මෙරට පැවැත්වෙන විශාලතම ඔන්ලයින් චෙස් ශූරතාවලිය අද | දිනමිණ

මෙරට පැවැත්වෙන විශාලතම ඔන්ලයින් චෙස් ශූරතාවලිය අද

ප්‍රින්ස් ගුණසේකර

බටහිර ආසියානු රටවල් 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බටහිර ආසියානු ඔන්ලයින් යොවුන් චෙස් ශූරතාවලිය අද සිට 20 දක්වා ටොර්නෙලෝ වේදිකාවේදී සංවිධානය කිරීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සූදානම් වෙයි. මෙය ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සංවිධානය වන දැවැන්තම ඔන්ලයින් චෙස් තරගාවලිය වේ.

ආසියානු චෙස් සම්මේලනයේ සහයෝගය ඇතිව සංවිධානය වන මෙය වයස අවුරුදු 8, 10, 12, 14, 16 සහ 18න් පහළ බාලක හා බාලිකා වශයෙන් පැවැත්වේ. ආසියානු චෙස් සම්මේලනය, බටහිර ආසියාවේ රටවල් ලෙස දකුණු ආසියාව, අරාබි සහ රුසියානු භාෂාව කතා කරන ආසියාවේ රටවල් මේ බටහිර ආසියානු රටවල් ලෙස වර්ගීකරණයට ඇතුළත්ව ඇත. මේ තරගාවලිය සඳහා සහභාගී වීමට රටවල් 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට වැඩි ප්‍රමාණයක් සිය අයැදුම්පත් දැනටමත් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා චෙස් සම්මේලන සභාපති ලක්ෂමන් විජේසූරිය මහතා පැවසීය.

ඉන්දියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 378 දෙනකුගෙන් යුත් විශාලතම කණ්ඩායම ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300කට වැඩි පිරිසක් සහභාගී වෙති. ඉරානය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 161ක්, කසක්ස්තානය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, ඕමානය, කුවේටය, පලස්තීනය, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් මේ තරගාවලිය සඳහා ලියාපදිංචි වී තිබේ. එක් ක්‍රීඩකයෙක් ලෝක චෙස් සම්මේලනය වන ෆිඩේ යටතේ ක්‍රීඩා කරයි.

මේ තරගාවලිය ස්විස් ක්‍රමය යටතේ වට 9කින් පැවැත්වෙන අතර, දිනකට තරග වට 3ක් පැවැත්වේ. අලුතින් අනුමත කරන ලද FIDE ඔන්ලයින් චෙස් රෙගුලාසි අනුගමනය කෙරෙන අතර, කාලය පාලනය කිරීම සෑම පැත්තකටම තත්පර 10ක වර්ධනයක් සහිතව මිනිත්තු 15ක ආරම්භක කාලයක් වේ.

සමාරම්භක උත්සවය හෙට පෙරවරු 11.00ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර, ආසියානු චෙස් සම්මේලනයේ සභාපති ෂෙයික් සුල්තාන් බින් කලීෆා අල් නේයාන් සමඟ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතය.

 

නව අදහස දක්වන්න