෙවන සැකකරු විසින් මෙම සිද්ධිය යට ගැසීම සඳහා පොලිස් නිලධාරීන් යොදා ගෙන ඇති බවට අනාවරණය වනවා. එසේම ස්වාමිනි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී විමර්ශන නිලධාරීන් විසින් පස් වන සැකකාර රිෂාඩ් බදියුදීන්ගේ රියදුරු වන මොහොමඩ් රිස්වි නම් පුද්ගලයාගේ ප්‍රකාශ සටහන් කර තිබෙනවා. එම පුද්ගලයාගේ ප්‍රකාශය අනුව දැරිය රෝහලට ඇතුළු කිරීමෙන් පසුව ජුලි මස 03 වන දින දැරියගේ මව්පියන් සැකකරුවන්ගේ නිවසට ගිය අවස්ථාවේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සමඟම එම නිවසේ ප්‍රසිද්ධ නීතිඥවරයකු ද සිටි බවට අනාවරණය වනවා. මේ වන තෙක් එම කරුණ අනාවරණය වුනේ නැ ස්වාමිනි. එම නීතිඥවරයාගේ නම මා මෙතන සඳහන් කරන්නේ නෑ. අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥවරයකු තමයි මෙලෙස සිට ඇත්තේ. ඔහු පස් වන සැකකරු වන බදියුදීන් වෙනුවෙන් අධිකරණය නියෝජනය කරන නීතිඥ මණ්ඩලයේ කෙනෙක්.

නඩුවේ හතර වන සැකකරු වන බදියුදීන්ගේ මස්සිනා ඔහුගේ ජංගම දුරකථනය විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටි විට විනාශ කර තිබුණා. නමුත් එහි දත්ත නැවත ලබා ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කරනවා ස්වාමිනි. දැනට ලබා ගත් සැකකරුගේ දුරකථන කුලුනු වාර්තා අනුව ඔහු පසුගිය ජුනි 01 වන දින සිට 05 වන දින දක්වා හා ජූලි 13 වන දින සිට 19 වන දින දක්වා අතර කාලය තුළ කොළඹ ප්‍රදේශයේ සිටි බවට වාර්තා වනවා.

මෙම නඩුවේ පස් වන සැකකරු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් මේ වන විට වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින අයෙක්. ඔහු පසුගිය දිනක බන්ධනාගාර වෛද්‍යවරයකුට තර්ජනය කර ඇති බවට වාර්තා වනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ දී පවා කරුණු වාර්තා කරලා සතියක් යන්න කලින් මෙම සැකකරු බන්ධනාගාරය තුළ දුරකතනයක් භාවිත කළ බවට අනාවරණය වුනා. අධිකරණ නියෝගයක් මත රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවකු මෙලෙස කටයුතු කිරීම අධිකරණයට කරන අපහාසයක් වනවා.

මොහුගේ මෙම හැසිරීමෙන් පේනවා මොහු කොහොම චණ්ඩි ආකාරයෙන්ද මේ විමර්ශන යද්දී කටයුතු කරන්නේ කියලා. වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහින් යන කෙනෙක්ට සාමාන්‍යයෙන් දුරකතන ඇමතුමක් ගන්න බෑ දුරකථන සංඥාවලට බාධා එනවා . හැබැයි හිර කූඩුවෙ ඉන්න සැකකරුවෙක් මෙලෙස හතර වටේ කෝල් ගන්නවා කිසිම බාධාවක් නැතුව. කොහොමද සැකකරුවෙක් මෙහෙම බන්ධනාගාරය තුළ දුරකතනයක් භාවිත කළේ. මේ වෙද්දි රාජ්‍ය බුද්ධි අංශය මේ දුරකතනය ගැන පරීක්ෂණ සිදු කරනවා.

