රටා මවන ගොක්කොළ මිනිසකුගේ හැඩතල | දිනමිණ

රටා මවන ගොක්කොළ මිනිසකුගේ හැඩතල

උදැහැනැක්කේම ඇසෙන්නේ කසුකුසුවකි. කඩිමුඩියේ සැම දෙන පාහේ තම තමන්ගේ වැඩ රාජකාරිවල යෙදෙන සැටියකි. හාත්පස පරිසරයේ ගස්කොළන්වල අතු කිනිති පිනිබර මල් පොකුරු වඩා ගත් සෙයකි. අරුණැල්ල තුරන් වන ඉඩකඩ අයිති කර ගත් රන්වන් ඉර කෙඳිති තවමත් මිහිලිය ගැන සෙවිල්ලෙන් මෙනි.

කෙනකු ඇඳ පැලඳ ගෙනය. තවත් කෙනකු හැඩ වැඩ වන ගමන් ජනෙල් කවුළුවෙන් එබි එබී බලන්නේ නැකැතට මංගල සභාවේ සූදානම දිහෑය. ඒ අස්සේ ඈතින් ඇසෙන්නේ එක පිට එක වැලේ මහ හඬින් රතිඤ්ඤා පුපුරන හඬය.

“ආං... මනාල මහත්මයා සුබ හෝරාවෙන් එළිබැස්සා...”

ඒ වියපත් ගැමියකුගේ සිහි කැඳවීමකි...

“හ්ම්...” හඬක් හැරෙන්න තම තමන් යෙදෙන වැඩෙන් ඇස් ඉවත් කොට, කර උස්සා අවට නොබලන්න කවුරුත් පරිස්සම් වෙති.

හැමෝටම කප්පරකට වැඩය. කෙනකුගේ කල්පනාව ඒ ඇත්තාට බාර වෙච්ච කෑම මේසයේමයි. කල්දේරම් ළිප තබන්න තව අඩුම කුඩුම මොන මොනවාද කියා සෙවිල්ලේමයි... මුළුතැන්ගෙයි එකම කලබලයක්.

ඒ උදවිය මඟුල් තුලාවලට ගොහින් උයන පිහිනවා. අම්මා අප්පාත් එක්කලා දීගතලා නොගිය දෝණියැන්දෑත් එනවා...

ඒ ගංකරේ එක පවුලක තතු. පිටින් පැමිණි කෙනකුට මනමාලිගේ නෑයෙක් එහෙමයි විස්තර කරන්නේ.

රෑ තිස්සේ අහල පහළ ගස් කොළන් පීර පීරා ඇවිද ඇවිද උන්නු ඉලන්දාරි නිදිබර දෑසින් ගස් උඩ බල බලා කලින් දා නැවැත්වූ තැනින් වැඩ පටන් ගන්නයි හදන්නේ. ඒ ජාතික ධජය එල්ලන්නයි.

ඔය වෙලාවේ කාගේත් නාස්පුඩුවලට වාතලයේ පාවෙන කිරිබත් පුසුඹ, සැරට කෙටෙන ලුණුමිරිසේ සැරත් එක්ක දැනෙන්න ගන්නවා.

ඒ එකම මඟුල් ගෙදරක එක එක තැන වගතුග. ඒ කොයියම් ඉසවුවේ වැඩ කටයුතු හමාර කරලා කවුරු කවුරුත් පාහේ එකට මඟුල් ගෙදර ආලින්දය දිහෑටයි කර පොවන්නේ අලුත් යුවළ දැක බලා ගන්න. මංගල පෝරු මස්තකයේදීයි කාටත් ජෝඩුවේ අපූරුව දකින්නට ලැබෙන්නේ.

මේ එකිනෙකා එතැනට එක්‍ රොක් වන අවස්ථාව...

