පාස්කු දා ප්‍රහාරය රටට එරෙහිව එන පාරාවළල්ලක් බවට පත් කර නොගෙන ප්‍රඥාවෙන් කටයුතු කළ යුතුයි | දිනමිණ

පාස්කු දා ප්‍රහාරය රටට එරෙහිව එන පාරාවළල්ලක් බවට පත් කර නොගෙන ප්‍රඥාවෙන් කටයුතු කළ යුතුයි

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි

පාස්කු දා ප්‍රහාරය රටට එරෙහිව එන පාරාවළල්ලක් බවට පත් කර නොගෙන ප්‍රඥා සම්පන්නව පරිණත ආගමික නායකයන් වශයෙන් මහා සංඝරත්නයත්, කතෝලික ආගමික නායකයන් සහ සෙසු ආගමික නායකයනුත් කටයුතු කළ යුතු බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ ප්‍රකාශ කරති.

උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ පසුගියදා (17) පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙණේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේ ද කීය.

"එල්. ටී. ටී. ඊ. නාම පුවරුව එදා දමිළ ජනතාවගේ බෙල්ලෙන් ගැලවුවා සේ අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී නාම පුවරුව මුස්ලිම් ජනතාවගේ බෙල්ලෙන් ගැලවීමේ වගකීම වත්මන් රජයට තිබෙනවා. මේ දිනවල ජාත්‍යන්තරයේ අපේ රට පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වෙනවා. රටට එරෙහිව මානව හිමිකම් සමුළුවේදී බරපතළ චෝදනා ඔවුන් එල්ල කරනවා. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළා කියන චෝදනාව ඔවුන් පෙර සිටම එල්ල කළා. වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බවට අලුත් චෝදනාවක් ද දැන් ඔවුන් එල්ල කරනවා. පැවති ත්‍රස්තවාදය විනාශ කර ජනතා අපේක්ෂා ඉටු කිරීම යුද අපරාධ ගණයට ගත නොහැකියි. එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවට විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා.ඒ මහතාට අප ප්‍රසංසා කරනවා. හැබැයි තවදුරටත් මේ සම්බන්ධව කටයුතු කළ යුතු බව පවසනවා. එය ආණ්ඩුවේ වගකීම.

මේ රටට ජාත්‍යන්තරයෙන් එන චෝදනාවලදී ඒවා ආණ්ඩුවට එරෙහිව පැමිණෙන චෝදනා ලෙස ලඝු කොට සිතා ඇතැමුන් නිහඬව ඉන්න ගතියක් අපට පෙනෙනවා. එම චෝදනා ආණ්ඩුවට එරෙහිව නොව රටට එරෙහිව එන චෝදනා බව අප කවුරුත් මතක තබා ගන්න ඕනෑ.

පාස්කු ප්‍රහාරය රාජ්‍ය තාන්ත්‍රික දුර්වලතා නිසා වළක්වා ගන්න නොහැකි වුණා. ඒ නිසා එම රාජ්‍ය තන්ත්‍රයේ සිටි පුද්ගලයන්ට දඬුවම් කළ යුතුයි කියන අදහසක් මේ වේලාවේ ජනිත වෙලා තිබෙනවා. ඇත්ත. රාජ්‍ය තන්ත්‍රයේ දුර්වලතා පාස්කු දා ප්‍රහාරය එල්ල වීමට හේතු වුණා. එය අප පිළි ගත යුතුයි. හැබැයි එයට 2015න් පසු ඇති වූ ආණ්ඩුව පමණක් නොවේ එයට පෙර මේ රටේ පැවති සියලු ආණ්ඩු වගකියන්න ඕනෑ. අන්තවාදය ක්‍රමානුකූලව පෝෂණය වී පාස්කු දා ප්‍රහාරය දක්වා වූ ආගමනයට සියලු දෙනාම වග කියන්න ඕනෑ. යම් යම් පුද්ගලයන් දුරදිග බලා කටයුතු නොකිරීම නිසා මෙයට ජාත්‍යන්තරය පවා අත ගැසීමට පටන්ගෙන තිබෙනවා. පාස්කු දා ප්‍රහාරයේදී අගතියට පත් වු බහුතරය කතෝලිකයන් බව ඇත්ත. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමට කාදිනල්තුමාට අයිතියක් තිබෙන බවත් ඇත්ත. ජනතාවට සාධාරණය ඉටු කිරීමට පෙනී සිටීමට එතුමාට ශුද්ධ අයිතියක් තිබෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටීම අප සියලු දෙනාගේම වගකීමක් ද වෙනවා. "

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න