හරිත පලස හා බැඳුණු සපරගමුවේ දිය මත සැණකෙළිය | දිනමිණ

හරිත පලස හා බැඳුණු සපරගමුවේ දිය මත සැණකෙළිය

සමන් දෙවිඳු පරිසර හිතකාමියෙකි. දෙවිඳුන්, නිරිඳුන් සමයේදී වැඩිපුරම ගත කර ඇත්තේ ස්වාභාවික පරිසර පද්ධතියේය. ඝන වනාන්තරයකට සමීප සපරගමුවේ පාලකයා වූ ඔහුගේ වාහනය සුදු ඇත් රජෙකි. දෙඅත රැඳී ඇත්තේ නෙළුම් මල්ය. සුමන නිරිඳුන්ගේ විමානය වී ඇත්තේ ගංගා, දිය ඇලිවලින් සුපෝෂිත වනස්පතියෙන් ගහන සමනොළ අඩවියයි.

ජලයත්, පරිසරයත් සමඟ වූ සමන් දෙවිඳුන්ගේ මේ බැඳීම අද සිහිපත් කෙරෙනුයේ මහ සමන් දේවාල පෙරහර අවසානය සටහන් කරන දිය කැපීමේ මංගල්‍යයෙනි. එය සාම්ප්‍රදායික චාරිත්‍රයකි.

සමන්ත කූටය ඇතුළත් සබරගමුවේ ප්‍රාදේශීය නායකයකු වූ සුමන සමන් නිරිඳු බුදුන් වහන්සේගේ ලංකාගමනයෙන් පසු බුදුන් සරණ ගිය බව පැවසේ.

පෙදෙසි නිරිඳු

දේව කතා පුරාණයට අනුව සෝවාන් ඵලයට පත් සුමන නිරිඳු මෙලොව හැර යෑමෙන් පසු දේවත්වයෙහි ලා සැලකිණි. සමන් දෙවිඳු උදෙසා මුලින්ම දෙවොලක් ඉදි කර ඇත්තේ සමන්ගිර මුදුනේ බව සඳහන් වේ.

ඒ සවැනි පැරකුම් රජ දවස දේවපතිරාජ නම් ඇමැතිවරයාගේ මැදිහත් වීමෙනි. අතීතයේ දිනෙක සීලවංස නම් හිමි නමක ශ්‍රීපාදය වන්දනා කිරීමට වැඩම කර සිටියදී සිහිනයක් දුටු බවත්, ඒ අනුව සඳුන් දැවයෙන් කළ සුමන සමන් පිළිරුවක් තනවා සපරගමු විහාරයේ තැන්පත් කළ බවත් කියවේ.

ඒ සමන් දේව ප්‍රතිමාව තැන්පත් කිරීම සඳහා සුදුසු දෙවොල ගොඩනඟා ඇත්තේ ආර්ය කාමදේව ඇමැතිවරයාය. එතෙක් සපරගමු විහාරය නමින් හැඳින්වූ ඒ පුද බිම මහ සමන් දේවාලය බවට පත් වී ඇත්තේ ඉන් අනතුරුව බව ඉතිහාසයේ සඳහන් වේ.

සශ්‍රීකත්වය අරමුණු කොට සුමන සමන් දෙවිඳුන් උදෙසා කරනු ලබන පුද පූජා අතර ප්‍රධාන වන්නේ වාර්ෂිකව පවත්වා ගෙන එනු ලබන පෙරහරය.

සුමන දිවි අසිරිය

වෙනත් පෙරහරවල දක්නට නැති විවිධාංගයක් සමන් දෙවොලේ පෙරහරේ දක්නට ලැබේ. ඒ සමන් නිරිඳුන් ගිහි කල සිටි බිරිය හා පුත්‍රයා සිහිපත් කර පෙරහර පැවැත්වීමය. පළමුව වීදි සංචාරය කරන්නේ දළදා පෙරහරය.