කොයි මේ මනමාලිගේ අප්පච්චි, කවුරුත් කර උස්සා අවට බලද්දී කෝට් බෑයකින් හැඩ වුණු උන්දෑ මංගල සභාවට පය තියන්නේ.

විච්චූරණ නැතිව සොබාවික දෙයින්ම කදිමට මඟුල් පෝරුව අඹන එක ඒ ඇත්තාගේ ලොකුම ආසාවක්. කොයි දේටත් කලින්ම එයැයි දෑස් ගෙනිච්චේ ඒ දිහෑට....

“පංකාදු පහයි චිත්‍රා... ඊයේ මැදියංකරේ අත් උදව්වට එන්ට හිතා උන්නත් ඊට කලියෙන් හිටි තැනම මගේ ඇස් පියවුණා නෙව...”

ඉහේ මලක් පිපුණාක් තරම් සන්තෝසයකින් උන්දෑ එහෙම කියන්නේ...

ළඟම නෑයන්ට තවදුරටත් ගොක්කොළ සැරසිලි කදිමට වැටුණු පෞරාණික මඟුල් පෝරුවේ අගයත් ඒ කාරිය අකුරට කර දුන්නු මල්වතුහිරිපිටියේ චිත්‍රා එහෙමත් නැත්නම් එච්.ඒ. චිත්‍රසෝම ගොක් කලා ශිල්පියාවත් හඳුන්වා දෙමින්මයි ඔහු මේ අයුරින් සිතැඟි හෙළි කළේ...

කොළයක් කලාවක් වන තැන

දැන් දැන් පුරාණ ක්‍රමයට මංගල පෝරු තනන සාස්තරේ කරන්න දන්නා කලා ශිල්පියෝ අඩුයි නේ. එහෙව් කෙනකුගේ වගතුග සෙවිල්ලෙන් ඉන්දැද්දී ඒ අල්ලපනල්ලේ තමයි මට ගම්පහ බුත්පිටියේ පදිංචි මෙතුමා ගැන කන වැකුණේ.

මේ දිනවල තරමක් අසනීපෙන් උන්නත් නැහැයි බැහැයි නොකියා අහක නොදමා අපේ ආරාධනාව පිළිගත්තාට චිත්‍රාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ. එහෙම නොවෙන්න මේ තරම් මනරම් මඟුල් පෝරුවක් අප ඉදිරියේ මවාපාන්න ජගතෙක් දැන් මේ අහල ගම් හතකින්වත් හොයා ගන්නවා බොරු ඕං...

ඒ විද්වතුන් මේ සාම්ප්‍රදායික කලාවේ බැස්ම පිළිබඳ පෙන්වා දෙන අයුරුය.

ලොකු අයගේ බරසාර කතාබහේ වගේ වගක් නැති ළමා ළපටින්ට නිමක් නැති මහ කුතූහලය වුණේම පෝරු මස්තකේ වසා උන්නු ගිරා ජෝඩුව.

සැබැවින්ම මේ නම් සුවිශාල වෙහෙසක; මහන්සියකි; එක් අයකුට දිනකින් ඉටු කළ නොහැකි නිර්මාණ කාර්යයකි. කඩදාසියකින් මෝස්තර කපා ගැනීම තරම් ගොක් කොළ මෝස්තර නිර්මාණය ලෙහෙසි පහසු නොවේ. ඒ එතරම්ම සියුම්ය. නවීන තාක්ෂණයට එතරම්ම මේ සාම්ප්‍රදායික කලාව නතු වී නැත. එදිනෙදා මඟුල්තුලා හෝ පිරිත් මණ්ඩපවල ගොක් සැරසිලි විරල එහෙයිනි. අද ඒ මල් පැලකට වඩා දෙයකට දුර දිග නොයන්නේ ඒ නිසාය.

