රටක් ලෙස එක් විය යුතු මානව හිමිකම් වගකීම | දිනමිණ

රටක් ලෙස එක් විය යුතු මානව හිමිකම් වගකීම

එක්සත් ජනපදයට එල්ල වූ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට වසර විස්සකි. සැන් ෆ්රැන්සිස්කෝ සාම සමුළුව පවත්වා දශක හතක් ගෙවී තිබේ. සැප්තැම්බර් මාසය, මේ කරුණු දෙක අතර දෝලනය වෙමින් තිබේ. අමෙරිකාව ප්‍රධාන මිත්‍ර රටවල් දෙවැනි ලෝක මහා යුද්ධයේදී ජපානය සමතලා කළේය. ඉන් පසු සැන් ෆ්රැන්සිස්කෝ සමුළුව සංවිධානය කළේය. එහි දී ශ්‍රී ලංකාවට විශේෂ තැනක් ලැබිණි. ජේ.ආර්. ජයවර්ධන මහතා ‘නහි වේරේන වේරානි’ යනාදි බුද්ධ වචනය ඉදිරිපත් කළේ එතැනදීය.

සැප්තැම්බර් එකොළොස් වැනිදා අල්කයිඩා ප්‍රහාරය ත්‍රස්තවාදයේ තරම කියා දුන්නේ අමෙරිකාවට පමණක් නොවේ; මුළු ලෝක ප්‍රජාවටමය. ශ්‍රී ලංකාව වසර තිහක යුද ගැටුම් සහිත කාල පරිච්ඡේදයක් අවසන් කළේය. තැන නොතැන නොබලා මරාගෙන මැරෙන බෝම්බ පුපුරා ගිය රටක, ජනතාව මහත් අස්වැසිල්ලකින් සිටිති. සාමය ගැන කියා දුන් සහ ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර ඇති චෝදනාවකට බරපතළ සේ ගොදුරුව ඇත. යුද ගැටුම් අතරතුර ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කළ බව එයින් ප්‍රකාශ වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දීර්ඝ කාලයක් තිස්සේ අවසානයක් නැති බව පෙනෙන මේ චෝදනාව එල්ල කරමින් සිටී. මේ වසරේ පවත්වන අවසාන සැසි වාරයට ද එය ප්‍රධාන මාතෘකාවක් වී ඇත. එක් පැත්තකින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ දෙවැනි අරගලයකය. එනම් ත්‍රස්තවාදයට පසු පැනනැඟී ඇති දරුණුතම ව්‍යසනය සේ සැලකිය හැකි කොවිඩ් වසංගතය පාලනය කරන අභියෝගයයි. එහි අනෙක් පීඩනයක් වශයෙන් බරපතළ ආර්ථික අර්බුදයක් ද පැනනැඟී ඇති කාල වකවානුවකි. මේ සංකීර්ණ ව්‍යූහය තිබියදී මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ගැන සම්පූර්ණ අවධානය යොමු කරන්නට සිදු වී තිබේ.

මානව හිමිකම් යෝජනාව

අවුරුද්දකට තුන් වතාවක් මානව හිමිකම් කවුන්සිලය මුණ ගැසේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක වාර්තා සාකච්ඡා කෙරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඇති මේ කවුන්සලයට සාමාජිකයෝ හතළිස් හත් දෙනෙකි. මේ රටවල නියෝජිතයන් ඉදිරියේ මානව හිමිකම් කොමසාරිස්වරිය සිය ලේඛන ඉදිරිපත් කරයි. මෙවර සැසි වාරය හුදෙක් කරුණු ඉදිරිපත් කිරීමට පමණක් සීමා වී තිබිණි. තාක්ෂණික සැසිවාරයකි. හතළිස් තුන් වැනි සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකාව, තමන්ට එරෙහිව ඉදිරිපත්ව තිබෙන මානව හිමිකම් යෝජනාවේ වගන්ති දෙකක් උපුටා දක්වන ලද අතර, සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව දැනුම් දී තිබේ.

