පිස්සු නටන මිනිස්සු! | දිනමිණ

පිස්සු නටන මිනිස්සු!

ලොහාන් රත්වත්තේට අදාළ සිද්ධිය දේශීය වශයෙන් පමණක් නොව, විදේශීය වශයෙන් ද සංවාදයට ලක් වන කාරණයක් බවට පත් වී ඇත. එය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට, ආණ්ඩුවේ ප්‍රතිරූපයට හා රටේ නීතියට කැළලක් බව වැඩි දෙනකුගේ පිළිගැනීමය. තනි පුද්ගලයකුගේ නොමනා හැසිරීමක් මත රටක් හා ආණ්ඩුවක් ගැන තීරණවලට එළඹීම යුක්ති සහගත නැත. එහෙත් වැරැදි සෙවීමට හා විවේචනය කිරීමට සාධක සොයන අයට මෙය හොඳ කටගැස්මක් වී තිබේ. එයින් අර්ථ ගැන්වෙන්නේ වගකීම් විරහිතව හැසිරෙන පුද්ගලයන් හැම විට ම බලවත් හානියක් සිදු කරන බවය. ලොහාන් යනු රජයේ වගකිව යුතු කාර්යභාරයක් ඉටු කිරීම සඳහා පත් කරන ලද රාජ්‍ය අමාත්‍යවරයෙකි.

මේ සිද්ධියට අදාළ ප්‍රධාන කොටස් දෙකක් පවතී. පළමු කොටසට අයත් වන්නේ රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර දෙකකට ගොස් සිදු කළායැයි කියන නොමනා හැසිරීම්ය. දෙවන කොටසට අයත් වන්නේ ඔහු ඉහත කී සිදුවීම්වල වගකීම භාර ගනිමින් සිය පදවියෙන් ඉල්ලා අස්වීමය. එක සිද්ධියකින් නරක මතු වන අතර තව සිද්ධියකින් හොඳක් මතු වෙයි. ලොහාන්ගේ යකා නැටීම අප කිසිවකු අනුමත කරන්නේ නැත. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ එබඳු සිදුවීම් අනුමත කරන්නේ නැති බව ද පැහැදිලිය. ලොහාන්ගේ ඉල්ලා අස් වීම මේ අතර විශේෂ වෙයි. වරදක් පිළිගෙන පදවියෙන් ඉල්ලා අස් වීම ශිෂ්ට කාරණයකි. ලොහාන් රත්වත්තේ එය ඉටු කර තිබේ.

අප ගෙවමින් සිටින්නේ ඉතා බැරෑරුම් කාල පරිච්ඡේදයකි. ලෝක වසංගතයෙන් නිදහස් වීම, ආර්ථිකය පණ ගැන්වීම හා ජනතාවට සහන සැලැසීම යන ප්‍රධාන අභියෝග තුනක් රට හමුවේ පවතී. මේ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලවත් පරිශ්‍රමයක යෙදී සිටින්නේ විවිධ බාධා කිරීම් හා නිර්දය විවේචන මධ්‍යයේය. මේ අනුව රාජ්‍ය තන්ත්‍රයට අයත් කිසිවකුට පිස්සු නැටීමට හෝ විහිළු කිරීමට හෝ අවස්ථාවක් නැත. ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් දිවා රෑ නොබලා වැඩ කරන ආකාරය දැක ගත හැකිය. අර්බුදයෙන් ගොඩයෑම සඳහා මහත් කැප වීමක් සිදු කළ යුතු බව ඉතා පැහැදිලිය. එහි වගකීම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ සිට කැබිනට් අමාත්‍යවරයකු දක්වාම විහිදී ඇත.

රටේ අභ්‍යන්තර ගැටලුවලට අමතරව අන්තර්ජාතික වශයෙන් මුහුණ දිය යුතු අභියෝග කිහිපයක් ද අපට තිබේ. ඉන් එකක් වන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන චෝදනා හා විවේචනය. රජය මානව හිමිකම් කොමිසම ඉදිරියේ දණින් වැටිය යුතු නැතත්, කොමිසම සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ යුතුව තිබේ. ඒ සඳහා රටේ සාමය, විනය හා නීතිය පවත්වා ගත යුතුය. මානව හිමිකම් කොමිසමේ හතළිස් අටවැනි සැසි වාරය මේ දිනවල පැවැත්වෙයි. කොමිසමේ ප්‍රධානී මිෂෙල් බැච්ලේ කියා ඇත්තේ ශ්‍රී ලංකාව ගැන දැඩි අවධානයකින් පසු වන බවය. රටේ නීතිය ගැන ගැටලු තැන් කිහිපයක් ද ඇයගේ වාර්තාවට ඇතුළත්ය. ලොහාන් රත්වත්තේගේ සිද්ධිය මතු වන්නේ එබඳු තීරණාත්මක අවස්ථාවකය.

