වෙළෙඳ මා‍ෆියාවට තේරෙන භාෂාවෙන් පිළිතුරු දීම | දිනමිණ

වෙළෙඳ මා‍ෆියාවට තේරෙන භාෂාවෙන් පිළිතුරු දීම

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැන මේ දිනවල ලොකු කතාබහක් ඇතිව තිබේ. සීනි සහල් ඒ අතුරින් ප්‍රධානය. මේ ආහාර ද්‍රව්‍ය එක්තරා සුළු ව්‍යාපාරික පිරිසක් අත රැඳී තිබීම මෙයට ප්‍රධාන හේතුව බවට පත්ව තිබේ. සාමාන්‍ය නාඩු කිලෝවක් නිෂ්පාදනයට රුපියල් අසූවක් පමණ වැය වුව ද නාඩු සහල් කිලෝවක් ගමේ සිල්ලර කඩේ අලෙවි වූයේ රුපියල් එකසිය විස්සට වඩා වැඩි මිලකටය. අවුවේ වේළෙමින් කන-කර උකස් තබා වගා කරන ගොවියාට වී කිලෝවකින් ලැබෙන්නේ එදිනෙදා ජීවිතය ගෙවා ගැනීමට පමණක් සෑහෙන මුදලකි. එය ඔවුන්ගේ ජීවිතය ගැට ගසා ගැනීමට පමණක් සෑහෙන මුදලකි. එසේ නම් මේ ලාභය ගන්නේ කවුරුන්දැයි සාධාරණ සැකයක් ඇති වීම ස්වාභාවිකය. ඒ ලාභය ලබා ගන්නේ කඩේ මුදලාලි දැයි යන සැකය ද යමකු තුළ ඇති විය හැකිය. එයට ද දිය හැකි පිළිතුර වන්නේ ‘නැත’ යන්නය. සැබවින්ම මෙහි අනිසි ලාභය හෙවත් වැඩිම ලාභය ලබා ගන්නේ මෝල් හිමියා විසිනි. ඔවුන් වෙත ලැබී ඇති අධිකාරිවාදී අනිසි ඒකාධිකාරිය නිසා ඔවුනට සිතු ආකාරයට වැඩ කිරීමටත් ලාභ ඉපැයීමටත් හැකිව තිබේ.

ගොවියා රුපියල් දහයක් හෝ ඊට අඩු ලාභයක් ගනිද්දී මෝල් හිමියා එක් සහල් කිලෝවකින් රුපියල් පනහක් පමණ ලාභයක් ලබා ගනී. ඇත්තෙන්ම එය කුමන අංශයකින් ගෙන බැලුවත් හොඳ දෙයක් නොවේ. එනිසා සහල් නිෂ්පාදකයා එවැනි ලාභයක් ලැබීම අසාධාරණය.

පාලන මිල

එබැවින් අද වන විට රජය විසින් බොහෝ තැන්වලින් පාලන මිලට සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට පහසුකම් සලසා තිබේ. එසේ මේ ද්‍රව්‍ය වෙළෙඳපොළ තුළ හිඟ වීමට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ දේශීය හෝ ලෝක වෙළ‍ෙඳපොළෙහි අර්බුදයක් නොවන අතර, මෙරට ප්‍රධාන වෙළෙඳුන් කිහිප දෙනකු අනිසි ලෙස තොග රැස් කිරීම සහ ඒවා වෙළෙඳපොළට නිකුත් නොකර සිටීමය.

මේ වාතාවරණය මත ගොවියාව ‍රැක ගැනීමටත්, ව්‍යාපාර සහ පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමටත් කටයුතු කිරීමට ආණ්ඩුවට සිදුව තිබේ. ඒ වෙනුවෙන් නිසි සැලසුමක් මේ වන විට ක්‍රියාත්මකය. ඒ සැලසුමට උදවු කිරීම වෙළෙඳ ප්‍රජාවගේ වගකීමකි.

එහෙත් මේ මහත්මා වෙළෙඳ ක්‍රමය අප රට තුළ නිසි ලෙස ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. එහි ප්‍රතිඵලය බවට පත් වන්නේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමය. එමඟින් ඇතැමුන් සියයට පනහ ඉක්මවන මහා ලාභයක් ලබා ගැනීමට කටයුතු කරති. එය කිසි සේත් සාධාරණ දෙයක් නොවේ. සාමාන්‍ය ලෙස ගතහොත් එක් දෙයකින් ලබා ගත යුතු ලාභය සියයට දහයත් විස්සත් අතර ප්‍රමාණයකි.

