හමුදාවේ ගල් කොරියකට කිඹුලාගල දුන්නාට ගම්මු කිපෙති | දිනමිණ

හමුදාවේ ගල් කොරියකට කිඹුලාගල දුන්නාට ගම්මු කිපෙති

ඓතිහාසික වටිනාකම සොයන තෙක් වැඩ නවතී

සීගිරිය සහ පිදුරංගල දර්ශනය වන මානයේ බස්නාහිර දෙසින් අවුඩංගාව ප්‍රදේශයේ පිහිටා ඇති කිඹුලාගල නම් වූ ගල් රෑන යුද හමුදාවේ ගල් කොරියකට දීම සම්බන්ධයෙන් ගම්මුන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතී. මේ ස්ථානයේ පිහිටි ගල් රෑන කැඩීම සඳහා යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ස්ථානය පරීක්ෂා කොට ප්‍රාදේශීය ලේකම් ලේකම්වරයා ඇතුළු කණ්ඩායම ද ස්ථාන පරීක්ෂා කොට ඇතැයි ගම්මුන්ට ලද තොරතුරක් මත පසුගියදා ගම්මුන් පිරිසක් විහාරාධිපති හිමියන් ද සමඟ එම ස්ථානයට පැමිණ මේ ඓතිහාසික වටිනාකමකින් යුත් ඉතා මනරම් පරිසරයක පිහිටි කිඹුලාගල කඩා ඉවත් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවට පවසා සිටියහ.

සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ මහජන නියෝජිතයන් මෙන්ම වෙහෙර විහාරස්ථාන නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේ, ගොවි සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරමින් පිරිසක් පැමිණ මේ ගල් රෑන පෙන්වමින් කියා සිටියේ 2010 වසරේද මේ ආකාරයටම ඉතා සූක්ෂ්මව මේ ගලේ කොටසක් ගල් කොරියකට දී කඩා දමා ඇති බවටය. ඒ කාලයේදී ද ගම්මුන් දැඩි විරෝධය ප්‍රකාශ කොට එම ගල් කැඩීම නවතා දැමූ බවත් අනතුරුව නැවතත් යුද හමුදාවේ අවශ්‍යතාවක් මත මේ ගල කැඩීමට හමුදාවට ලබා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි අවුඩංගාව ධර්මවර්ධනාරාමාධිපති ඇස්වත්තේ උජිත හිමියෝ පවසා සිටියහ.

මේ ස්ථානයට පැමිණි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නාවුල අඩවි වන නිලධාරී ධම්මික ප්‍රියන්ත මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ යුද හමුදාව මඟින් යුද හමුදාවේ කළුගල් අවශ්‍යතාවකට මෙය කැඩීම සඳහා අවසර ඉල්ලා තිබෙන බවය.

සීගිරිය විශේෂ

 

නව අදහස දක්වන්න