ඉහත සිද්ධියෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ජගත් තලය ඇමතීමට පටන් ගෙන තිබේ. තවත් කිහිප දෙනකු සිරකරුවන් සංවිධාන කරන්න පටන් ගෙන තිබේ. එහි අරමුණ සිද්ධිය බරපතළ කොට දක්වා ආණ්ඩුවට මඩ ගැසීම විය හැකිය. සිද්ධිය රටේ නීතිය පිළිබඳ ප්‍රශ්නයක් බවට පෙරළාගත හැකිය. ජනවාර්ගික අසමානතාව පිළිබඳ ගැටලුවක් බවට පත් කර ගත හැකිය. රජය බලය පාවිච්චි කරන ආකාරය පිළිබඳ නිදර්ශනයක් ලෙස ද මෙය උපුටා දැක්විය හැකිය. එහෙත් හැබෑවටම සිදු වී ඇත්තේ පුද්ගලයකු බීමතින් යම් විහිළුකාරි හැසිරීමක නිරත වීමය. එය සත්‍ය ලෙසම ලෝකය වෙත ගෙන යා යුතු දෙයක් නොවේ.

ගෙයි ගිනි පිටට නොදිය යුතු යැයි කතාවක් තිබේ. එහි අර්ථය වන්නේ ගෙදර ප්‍රශ්න ගෙදර සාමාජිකයන්ම කතාබහෙන් විසඳා ගත යුතු බවය. ලොහාන්ගේ සිද්ධිය ද එවැන්නකි. ඔහු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි විපක්ෂ නායකවරයා ඉල්ලා තිබිණි. ජනාධිපතිවරයා ලොහාන් ඉවත් කිරීමට පෙර ඔහුම ඉල්ලා අස් වීම ඉදිරිපත් කළේය. ජනාධිපතිවරයා එය පිළිගත්තේය. සිද්ධිය යහපත් නිරාකරණයක් වෙත පැමිණ තිබේ. ආණ්ඩුව ලොහාන් නිවැරැදි කිරීමට හෝ ඔහුගේ පැත්ත ගැනීමට හෝ ගියේ නැත. එය වැදගත් කොට සැලකිය යුතුය. මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ බරපතළ දුම්රිය අනතුරක් සිදු විය. එහි වගකීම භාර ගත් ප්‍රවාහන අමාත්‍යවරයා වහා ඉල්ලා අස් විය.

දේශපාලකයන් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම පිළිබඳ පළමු සිද්ධිය මෙය නොවේ. මෙබඳු සිදුවීම් වරින් වර අපේ දේශපාලන ඉතිහාසයේ සටහන්ව ඇත. ඉන් පෙනී යන්නේ අපේ දේශපාලකයන් හා විනය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් පවතින බවය. මන්ත්‍රීවරුන්ට සම්මන්ත්‍රණ පවත්වා ඉගැන්විය යුතුයැයි යෝජනාවක් වරක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් විය. එහෙත් එය අඛණ්ඩව ක්‍රියාත්මක වූයේ නැත. දේශපාලකයා මහජනයාට වඩා ඉදිරියෙන් සිටිය යුතු බවට ද ඔහුගේ හැසිරීම හැම විටම ආදර්ශවත් විය යුතු බවට ද පිළිගැනීමක් තිබේ. එය දියුණු සමාජයක පැවතිය යුතු තත්ත්වයකි. රියැදුරු අසුනේ ආරක්ෂක බඳපටිය නොපැලඳ රිය පැදවූ ඔස්ට්‍රේලියා අගමැතිවරයෙක් පොලිසියට හසු වූ පසු කිසිදු කතාවකින් තොරව දඩය ගෙවා දැම්මේය.

ලොහාන් රත්වත්තේගේ සිද්ධිය දේශපාලකයන්ට කදිම පාඩමක් ලෙස පවතී. ඔවුහු තමන්ගේ වගකීම් නිසි ලෙස වටහා ගත් මහත්වරු විය යුතුය. බීමතින් පිස්සු නටන අය දේශපාලනයෙන් ඉවත් වීම වඩා සුදුසුය.

නව අදහස දක්වන්න