කෝටි 157ක් වටිනා හෙරොයින් කිලෝ 180ක් අන්තර්ජාතික මුහුදේදී අත්අඩංගුවට | දිනමිණ

කෝටි 157ක් වටිනා හෙරොයින් කිලෝ 180ක් අන්තර්ජාතික මුහුදේදී අත්අඩංගුවට

රුපියල් මිලියන 1575ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 180කට ආසන්න තොගයක් සහ විදේශීය ජාතික සැකකරුවන් 9 දෙනකු නාවික හමුදාව මඟින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ අන්තර්ජාතික මුහුදේ කළ මෙහෙයුමකින් අනතුරුව පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හෙරොයින් තොගය සහ සැකකරුවන් රැඟත් විදේශීය ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් ගොඩ බිමට රැගෙන ඒමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අගෝස්තු මස 30 වන දින සිට මේ දක්වා සිදු කරන ලද ප්‍රධාන මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් පමණක් අත්අඩංගුවට ගෙන ඇති හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 07කට ආසන්න වේ.

පෙරේදා (18) අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 150ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 170 ග්‍රෑම් 866ක පමණ (ඇසුරුම් බර සහිතව) ප්‍රමාණයක් සහ අබිං නමැති මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 306ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. අනතුරුව, එම විදේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. එලෙස අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පෙරේදා (18) උදෑසන ශ්‍රී ලංකා නාවික සිදුරළ නෞකාවේ ආරක්ෂාව යටතේ කොළඹ වරාය වෙත මෙලෙස රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු‍ කෙරිණි.

බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදවනු ලබන ධීවර යාත්‍රාවන් වෙත ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා අත්අඩංගුවට ගත් මෙම විදේශීය බහු දින ධීවර යාත්‍රාවද ජාත්‍යන්තර මුහුදේ ස්ථානගතකර තැබීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සැළසුම් කරන්නට ඇතැයි සැක‍ කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විදේශ ජාතික සැකකරුවන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැති අතර, අත්අඩංගුවට ගත් හෙරෝයින් මත්ද්‍රව්‍ය, විදේශීය ජාතික සැකකරුවන් සහ විදේශීය බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතය.

 

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න