අප තවම ගම්දොරින් පිටමං වූයේ නැත. නැවතත් මේ හැරෙන්නේ එදෙසටය. මංගල පෝරුවේ චාරිත්‍ර හමාර වූවායින් පසුව ඒ මතක සේයා රූ ගොන්නට එක් වන බව සැබෑය. එහෙත් ඒ චමත්කාරය පරම්පරා ගණනාවකට ජීවමාන සැමරුම් වන්නේය.

අප සමාජයේ කලක් පැවතී නැසී ගිය මෙවැනි අපූරු කලාංග කොතෙකුත් තිබෙන්න ඇත. ලොවි රතට හුරු ගිරා හොට. ලොකු අය පොඩ්ඩකටවත් එහෙට මෙහෙට වුණොතින් ගිරවුන්ට වන්නේ ඇබැද්දියක්.

ඒ වග දැනුණු නිසා දෝ අද අපේ කතානායකයා එදෙසට නිතර දෑස් කරකවා බලනවා.

මඟුල් තුලා කටයුතු හමාර වන්න කලින් අපි ඔහු දිහෑවට කිට්ටු කරමු.

දැන් මෙතැන් පටන් අපි කියවන්නේ ඒ අපූරු කලා සිත.

එච්.ඒ. චිත්‍රසෝමගේ කතාව

“චිත්‍රා කිව්වාමයි මාව හුඟ දෙනෙක් හඳුනන්නේ. මල්වතුහිරිපිටියේ බුත්පිටිය මගේ උපන් ගම. දැන් මට වයස 73ක්. ඉලන්දාරි කාලෙදිමයි ගොක් කොළ අද්දර මගේ හිත නැවතුණේ. ඒ මං ඉස්කෝලෙ ගමනට ආයුබොවන් කියපු අලුත. ඒත් ඒ කාලෙදිත් ගොක් කලාව හරිහමන් විදියට ඉගෙන ගන්න තැනක් නම් තිබුණෙම නෑ. ඒ කටයුතු කෙරෙන තැන්වලට ගිහින් බලා ඉඳීමෙන්මයි ඉගෙන ගන්න වුණේ. ඒ හිතේ හුරුව අත්හදා බලන්න ඕනෑ ඊළඟට ඉතින් රෑපානේ තමයි නිදිමරාගෙන මේ කලාව කරන්නේ. පිරිත් මඩු, මඟුල් පෝරු, පහන් කූඩු එහෙම නේ. ඒ මිසෙක කලබලේට කරන්න පුළුවන් දෙයක් නෙවි මේක.

ඒ කාලේ නම් හුඟ දෙනකුගෙන් අත්උදවු තිබුණා. දැන් ඒ දැනීම ඇති අය අඩුයි. එකින් එක පුංචි පුංචි නිර්මාණ කන්දරාවක් එක් වුණු අවස්ථාවක් තමයි ගොක් නිර්මාණ.

ආම්පන්නයක් විදියට පිහියා කෙටියක් මේ කලාවත් සමඟ නිතර එකට බැඳෙනවා. එක තැනක ඉඳගෙන නිවී හැනහිල්ලේ මෝස්තර කප කපා එකතු කරගන්න ඕනෑ. ඒ ඒ මෝස්තරේට හරියටම ගැළපෙන ගොක් කොළ කොටස තෝරා නොගත්තොත් බැහැ. අදට වඩා හෙට ගොක් කොළේ වැඩිපුර කහට පිපෙන්න ගන්නා බව සිකුරුයි. ඒ නිසා කාලයේ තාලයත් ගොක් නිර්මාණයකදී හොඳින් හඳුනා ගෙන තියෙන්නම ඕනෑ. ඉක්මනින් වෙනස් වීම, නැසී යෑම එහෙම. අනෙක් අතින් මේක ජීවිත සොබාවත් කදිමට උගන්වන කලාවක්. ළපටි, මැදි වගේම ඒ අතර ගොක් අතු හැම එකක්ම හරි හරියට වැඩකදී ඕනෑ. ඒ හරියට එකම සමාජයක විවිධ වයස්වල උදවිය සහජීවනයෙන් ජීවත් වෙනවා වගේ.