අනතුරුව පත්තිනි දේවාල පෙරහර ද, ඉන් පසු බිසෝ පෙරහර ද, පසුව කුමාර පෙරහර ද, ඉක්බිති සමන් දෙව් රජ පෙරහර ද පෙළ ගැසෙයි. එසේ පෙරහර පෙළ ගැසෙන්නේ සමුන සමන් නිරිඳුන්ගේ ගිහි කල සාමකාමි වූ සාර්ථක පවුල් සංස්ථාව සංකේතවත් කිරීමට බව කියවේ.

සපරගමු මහ සමන් දේවාලයේ පෙරහර අවසන් දින රාත්‍රී දේව මන්දිරයට ගෙවැද අනතුරුව අලුයම් කාලයේ සුබ මොහොතින් පෙරහර දිය කැපීම සඳහා පිටත් වෙයි.

මේ විචිත්‍රවත් දිය කැපුම් පෙරහර මහ සමන් දේවාලයේ සිට ගමන් අරඹා, කොටාඹේ තොටුපොළට පිවිසෙයි. එහි සිට කිලෝ මීටර් පහක් පමණ දුරින් ගඟ ඉහළ ඇති රත්මලේ ඇල්ල දක්වා අඟුල් හා ඔරු පිරිවරා උඩු ගං බලා යයි.

බොහෝ බැතිමතුන්ට මේ ගමන චමත්කාරජනක සැණකෙළියක් බඳුය. මෙරට පෙරහර අතර ගංගාවක් දිගේ යන එකම, දීර්ඝතම පෙරහර මෙයයි. මේ ගඟේ පෙරහරින් සිහිපත් කෙරෙන්නේ ඈත අතීතයේ විසූ මිනිසා ඉර, හඳ, ගස්, ගල්, ගංගා, කඳු ශිඛර වැනි ස්වාභාවික වස්තු දේවත්වයෙහිලා සැලකූ අන්දමය.

මිහි මව බැඳි සිත

ආදි කාලීන මිනිසා තම වාසස්ථාන ගොඩ නඟා ගත්තේ ද ජලය ආශ්‍රිතවය. පීකිං මානවයා ඇතුළු චීන ශිෂ්ටාචාරය හොවැංහෝ ගං නිම්නය ඇසුරේත්, ඉපැරණි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංගා අසබඩත් සිය වාසස්ථාන ඉදි කර ගත් බව පතපොතෙහි සඳහන්ය. ඒ පාරිසරික බැඳියාව ලාංකේය ශිෂ්ටාචාරයේත් දැකිය හැකිය.

විජය කුමරුගෙන් පසු මුල්ම ජනාවාස බිහි වූවා යැයි සැලකෙන්නේ ද මල්වතු ඔය ආශ්‍රයේය. පරිසරයට ආදරය කරමින් එහිම ජීවත් වූ සුමන නිරිඳු තම බිසව සමඟ විවේකය ගත කරන්න තෝරා ගෙන ඇත්තේ ද එලෙස ස්වාභාවික පරිසර පද්ධතිය බව ජනශ්‍රැතියේ එයි.

එය සිහිපත් කෙරෙමින් පෙරහර අවසානයේ අලුයම් කාලයේ මුලින්ම දෙවොලේ සිට වැඩමවන සමන් දෙවිඳුන්ගේ රාජාභරණ හා බිසෝ ආභරණ දෝලාවක තැන්පත් කෙරේ. වාහල බෙරය වැයෙද්දී පන්දම්කරුවෝ ඊට ආලෝකය දෙමින් බිසෝ ආභරණ ද රැගෙන ආලත්ති අම්මලා තොටුපොළ බලා ගමන් කරති.

ඒ අතරමැද හමු වන ‘සිංහාසන මණ්ඩපය’ දක්වා ආවරණය වී පැමිණෙන කපු මහතා එහිදී සාම්ප්‍රදායික චාරිත්‍ර රැසක් ඉටු කරයි. කුමාර රථය ද එතැනට පැමිණෙන අතර, එතැන් සිට දේවාභරණ ද සහිතව පෙරහර තොටුපොළට ළඟා වෙයි.

