ලොහාන්ට-ජගත්ට විනය ක්‍රියාමාර්ග ගත යුතු ද? | දිනමිණ

ලොහාන්ට-ජගත්ට විනය ක්‍රියාමාර්ග ගත යුතු ද?

සාකච්ඡා කිරීමට පොහොට්ටුවේ මධ්‍යම කමිටුව රැස්වෙයි

රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම කමිටුව ඉදිරියේදී රැස්වීමට නියමිතය.

මේ දිනවල ඉතාලියේ සංචාරයක නිරතවන පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ සිද්ධිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පොදුජන පෙරමුණේම ඇමැතිවරුන් දෙදෙනකුට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදු කොට ඒ පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගත යුතුද නැද්ද යන්න තීරණය කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිනමිණ‘ට ඊයේ (19) පැවසීය.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බීමතින් ඇතුළු වී සිරකරුවන්ට තර්ජනය කළේ යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී ඇති අතර

මාධ්‍ය හමුවක් කැඳවමින් සිය පක්ෂයේම කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු වන විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විවේචනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මේ දිනවල ඉතාලියේ සංචාරයක නිරතවන පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මධ්‍යම කමිටුව රැස්වීමට නියමිතය.

නෙරංජලා වික්‍රමසිංහ

නව අදහස දක්වන්න