පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයට මුදල් දුන් යුවළකට නවසීලන්තයේ සරණාගතභාවය | දිනමිණ

පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයට මුදල් දුන් යුවළකට නවසීලන්තයේ සරණාගතභාවය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කළ කණ්ඩායමට මුදල් ගනුදෙනු සඳහා උපකාර කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකුට සහ ඔහුගේ බිරියට නවසීලන්තයේ සරණාගතභාවය පිරිනමා තිබේ.

අදාළ පුද්ගලයා ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක හෝ මතවාදවලට සහාය නොදැක් වූ බවට ඔහු ඉදිරිපත් කළ කරුණු පිළිබඳ නවසීලන්ත බලධාරීන් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස සරණාගතභාවය දී තිබෙන බව වාර්තා වෙයි.

විදේශීය තැරැව්කරුවකුගේ සහ විදෙස්ගත වී සිටින ඥාතියකුගේ මැදිහත්වීම මත මේ පුද්ගලයා මුදල් හුවමාරු ක්‍රමවේදයක් යටතේ ගනු දෙනු කිහිපයක් කර තිබෙන අතර අදාළ මුදල්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් වෙත දී ඇති බවට ලද සැකයක් මත ඔහුගේ බිරිය ශ්‍රී ලංකා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව බිරිය ඇප මත නිදහස් කර ඇති අතර, සැඟවී සිටි මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි විය. මෙරට පොලීසියෙන් දඬුවම් විඳීමට සිදුවේ යැයි යන බියෙන් මෙම යුවල ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කොට නවසීලන්තයට පලා ගොස් ඇති අතර, ඉකුත් ජූනි මාසයේ දී ඔවුන් එරට සරණාගතභාවය ගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කර ඇත. තමා අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙම මුදල් ගනු දෙනු කළ ද ශ්‍රී ලාංකික බලධාරීන් තමා දේශද්‍රෝහි ක්‍රියාවක නිරතවූවකු සේ සලකා කටයුතු කරන බවට අදාළ පුද්ගලයා නවසීලන්ත බලධාරීන්ට පවසා තිබේ. නවසීලන්ත බලධාරීන් පවසා ඇත්තේ, ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක හෝ මතවාදලවට මේ යුවල සහාය නොදැක්වීම පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි විශ්වසනීය, ස්ථායී සහ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි ඒවා බැවින් සරණාගතභාවය පිරිනමන බවයි. ඔවුන් කළ මුදල් ගනු දෙනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ පිරිස් වෙත දෙන බවට මේ යුවළ නොදැන සිටි බවද නවසීලන්ත බලධාරීන් විශ්වාසය පළ කර ඇත.

මහින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න