කොයියම්ම කෙනෙක් වුණත් භාවනාවක් වගේ මේ කලාව කරන්නේ. ආවාට ගියාට ගොක් කලාව කරන්න හැටියක් නැහැ. අනෙක පුදපූජා එක්ක නේ මේ සාස්තරේ හුඟක් දුරට බැඳෙන්නේ. අනෙක පිරිමි පාර්ශ්වේ තමයි මේ වැඩවල නිරත වෙන්නේ. ඒ, රෑ නිදිවරාගෙන කරන්න ඕනෑ නිසා වෙන්නැති.

පුදබිමකදී තමයි හුඟ වෙලාවට මේ සාස්තරේ එළිදැක්කේ. ඒ නිසා ගොක් කලාවට නැතිවම බැරි දෙයක් වන නිස්කලංක වටපිටාවේ අඩුවක් මට නම් දැනිලා නැහැ.

බුදුරුව, චෛත්‍යය, වලාකුළු, පියුම්, ලියවැල් ගොක් කොළෙන් ගොතද්දී හිතට වෙන වෙලාවට නැති සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. මං ඒ බව තවත් මේ කලාවේ නිරත අයගෙනුත් අහලා තියෙනවා. අදටත් අනුන්ගේ හොඳ ගොක් සැරසිල්ලක් දකිද්දීත් හිත නිවෙන ගතියක් තිබෙනවා.

සමහරු පොල්වලට වඩා තැඹිලි කොළෙන් නිර්මාණය කරලා දෙන්න කියනවා. ඒ කොයි හැටි වෙතත් ඒ කාටත් කිසි ඇදක් කුදක් නොවෙන්න වැඩේ කරලා දෙන්නයි කවදත් මං උත්සාහ කරන්නේ. සමහරු අඩුම කුඩුම සේරෝම සූදානම් කරනවා. ඇතැමුන් එහෙම නැහැ. අපට ඒවා සොයාගන්න කියනවා.

තව දෙයක් කින්න ඕනෑ: ගොක් අත්ත මං බඩවියත රැක ගන්නා එකම මඟ කර ගෙන නැහැ. ලංගමේ වැඩ කළ මං විශ්‍රාමිකයි. ඉන් පස්සේ පෞද්ගලික ආයතනයකත් මං වැඩ කළා. ඒ අතරින් පතර ආරාධනා ලැබුණොතින් තමා ගොක් සැරසිලි කළේ.

ගමේ පන්සලෙන් මං මේ කලාව ඇරඹුවේ. එතැනින් පටන් ගත් ගමන මං රට වටේ ගිහින් තිබෙනවා. කොළඹ ගංගාරාමයටත් මං ගොක් සැරසිලිවලට ගිහින් තිබෙනවා. ඒ කාලේ දායක උපාසක කට්ටිය පූජා කටයුත්‍තකදී ඕනෑ තරම් ගොක් කොළ හොයලා දෙනවා. ගස් නඟින්නත් මදි නොකියන්න මිනිස්සු හිටියා.

දැන් ඒ අය වයසයි. අලුත් පරපුරට මේ කලාව එච්චර නොගිය නිසා දෝ එහෙම නැති නම් නොතේරුණු නිසා දෝ දැන් ගහකට යවලා පරිස්සමට ගොක් කොළ ටික බිමට බාගන්න එකත් හුඟ වෙලාවට ප්‍රශ්නයක්.

හෙට දවස

අපටත් ඒ කාරණාවට සමහරු දොස් නඟන්න පුළුවනි. ඒ, ඊළඟ පරම්පරාවක් නොහැදුවාට. ඒත් කවුරුහරි කෙනෙක් ඇවිදින් ඇහැව්වොත් නිතරම නොසඟවා ගොක් කලාව කියා දීලා තියෙනවා. එතැනදී කිසිම භේදයක් සැලකුවේ නැහැ. අනෙක මගේම කියලා දරුමල්ලෙක් ඉන්න මං විවාහයක් කර ගෙනත් නැහැ. ඒ හිටියත් මට ඒ අයට වුණත් බල කරලා උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ මේ කලාව...”