එය මෙරට මානව අයිතිවාසිකම් සම්බන්ධ පසුබිම ඉදිරියේ තීරණාත්මක සන්ධිස්ථානයක් වශයෙන් සටහන් විය. මානව හිමිකම් යෝජනාව ඉදිරිපත් කරන්නේ 2012 වසරේදීය. එතැන් සිට එහි නොයෙක් පැති සාකච්ඡා වී තිබේ. සාමය තහවුරු කර ගෙන සමාජ එකඟතාව ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය අත්හැර දමා නැත. සංහිඳියාව වෙනුවෙන් සෑහෙන කැප වීමක් කර තිබේ. ජාති අතර එකඟතාව ඇති කරන පිළිවෙළ අතර සංවර්ධනය වැදගත් අංගයක් බව අවබෝධ කර ගෙන සිටී. දකුණ පමණක් නොව, උතුරු නැඟෙනහිර පළාත් වෙනුවෙන් ද අලුත් ආයෝජන යෝජනා කර ඇත. උතුරේ පමණක් නොව, දකුණේ ජනතාවට ද අහිමි වීමේ වේදනාව ඇත. එහි කැළැල් සුවපත් වෙමින් පවතින අතරවාරයේ, නැවත නැවතත් ඉස්ලාම් ආගමික අන්තවාදයෙහි සංවිධානාත්ම ඝාතන රැල්ලකට මුහුණ දෙන්න සිදු විය. එකිනෙකට වෙනස් මුහුණුවරින් ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජන මඟහැරිය නොහැකි අභියෝග සේ නැඟී, ජන සමාජයේ පැවැත්ම අවහිර කර තිබේ.

අදූරදර්ශි තීරණ

මානව හිමිකම් චෝදනා එල්ල කරන්නේ ආණ්ඩුවට පමණක් නොවේ; රටටය; ශ්‍රී ලංකාවටය. පසුගිය යහ පාලන ආණ්ඩුවට එයින් ගැලවෙන මඟක් නොතිබිණි. මානව හිමිකම් කවුන්සිලය සමඟ එකතුවී, චෝදනාව තමන් ද තමන්ටම එල්ල කර ගන්නට තීරණය කළේය. එය ඉතා ම අදූරදර්ශි තීරණයක් බව විද්වත් රාජ්‍ය තාන්ත්‍රික මතය වේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය දේශපාලන, ආගමික සහ ජාති වශයෙන් බෙදී, භින්න තත්ත්වයක පවතී. එක සමාජයක් කල්පනා කරන ආකාරය අනෙක් සමාජයට හෝ ආගමික කණ්ඩායම ප්‍රතික්ෂේප කරයි. දේශපාලන පක්ෂ අතර විරසකය දරුණුය. පොදු කරුණකට එකඟ නොවන කණ්ඩායම් සංහිඳියාව ගැන කතා කරන්නේ කෙසේ ද? පළමුවෙන් දකුණේ සංහිඳියාව විදහා දැක්විය යුතුය. එය පෙරටු කර ගෙන උතුර එකතු කර ගත හොත්, විජාතික, බටහිර පටු බලවේග රටට ගොනු කර ඇති චෝදනාවලින් ගැලවිය හැකිය. මෙහිදී සියලු පක්ෂ හා කණ්ඩායම් එක පියවරක් ආපසු ගැනීම සුදුසුය. දැඩි අන්තවාදයක, ඒකමතික තීරණයක පසුවීම, අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලය බලගැන්වීමකි. රට එකතු වුව හොත්, අන්තර්ජාතික ප්‍රජාව සමඟ ඍජු කථෝපකථනයකට යා හැකිය. ත්‍රස්තවාදය ඇරඹෙන්නේ කොතැනින් ද? පෝෂණය වීම හා අවි ගත් ත්‍රස්තවාදීන්ට ආයුධ ලැබුණු ආකාරය පවා විමර්ශනය කරන්නට යෝජනා කිරීමට ද හැකි නොවන්නේ නැත.