එහි ප්‍රතිඵලය වූයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල පාලනය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ නිවේදනයක් නිකුත් වීමය. මෙමඟින් වෙළෙඳ ඒකාධිකාරියට අභියෝග එල්ල කළ හැකි තත්ත්වයක් ඇතිව තිබේ. හුදු ගැසට්ටුවක් මඟින් යම් ප්‍රමාණයක කාර්යක් ඉටු කළ හැකිය. එහෙත් එය එක් සීමාවකට යටත්ය. මහජන ආරක්ෂාව සම්බන්ධ පනත යටතේ කෙරෙන නීතිය ක්‍රියාත්මක කිරීම ඊට වඩා බොහෝ බලවත්ය. රජයට වුව ද ඉවසා සිටිය හැකි සීමාවක් තිබේ. මන්ද යත්: රජයට පූර්ණ වගකීම ඇත්තේ පොදු ජනතාව වෙත මිස සුළුතර වෙළෙඳුන් පිරිසක් වෙත නොවේ.

මහා පරිමාණ ලාභය

අද අප මුහුණ දෙන්නේ අපට පමණක් ආවේණික තත්ත්වයකට නොවේ. වසංගතය නිසා ලෝකයටම සිදු වූ බලපෑමේ අතුරු පලයකි. එනිසා මේ මොහොතේ අප කළ යුත්තේ මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමය. එයට අවශ්‍ය ක්‍රම අනුගමනය කිරීමය. ඒ සඳහා හදිසි නීතිය අදාළ ප්‍රතිපාදන ක්‍රියාත්මක වීමේ දෝෂයක් නැත.

රට ඇත්තේ සාමාන්‍ය තැනක නොවේ. වසංගතය විසින් ඇති කළ අර්බුදයකය. එය කෙතෙක්ද යත් ආර්ථිකය පවා ලොකු ගැටලුවක පැටලී ඇත. මෙවැනි මොහොතක තම මඩිය තර කර ගැනීමට කෙනෙකු උත්සාහ කරන්නේ නම් එය මිනිසත්කමට නිගා දෙන ක්‍රියාවකි. ඇත්තෙන්ම මේ මොහොතේ කළ යුත්තේ මේ තත්ත්වය වැළැක්වීමට ආණ්ඩුව ගන්නා ක්‍රියා මාර්ග වෙත සහාය දීමය. එය එසේ නොවීම තුළ තව තවත් පීඩාවට පත් වන්නේ ජනතාවය.

අප කළ සොයා බැලීම් අනුව එක කන්නයකදී මහා පරිමාණ සහල් මෝල් හිමියකු රුපියල් බිලියන පනහක මහා පරිමාණයේ ලාභයක් අත්කර ගනී. එය අහස පොළොව උසුලන තරමේ ලාභයක් නොවේ.

එවැනි ඉහළ ලාභයක් ලැබීමට මෝල් හිමියන් ගොවීන් වෙනුවෙන් රුපියල් පහක් වැඩිපුර ගෙවයි. එහෙත් එය නිසි ලෙස සිදු කරන්නක් හෝ සද් අරමුණකින් සිදු කරන්නක් නොවේ. සම්පූර්ණයෙන්ම හුදු ලාභ අපේක්ෂාවෙන් සිදු කරන්නකි. එහෙත් මෙසේ ගබඩා කර ගන්නා වී තොග නිසි ලෙස පාරිභෝගිකයා වෙත නිකුත් කරන්නේ නැත. ඔවුන් සිතූ සිතූ ලෙස සහල් මිල ඉහළ දමයි. පසුගිය කාලය පුරා සිදු වූයේ මෙයයි. එබැවින් තරමක් ප්‍රමාද වී හෝ ආණ්ඩුව සහල් මිල පාලනයට ගත් තීරණය නිවැරැදිය. එමෙන්ම අධික ලාභයක් සහිතව සීනි අලෙවිය පාලනයට ගත් පියවර ද ප්‍රශස්තය. හදිසි නීති රෙගුලාසි යොදා ගැනීම එයට ගත් සුදුසුම පියවරයි.

අපිට ඕනෑ කර තිබෙන්නේ සමඟවත් තරගයක් ඇති කර ගන්නවත්, අමනාපයක් ඇති කර ගන්නවත් නොවේ. මේ මොහොතේ පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටය. මෙහි දී අප උත්සාහ කරන්නේ අසාධාරණ ලෙස ලබන ලාභය වෙනුවට මෝල් හිමියාටත්, ගොවියාටත්, පාරිභෝගිකයාටත් සාධාරණය වාතාවරණයක් ඇති කිරීමයි.