කලාවට සොබාදහමට ළංව දිවි ගෙවුවා මිස, යෞවනයේ පෙළවහ ද අපේ කතානායකයාට මඟහැරී ගොසිනි. කිසිම විදියකින් ඔහු එය පසුතැවීමට හෝ කනස්සල්ලට කරුණක් කර ගෙන ද නැත. එහෙත් දහස් ගණනකට පතිකුලයට යන්නට මනරම් මඟුල් පෝරු තනා දුන් මේ කලාකරුවාගේ දෝතට ඒ වරම අහිමි වුණැයි දුක් වන්නෝ හුඟ දෙනෙක් අපේ කතානායකයාගේ නිර්මාණ දැන හඳුනාගත් පසු ඒවායෙන් නිවුණු, සැනහුණු ඉන් නිරාමිස ප්‍රීතියක් ලද්දෝය.

ඉදින්, මේ මෙරට තවත් සාම්ප්‍රදායික කලාකරුවකුගේ ජීවිත ගමනේ සැඳෑ යාමයයි.

ඉදිරි අපේක්ෂා පිළිබඳ අප විමසද්දී හෙතෙම ඉතා උපේක්ෂාසහගත වූ සැටියකි. එවේලේ ඒ කල්පනාවේ නිමග්නව සිටි ඔහු මුවගට හීන් සිනහවක් නංවා ගනිමිනි මේ වදන් ඇමුණුවේ.

“දැන් මං වයසයි. ශල්‍යකර්මයකින් පස්සේ වැඩිපුර විවේකිව ඉන්නයි මට වෛද්‍ය උපදෙස් ලැබී තියෙන්නේ. ඉන් පස්සේත් තව අවුරුදු කීපයකට වඩා මට ගොක් සැරසිලි කරන්න ඇඟපත හයිය හත්තිය තියෙයි කියලා හිතන්න අමාරුයි...”

ඒ දිගු කතාවක නිමාවයි. කී දෙයට වඩා චිත්‍රසෝම මහතා නොකී දේ බොහෝය. එහෙත් ඒ සියල්ල පාහේ ඔහුගේ ඇඟිලි තුඩගින් නිම වූ නිර්මාණ තුළ ගැබ්ව තිබේ. එය එසේ වුව ද ගොක් සැරසිලිකරුවා ද ජීවිත කාලය තුළදී තැනින් තැනදී එළිදැක්වූ සියලු නිමැවුම් කෙටි කලෙකදී ජනයා අවධානයෙන් ගිලිහුණු ඒවාය. මතු දිනෙක දැකබලා සැනසෙන්නට ඔහු ළඟින් ඒවායේ සේයාරූවත් නොවනු ඇත. එහෙත් ඒ සියල්ල එසේම තිබියදීත් මේ පරපුරේ අන්තිමයා තෙක්ම මුදලට හෝ නවීන කාඩ්බෝඩ්, කඩදාසි හෝ ප්ලාස්ටික් ක්ෂණික නිෂ්පාදනවලින් තොරව සොබාදහමින් අපූරු නිමැවුම් මව මවා අපට තිළිණ කරනු ඇත. ඒ මඟ යන තවත් කොතෙකුත් චිත්‍රසෝමලා හෙටත් අනුන්ගේ සිත් පහන් කරනු පිණිස පුන්කලස්, වලාකුළු, පියුම් ගොක් කෙළවලින් ගොතමින් සෞම්‍ය පැහැයෙන් අපට මුණගස්වනු ඇත.

නුවන් මහේෂ් ජයවික්‍රම

සේයාරූ - සුදත් මලවීර

නව අදහස දක්වන්න