අන්තර්ජාතික ප්‍රජාවගෙන් බලපෑමක් එල්ල වන විට, පොදු සතුරා ඉදිරියේ තමන්ගේ දරුණුතම දේශපාලන ප්‍රතිවාදියා සමඟ එකතු වී, එක්සත්ව ක්‍රියා කිරීමේ වැදගත්කම ඉන්දියාව පෙන්වා දී තිබේ. 1994 වසරේදී එවකට අගමැති නරසිංහ රාඕ විපක්ෂ නායකවරයාව සිටි වාජ්පායි මහතා වෙත ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ගන්නා ලෙස ඉල්ලීමක් කළේය. එයට පසුබිම් වූ හේතුවක් තිබිණි. කාශ්මීර ප්‍රශ්නය පදනම් කර ගෙන පකිස්තානය විසින් ඉන්දියාවට විරුද්ධව යෝජනාවක් ගෙන එන ලදි. එය පහසුවෙන් පරාජය වන ලකුණු පෙනිණි. කාශ්මීර ප්‍රශ්නයේදී, එවකට සිටි විදේශ ඇමැතිවරයා වූ කුර්ෂීඩ් සමඟ විපක්ෂය එකට සිටින බව පෙන්වන්න සමත් විය. මානව හිමිකම් යෝජනාවෙන් ඉන්දියාව ජය ගත්තේය. පසුව එයින් දේශපාලන වාසි ගන්නට වාජ්පායි මහතා සූදානම් වූයේ නැත. ආපසු එන ගමනේදී ඔහු ජයග්‍රහණයේ සම්පූර්ණ වාසිය භුක්ති විඳින වරම විදේශ ඇමැතිවරයාට පවරා පසෙකට වූ බව ඉතිහාසය කියයි. එවැනි ශ්‍රේෂ්ඨ දේශපාලනයක් ශ්‍රී ලංකාවට නැත. මානව හිමිකම් යෝජනාව ගෙන එන ලද දවසේ සිට ආණ්ඩු පමණක් නොව, ඇමැතිවරු මාරු වන වාරයක් පාසා පවා ස්ථාවරය වෙනස් වී තිබේ. තත්ත්වය ව්‍යාකුල කර ගෙන ඇත.

පොදු සතුරා

පවතින ගෝලීය ව්‍යූහය දෙස බලා ගෞරවනීය තර්ක ඉදිරිපත් කරන්නට රටට නොහැකි ඇයි? පක්ෂ භේද පසෙකලා, ඉරාකය, ක්වේට් සහ දැන් ඇෆ්ගනිස්තානයේ සිදු වූ දේ ප්‍රශ්න කළ නොහැකි මන්ද? ත්‍රස්තවාදය අවසන් කළ පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර ගන්නා සේ අන්තර්ජාතික ප්‍රජාව බල කරමින් සිටී. එය අනතුරුදායක අදහසකි. ප්‍රකට අල්කයිඩා ප්‍රහාරයෙන් පසු අමෙරිකාව පාඩමක් ඉගෙන ගත්තේය. කොමිසමක් පත් කර, ආරක්ෂක දුබලතා සොයා බැලීය. එම කොමිසම ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් දේශපාලන පක්ෂ දෙක නියෝජනය කළ පස් දෙනෙකු බැගින් දහ දෙනෙක් විය. රාජ්‍ය ආරක්ෂාව හා බුද්ධි මණ්ඩල ගැන ගැඹුරෙන් සොයා බැලීය. එහි නිර්දේශ අනුව ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති හා පනත් සම්මත කර තිබේ. අමෙරිකාවේ විශේෂ පණතක් ඇත. එය ජීඅයි. යනුවෙන් නම් කර තිබේ. ලෝකයේ ඕනෑම රටක සටනකට යන ආරක්ෂක අංශවලට, පසු කාලයක මානව හිමිකම් හෝ වෙනත් කිසි ම චෝදනාවකින් නඩු පවරන්නට එයින් අවසර නැත. දූෂණ හෝ අක්‍රමිකතාවලට එකී පනතෙන් ආවරණයක් නැත. එහෙත් රට වෙනුවෙන් කැප වන සෙබළුන්ට ජාතියෙන් ආරක්ෂාව ලැබේ. ඉන්දියාව හෝ අමෙරිකාව හෝ හැසිරෙන ආකාරය සලකන විට, ශ්‍රී ලංකාව ක්‍රියා කරන ආකාරය ගැන සෑහීමකට පත් විය හැකි ද?