පැමිණිල්ල මෙහෙයවන විමර්ශන නිලධාරීන්ට පවා මෙම සැකකරුගෙන් තර්ජන ඇති බවට නිල නොලත් ආරංචි ලැබී තියනවා. මෙම සැකකරු බන්ධනාගාරයේ සිටම මෙම නඩුව සම්බන්ධයෙන් යම් යම් කරුණු මෙම දුරකථනය භාවිත කරමින් මෙහෙයවා ඇති බව පෙනී යනවා. මෙම සැකකරු ළඟ තිබී දුරතනය භාරයට ගෙන ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයා විසින් ස්වාමිනි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා ගන්න ලද පියවර සම්බන්ධ වාර්තාවක් පැමිණිල්ලට ඉල්ලා සිටීමට අධිකරණ නියෝගයක් බලාපොරොත්තු වනවා ස්වාමිනි. සැකකරුට දුරකථනය ලැබුණේ කෙසේ ද , එම දුරකථනය චාර්ජ් කර ගත්තේ කෙසේද , කාටද එයින් කතා කර ඇත්තේ කියා සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය වනවා.

දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමට ප්‍රථම පරික්ෂ කර බැලූ වෛද්‍ය රන්දික හේෂාන් ප්‍රනාන්දු යන අය පිළිබඳ ජාතික රෝහලෙන් වාර්තාවක් ලැබී තියනවා ස්වාමිනි. එම වාර්තාවේ ඔහුව සම්බන්ධ කර ගත හැකි කිසිදු විද්‍යුත් ලිපිනයක් ලබා දී නැ. පසුව අපි එම වෛද්‍යවරයාගේ පියා සම්බන්ධ කරගෙන ප්‍රකාශ ලබා ගත්තා. එහි දී එම වෛද්‍යවරයාගේ විද්‍යුත් ලිපිනය ලබා ගැනීමට හැකි වුනා. මේ වන විට අපි ප්‍රශ්නාවලියක් සකස් කරමින් සිටිනවා ස්වාමිනි එම වෛද්‍යවරයා විද්‍යුත් ලිපිනය හරහා සම්බන්ධ කර ගනිමින් ප්‍රකාශ ලබා ගැනීමට.

මෙම නිවසේ ඩී වී ආර් යන්ත්‍රය විශ්ලේෂණ සඳහා රජයේ රසපරික්ෂකවරයා වෙත යොමු කර තියනවා. තවම එහි වාර්තා ලැබී නෑ ස්වාමිනි. මෙම නිවසට පැමිණ ඇති නිලධාරීන්ගේ උපදෙස් මත මෙහි දත්ත විකෘති කිරීමක් කර ඇද්ද යන්න විමර්ශනය කළ යුතු වනවා. දැරිය මියගොස් මාසයකට පසුව දැරිය සිටි කාමරයේ බිත්තියේ තිබී සොයා ගත් මාගේ මරණයට හේතුව යන අකුරු විශ්ලේෂණයට යොමු කර තියනවා. එහි වාර්තා ද තවම ලැබී නැහැ.

දැනට කළ විමර්ශනවලට අනුව පළමු සැකකරු මෙම අනිත් සැකකරුවන් සමඟ එක්ව මෙම සිද්ධිය යට ගැසීමට කටයුතු කර තියනවා. දෙවන සැකකරු තමයි සියලු දේ සඳහා මුල්‍ය දායකත්වය ලබා දී තියෙන්නේ. තුන් වන සැකකාරිය සිද්ධිය සිදුවන ස්ථානයේ සිට තියනවා. සිද්ධියෙන් පසුවද සිද්ධිය යට ගැසීමට කටයුතු කර තියනවා. හතරවන සැකකරුගේ දුරකථනය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනය කරනවා. ඔහු මෙම නිවසේ මීට පෙර සේවය කළ දැරියන් දෙදෙනකු දුෂණය කළ බවට අනාවරණය වී තියනවා ස්වාමිනි. මෙම දරියගේ ද මරණ පරීක්ෂණ වාර්තා අනුව දැරිය බොහෝ ලිංගික හිංසනයට ලක්ව ඇති බවට අනාවරණය වනවා. එයට මෙම හතර වන සැකකරුගේ සම්බන්ධයක් තිබේ ද යන්න විමර්ශනය කරනවා. පස්වන සැකකරුගෙන් පසුගිය 03 වන දින විමර්ශන නිලධාරීන් බන්ධනාගාරයට ගොස් දීර්ඝ ප්‍රකාශයක් ලබා ගෙන තියනවා. ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට ප්‍රකාශ කර තියනවා ස්වාමිනි. දැරිය පිළිබඳ නොදන්නා බවත් සිව්වන සැකකරු එම අවස්ථාවේ නොසිටි බවත් ඔහුගේ ස්ථාවරය වී තියනවා. නමුත් ස්වාමිනි සිව්වන සැකකරුගේ දුරකථන කුලුනු වාර්තා අනුව ඔහු එම කාල පරාසය තුළ කොළඹ අවට සිටි බවට අනාවරණය වනවා. සිදු කරන ලද විමර්ශන අනුව එම සැකකරු කොළඹ පැමිණි විට මෙම නිවසේ රැඳී සිටින බව පැවසෙනවා ස්වාමිනි. මොහුගේ ප්‍රකාශවලද යම් යම් පරස්පරතා පවතින බවට නිරීක්ෂණය වනවා ස්වාමිනි.