හදිසි නීති ප්‍රතිපාදන

දීර්ඝ කාලයක් තිස්සේ මතු වෙමින් යට යමින් පවතින ප්‍රශ්නය වූයේ සහල් මිලයි. ඒ පිළිබඳ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා දක්වන්නේ මෙවැනි අදහසකි:

“ඇත්තෙන්ම සහල් මිල ඉහළ යෑම ගැන පසුගිය අවුරුද්ද පුරාම ලොකු කතාබහක් තිබුණා. ඒත් සහල් මෝල් හිමියන් ආණ්ඩුව එක්ක එකඟතා ඇති කර ගත්තත් ඒ සියලු එකඟතා කඩ කළා. එහි ප්‍රතිඵලය වුණේ මිල දිගින් දිගටම ඉහළ යාමයි. ඒ ගැන අවධානය යොමු කර ආණ්ඩුව හදිසි කටයුත්තක් විදිහට සහල් තොග සොයා මෙහෙයුම් ආරම්භ කළා. ඒකට අලුතින් හඳුන්වා දුන් හදිසි නීති ප්‍රතිපාදන ලොකු උදව්වක් වුණා.”

සහල් ගැටලුව මෙන්ම පසුව ඇති වුව ද සහල් ප්‍රශ්නයටත් වඩා දුර දිග ගියේ සීනි ගැන තිබුණ ගැටලුවය. ප්‍රශ්නය කළමනාකරණය කිරීම ගැන අප රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි:

“අප දැනටමත් සඟවා තිබූ සීනි තොග විශාල ප්‍රමාණයක් සොයාගෙන තියෙනවා. අපට දැන් හැකි වෙලා තියෙනවා පාලන මිලක් යටතේ සීනි ලබා දීමට. ඉදිරි සති කිහිපයේදී සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන බව විශ්වාසයි. ඒ සදහා අවශ්‍ය වටපිටාව අපි ඉක්මනට ඇති කරනවා.”

මෙහිදී මතු වන අනෙක් ගැටලුව ගොවියාට ලැබෙන මිලය. ඒ ගැන ඇමැතිවරයා දක්වන්නේ මෙවැනි අදහසකි:

“ඇත්ත එහෙම අදහසක් සමහරු මතු කරනවා. ගොවියාට ගැටලුවක් නොවන විදිහට ඔවුනට උපරිම සාධාරණයක් වෙන විදිහට වැඩ කිරීමයි අපේ ප්‍රධාන අරමුණ. ඒ නිසා ගොවියා කිසිම සැක සංකාවක් තියා ගන්න ඕනෑ නැහැ.”

ලසන්ත අලගියවන්න ඇමැතිවරයා අනාගතය ගැන පළ කළේ සුභවාදී බලාපොරොත්තුවකි. මෙවැනි අසීරු කාලයක මහජනයා පිළිබඳ කල්පනා කර මෙවැනි තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත්ය. එමෙන්ම අපහසුතාවට පත්ව සිටින ජනතාව වෙත තව තවත් පීඩා කර තම වාසිය ගැන පමණක් කල්පනා කරයි නම් එය බරපතළ වරදකි. එවැනි පිරිස් සාමාන්‍ය නීතිය යටතේ පාලනය කළ නොහැකි නම් හදිසි නීතිය වැනි විශේෂ ප්‍රතිපාදන යටතේ හෝ පාලනය කිරීමේ වරදක් නැත. මන්ද යත් අද වන විට සමහර වෙළෙදුන් ක්‍රියා කරන්නේ ත්‍රස්තවාදී සංවිධානයකටත් එහා ගිය ආකාරයකටය. එනිසා වෙළෙද ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ ඔවුන්ට තේරෙන භාෂාවෙන් උත්තර දීමෙනි.

ඇතැමුන් කියන්නේ පාරිභෝගික සේවා අධිකාරියට පැවරී ඇති නෛතික ප්‍රතිපාදන යටතේ මේ තත්ත්වය පාලනය කළ හැකි බවකි. එහෙත් එය එසේ නොවන බව පසු ගිය අවුරුදු එක හමාර තුළ මනා ලෙස පැහැදිලි විය. එයට හේතුව මේ බරපතළ මාෆියාව මෙල්ල කිරීමට තරම් ශක්තියක් ඔවුන්ට නොවීමය. එනිසා මෙවැනි අර්බුදකාරි කාලයක වෙළෙඳුන් සමඟ හැප්පෙමින් කටයුතු කිරීමට වඩා සුදුසු වන්නේ ඔවුන් පාලනය කර සැමට සාධාරණය ඉටු කිරීමය. දැන් ආණ්ඩුව කරමින් තිබෙන්නේ ඒ කාර්යභාරයයි.

උදිත ගුණවර්ධන

නව අදහස දක්වන්න