කුඩා රටක පැවැත්ම පාලනය කර බලවතුන්ගේ ග්‍රහණයට නතු කර ගැනීම, මේ මානව හිමිකම් යෝජනාවේ එකම අරමුණ වී තිබේ. මෙකී උත්සාහය පිටුපස පවතින සමාජ, දේශපාලන ව්‍යුහය තේරුම් ගැනීම වැදගත්ය. යුද විසඳුමක් කරා ශ්‍රී ලංකාව ගමන් කළේ ඉතා සාහසික මර්දනයකින් නොවේ. ආණ්ඩු ගණනක් ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කළේය. සම්මුතියකට ඇරියුම් කරන ලද බව මතක් කළ යුතුය. තිම්පු සාකච්ඡා, සර්ව පාක්ෂික සමුළු, සාම සාකච්ඡා අන්තර්ජාතික ප්‍රජාවගේ මැදිහත් වීම අවසානයේ දී, එවකට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස බලයට පත් වූ වහා දෙමළ ත්‍රස්තවාදීන්ට සාකච්ඡා සඳහා ඇරියුම් කළේය. සාමයට එන බව පෙන්වමින් යුද්ධයකට සූදානම් වූ ත්‍රස්තවාදය, පැරණි මඟ ගත් බව රහසක් නොවේ. ජනතා කැමැත්තෙන් බලයට පත් වන ආණ්ඩු අසරණ කරමින්, කෙළවරක් නැති මරණීය ප්‍රහාර එල්ල කළේය. රට බෙදා වෙනම දෙමළ රාජ්‍ය පාලනයකට යොමු වීම එක ම අභිලාෂය බව පෙනිණි. එක දිගට කරන ප්‍රහාර මඟින් හෙම්බත් වී සිටි ආණ්ඩුවට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම හැර අනෙක් මඟක් ඉතිරි වී නොතිබිණි. කොටියා ජාතික නායකයන් මරා දැමීය; ආගමික සිද්ධස්ථාන විනාශ කළේය; ආර්ථික මර්මස්ථාන බෝම්බ ගසා වැනසුවේය.

විශේෂ වාර්තාවක්

අවසානයේ මාවිල්ආරු සොරොව්ව වසා දැමීම හා කැබිතිගොල්ලෑව ප්‍රහාරය එහි උච්ඡතම මොහොත කැඳවීය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ආරක්ෂක අංශවලට ආත්ම ශක්තියක් ලැබිණි. මුළු ලෝකයම එරෙහි වන නමුත්, අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ආරක්ෂක හමුදාවෝ තේරුම් ගත්හ. එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ, වත්මන් ජනාධිපතිවරයා ත්‍රස්තවාදීන්ගේ අභිලාෂය හා අහිංසක ජනතාවගේ හැඟීම් ගැන මනා අවබෝධයක පසු විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සුවිශේෂ, නිර්භීත නායකත්වය අවසාන තීන්දුව ඉක්මන් කළේය. පැති කිහිපයකින් වට කර ප්‍රහාර එල්ල කෙරිණි. යාපනය ඇතුළු උතුරු නැඟෙනහිර විවිධ තැන්වල කොටු වී සිටි දෙමළ ජනයා ගලවා ගනිමින්, ඔවුන් හමුදා ආරක්ෂාව යටතේ නිදහස් ප්‍රදේශවලට ගෙන ගියේය.

අහිංසක ජනී ජනයාගේ මානව අයිතිවාසිකම් තහවුරු කර, රට සාමකාමී තැනකට කැඳවා තිබේ. මේ අභ්‍යන්තරය අන්තර්ජාතික ප්‍රජාවට වටහා දිය යුතුය. රට එකතු වී මෙකී සංකීර්ණ තත්ත්වය පහදා දීමට පියවර ගත යුතුව තිබේ. ත්‍රස්තවාදය අද බලපවත්වන ලද තැනක පැවැතියේ නම්, කොවිඩ් වසංගත මර්දනය හා එන්නත්කරණය පවා කර ගෙන යෑමට නොහැකි වන බව නිසැකය. 2012 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් ගැටලුව මුලින්ම සාකච්ඡා කළේය. 2014 වසරේ පැවැති විසි පස් වැනි සැසි වාරයේදීද, මානව හිමිකම් සාක්ෂ්‍ය විමසා බලා, විශේෂ වාර්තාවක් සකස් කරන ලද අතර, එය එම වසරේ සැප්තැම්බර් සැසි වාරයේදී අවධානයට ගැනිණි. 2015 වසරේ මෙරටින් පිටත්ව ගිය කණ්ඩායම වෙනස් තීරණයක් ගත් අතර, මානව හිමිකම් කවුන්සිලය හා ශ්‍රී ලංකාව එකතු වී නැවත සංහිඳියාව ඇති කරන හා යුද කාල සීමාව තුළ බරපතළ අපරාධ සිදු වී ඇත් නම් ඒ බව සොයා බලා වගකිව යුතු අය සොයා ගන්නා ඒකාබද්ධ එකඟතාවකට ගියේය. එය සම අනුග්‍රාහකත්වයක් සේ ප්‍රකාශයට පත් විය.