ඒ අනුව මෙම සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පැමිණිල්ල දැඩිව විරුද්ධ වන බව මා පවසා සිටිනවා ස්වාමිනි. සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ස්වාමිනි තවත් වැදගත් කරුණක් පැවසීමට තියනවා. පසුගිය 23 වන දින නඩුව කැඳවූ අවස්ථාවේ දී යම් කිසි පුද්ගලයෙක් අධිකරණයේ රැඳී සිටියා. ඔහුගෙන් කවුද කියා විමසු අවස්ථාවේ දී ඔහු මාධ්‍ය හැඳුනුම්පතක් පෙන්නා සිටියා. නමුත් ඔහු අධිකරණයේ සිටිමින් දේශන දුරකතනයෙන් පටිගත කරමින් ඒවා යොමු කරමින් විවිධ තැන්වලට නැවත එහි ප්‍රතිචාර ලබා ගනිමින් කටයුතු කරන බව පෙනී යනවා. ඔහු අදත් අධිකරණයේ රැඳී සිටිනවා.

එම අවස්ථාවේ දී අධිකරණයේ සිටි එම පුද්ගලයාගෙන් අධිකරණය විමසා සිටියේ ඔහු කවුරුන්ද යන්න පිළිබඳවය. එහිදී මාධ්‍ය හැදුනුම්පතක් ඉදිරිපත් කර සිටිය ද එම පුද්ගලයා බදියුදීන්ගේ ලේකම්වරයා බවට අනාවරණය විය. තවත් පුද්ගලයකු එලෙස අනවසරයෙන් රැඳී සිටිය ද ඔහු එම අවස්ථාවේදී අධිකරණයෙන් ඉවත් වීමට කටයුතු කර තිබිණි. ඔහුගෙන් අධිකරණය තොරතුරු විමසු අවස්ථාවේ දී ඔහු යම් මාධ්‍ය ආයතනයකට සේවය කරන පුද්ගලයකු බවත් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ලේකම් වන බවත් ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේදී එම පුද්ගලයා පොලිසිය වෙත යොමු කර ප්‍රකාශ ලබා ගන්න ලෙස මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පළමු හා සිව් වන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් සැකකරුවන්ට ඇප නියම කළ අතර පළමු සැකකරු ඇප මත මුදා හැරීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරු දින ඩයගම පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසත් සිව්වන සැකකරු ඇප මත මුදා හැරීමෙන් අනතුරුව සංචරණ සීමා ඉවත් කරන තෙක් සෑම මසකම අවසන් ඉරු දින මැදවච්චිය පොලිස් ස්ථානය වෙත වාර්තා කරන ලෙසත් සංචරණ සීමා අවසන් වීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත වාර්තා කරන ලෙසත් නියම කළාය . එසේම සිව්වන සැකකරුගේ විදේශ ගමන් තහනම්කරමින් නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙස ද අධිකරණ රෙජිස්ටාර් වෙත නියම කළාය.

නඩුවේ දෙවන , තුන් වන හා පස් වන සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කරුණු අනුව මොවුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සැකකරුවන් ඇප මත මුදා හරිය හොත් විමර්ශනවලට බාධාවක් විය හැකි බවත් සාක්ෂිවලට බලපෑම් ඇති වීම, සාක්ෂි අතුරුදහන් විය හැකි බවත් පෙනී යන බැවින් සැකකරුවන් තවදුරටත් ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න