එතැනදී දේවාභරණ දේව අඟුලේ තැන්පත් කර ඇල්ල දක්වා ගමන් කෙරෙනුයේ රතු-සුදු උඩු වියන් හා වටතිර මධ්‍යයේය. උදෑසන මීදුමින් වැසුණු සීතල කළු ගඟේ රත්මලේ ඇල්ල දක්වා සුමන සමන් නිරිඳුන් තම බිසව සමඟ ගමන් කළ බව දේව පුරාණයේ කියවේ. එය සිහිපත් කරමින් මේ ගඟේ පෙරහරට දේවාභරණ බාර කපු මහතා ද ආලත්ති අම්මලා හා හේවිසිකරුවෝ ද එක් වෙති.

ගඟේ පෙරහර

බැතිමත්හු විශාල පිරිසක් දේව අඟුල පිරිවරා ආරක්ෂා කරමින් ඔරු අඟුල්වල නැඟී උඩු ගං බලා යති. ගඟේ සෑම තොටුපොළකදීම පුදපූජාවලින් පිදුම් ලබමින් රත්මලේ ඇල්ල දක්වා පෙරහර ගමන් ගනියි.

ඔරු පෙරහර රත්මලේ ඇල්ලට ළඟා වීමෙන් පසු සුබ නැකැතට අනුව සමන් දේව අඟුල ඇල්ලේ එක් ස්ථානයකට යොමු කෙරේ. අඟුල සුදු පිරුවටවලින් ආවරණය කර ගත් කපු මහතා දේව අඟුලේ මැද ලෑලි ඉවත් කර දිය මත රිදී හීයකින් සලකුණක් සටහන් කර, එසැණින්ම කිසිවකුට නොපෙනෙන පරිදි කෙණ්ඩියකට නැවුම් පැන් පුරවා ගනී.

ඒ ස්ථානයට රතු සහ සුදු මල් පිදෙයි. බැතිමත්හු සාධුකාර දෙති; දේව අඟුලට පුෂ්පෝපහාර දක්වති. බොහෝ දෙනා දියට බැස දෙවියන්ට බාරහාර වෙති. පඬුරු දමති. මුළු රත්මලේ ඇල්ලම දෙවොල් බිමක් මෙන් දිස් වන අතර, දිය ඇල්ල අසල එකම මල් ගොමුවක් සේ දිස් වෙයි.

බෙර, නළා හඬ මධ්‍යයේ ගං ඉවුරේදී දේව අඟුල වෙත එන සමන් දේවාලයේ බස්නායක නිලමේ පඬුරු පිළිගන්වයි. අනතුරුව යළි සමන් දෙවොල බලා දේව අඟුල ඇතුළු පරිවාර ඔරු පෙරහර පිටත් වෙයි.

සමන් දෙවොලේ මංගල හස්ති රාජයා ඒ දේව අඟුල කොටාඹේ තොටුපොළ වෙත ළඟා වන තුරු එහි රැඳී සිටියි. එහිදී යළි දේවාභරණ හස්තිරාජයා මත නැංවෙයි. නර්තන කණ්ඩායම් හා තූර්යනාද පූජා මධ්‍යයේ ගඟෙන් ගොඩට ආ බැතිමතුන් සහිත පෙරහර සිංහාසන මණ්ඩපය වෙත යළි ළඟා වෙයි.

එහිදී දේවාභරණ සිංහාසන මණ්ඩපයේ තැන්පත් කර, තේවාවන් ඉටු කෙරේ. ඒ ස්ථානයේ එතෙක් නවත්වා තැබුණු කුමාර රථය ද සමඟ දෙව්රජ බිසෝ පෙරහර යළිත් මහ සමන් දේවාලය කරා පැමිණීමෙන් පසු මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහර නිමාවට පත් කෙරේ.

බන්ධුල ගුණරත්න

ඡායාරූප - මහිල් විජේසිංහ

නව අදහස දක්වන්න