ජන මතය

දැනට පවතින සමාජ, දේශපාලන මුහුණුවර සහමුලින්ම අලුත්ය. යුද ජයග්‍රහණයෙන් පසු රාජපක්ෂ නායකත්වය ජනතාව ප්‍රතික්ෂේප කළේය. රට තුළ ගෙන ගිය දැවැන්ත මදවාදය එයට හේතු වූ බව සිහිපත් කළ යුතුය. සිය දුබලතාව වටහා ගත් මෙරට බහුතර ජනතාව, රට ජයග්‍රහණය කරා ගෙන ගිය රාජපක්ෂ කඳවුරට නැවතත් අලුත් වටයකින් අවස්ථාව පවරා ඇත. ජන මතය හැසිරී ඇති ආකාරය, ජිනීවා කවුන්සිලයට හොඳ උත්තරයකි.

රට තුළ පවතින සමාජ ව්‍යූහයට එපිටින් ලෝකයේ පවතින බලහත්කාරය පැවැත්විය හැකි ද? යන යුක්ති සහගත ප්‍රශ්නය මතු කරන්න අපට හැකි විය යුතුය. ශ්‍රී ලංකාවේ අභිමානය, ගෞරවය සහ අලුත් ආරම්භයක් වෙනුවෙන් ධෛර්යය උපදවන ආකාරයට පරිවර්තනය කර ගැනීමට අප සියලු දෙනාටම වගකීමක් තිබේ. ලෝකයේ අනෙක් රටක ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව හා ජනතාව ආරක්ෂා පරම වගකීමෙන් මෙපිට අපරාධයක් සිදු කර නැත යන්න අවධාරණය කරන්නට අපට නොහැකි වීම සෑහෙන ගැටලුවකි. එක්තරා ආකාරයකට ශ්‍රී ලංකාව බලවත් ජාතීන්ගේ ඉලක්කයක් වී තිබේ. මානව හිමිකම් චෝදනා එල්ල වන්නේ දියුණු වෙමින් පවතින රටවලට විරුද්ධවය. චෝදනාව ඉදිරිපත් කරන්නේ බටහිර රටවල්ය. අමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල ක්‍රියාකලාපවලට විරුද්ධව යෝජනා ඉදිරිපත් කරන්නේ නැත. නොබෝදා ඉරානයේ සිද්ධිය, ඇෆ්ගනිස්ස්තානය, ඉරාකය හෝ මැදපෙරදිග වෙනත් රටක කරන අමෙරිකන් මැදිහත් වීම් විභාග නොකරන හේතුව අබිරහසකි. මැදපෙරදිග ඉරානය හෝ සිරියාව වැනි රටවලට බලපෑම් කරන නමුත්, සවුදි අරාබිය, බහරේන් වැනි රටවල මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න විභාග නොකරේ. සවුදි අරාබිය හෝ බහරේන් අමෙරිකාවට විරුද්ධ නැත. මෙවැනි පසුබිමකට හේතු වන්නේ ඇයි? අප තුළ එකඟතාවක්, රට ඇතුළතින් එක මතයක් ඉදිරිපත් කළ හොත්, මේ චෝදනාවලට පහසුවෙන් මුහුණ දිය හැකිය. පැරණි යටගියාව අමතක කර, එක කණ්ඩායමක් වශයෙන් නැගෙන්නට, මෙරටේ අභිවෘද්ධිය තකන සියලු දේශමාමක බුද්ධිමතුන්ට පැහැර හැරිය නොහැකි වගකීමක් තිබේ.

සරත් නාගහගෙදර

නව අදහස දක්වන්න