සබරගමුව එළියයි පෙරහැර දාට | දිනමිණ

සබරගමුව එළියයි පෙරහැර දාට

අපේ රට තරම් සංස්කෘතික වශයෙන් ප්‍රාදේශීය ව්‍යවහාර විචිත්‍රත්වයක් දක්නා ලැබෙන ලොව අන් දේශයක් වේ දැයි සිතෙන තරම්ය! නුවර කලාවියේ එක් සමාජ සම්ප්‍රදායකි. පානම් පත්තුවේ තවත් ආරකි. ඌවේ, කන්ද උඩරට වෙනස් වෙනස් සිරිත් විරිත්ය. පහත රට වෙනම වහරකි. ඒ සියල්ල අතර ‘සබරගමුව’ හෙවත් ‘සපරගමුව’ ප්‍රකට කරන්නේ ඊටම ආවේණික මුහුණුවරකි. මේ සඳහා බෙහෙවින්ම බලපා ඇත්තේ එහි භූ වපසරිය තුළ ස්ථාපිත විශ්ව බෞද්ධ උරුමයක් වන ‘ශ්‍රීපාදය’ හා බද්ධ වූ සංස්කෘතික ධාරාවේ සහ මෙපෙදසටම අනුහුරු වූ මැණික් කර්මාන්තය ඇසුරු කර ගත් ජන සම්ප්‍රදායේ සම්මිශ්‍රණයයි. ඒ සංකලනයට හොඳම නිදසුනක් මෙලිපියට සිරස සදන කාව්‍ය පාදය ගැබ් වූ පතල් කවියේ කැටිව ඇති සෙයකි:

සබරගමුව එළියයි පෙරහැර දාට

කබරගොයින් එන්නේ වැහි පොද දාට

දබර මඩුව පාළුයි අප නැති දාට

දබරේ ගල් වෙයන් උඩ එන පෝලි මට

මෙහි වර්ණිත ‘පෙරහැර’ නම් අන් කිසිවක් නොව; සපරගමුවේ මහා කලා මංගල්‍යය වන රත්නපුර මහ සමන් දේවාලයේ ඇසළ මහ කාර්තියයි. මෙවර පෙරහර මාලාවේ කූටප්‍රාප්තිය වන අවසන් රන්දොලි පෙරහර වීදි සංචාරය කරන අද (20) සපරගමු මහ සමන් දෙවොලටම ආවේණික තේවා වත් පිළිවෙත් සමුදාය මතු පරපුර උදෙසා සටහන් කර තැබීමට හොඳම දවස යැයි හඟිමු.

දෙවොල් වත් පිළිවෙත්

ඕනෑම ස්ථානයක කාලයක් තිස්සේ කටයුතු සිදු වන විට, එහි කිසියම් ක්‍රමවත් භාවයක්, රටාවක්, රීතියක් ඇති වීම ස්වභාවයයි. ආගමික පූජනීය ස්ථානයකදී මේ තත්ත්වයේ වඩාත් ක්‍රමානුකූල භාවයක් දක්නට පුළුවනි. මිනිසුන්ගේ හද පත්ලෙන්ම නැඟෙන භක්තියත් ගෞරවයත් ඊට නිසැක වශයෙන්ම හේතු වේ. විශේෂයෙන් පූජනීය ස්ථානවල සිදු කැරෙන එවන් ක්‍රමානුකූල වත් පිළිවෙත් සඳහා ‘තේවාව’, ‘මුරය’ බඳු විශේෂ නාම පද යෙදෙනු දකින්න පුළුවනි. සපරගමු මහ සමන් දේවාලය සලකන කල, එහි ඉටු වන වත් පිළිවෙත් මූලිකව කොටස් තුනක් යටතේ හඳුනා ගත හැකිය. එනම්: දෛනික, සති පතා හා වාර්ෂික වත් පිළිවෙත් වශයෙනි.

දෛනික තේවා: සපරගමු මහ සමන් දේවාලයේ දිනපතා ප්‍රධාන තේවා මුර හයක් පැවැත්වේ. පහත පරිදිය: 1. අලුයම්/ අලිඅඳුර තේවාව (පෙ:ව:5), 2. හිල්මේ තේවාව (පෙ:ව:7), 3. මහ තේවාව (පෙ:ව:9), 4. බොලපැන්/ දියවඩන තේවාව (ප:ව:6), 5. හැන්දෑදුර තේවාව (ප:ව:7), 6. මහ තේවාව (ප:ව:9). මෙකී ප්‍රධාන තේවාවලට අමතරව බැතිමතුන්ගේ අවශ්‍යතා අනුව දිනපතා උදේ 7 සිට දහවල් 12 දක්වාත්, හැන්දෑවේ 6 සිට රාත්‍රී 9 දක්වාත් කපු මහතා විසින් යාතිකා සිදු කෙරේ.

සති පිළිවෙත්: මෙහිදී සති පතා කෙරෙන තේවා වශයෙන් සැලකෙන්නේ බදාදා සහ සෙනසුරාදා යන කෙම්මුර දිනවලදී පැවැත්වෙන පිළිවෙත්ය. වාර්ෂික වතාවත්: සමන් දේවාලයේ වසරක් පාසා සිදු කැරෙන පිළිවෙත් සතරකි. ප්‍රධාන කාර්තු සතරෙහි සිදු වන ඒ ‘කාර්ති’ මංගල්‍ය සතර මෙසේ දැක්විය හැකිය:

1. දුරුතු මහ කාර්තිය/ අලුත් සහල් මංගල්ලය

2. බක් මහ කාර්තිය/ නානුමුර මංගල්ලය

3. ඇසළ මහ කාර්තිය/ පෙරහැර මංගල්ලය

4. ඉල් මහ කාර්තිය/ වර්ෂාවසාන මංගල්ලය

දුරුතු මහ කාර්තිය: නින්ද ගම්වල කුඹුරු අස්වැන්න හාහාපුරා කියා දෙවියන් උදෙසා පූජා කිරීම පිණිස පැවැත්වේ. මෙහිදී එගොඩ මෙගොඩ දෙබෙත්මේ මොහොට්ටාලවරුන් විසින් ඇතකු පිටින් දේවාලය වෙත ගෙන එනු ලබන අස්වැන්න දේවාල භූමියේදී වේළා සහල් කර, කිරිබතක් පිස, පළමුව බුදුන් උදෙසාත් දෙවනුව දෙවියන් උදෙසාත් පූජා කිරීම සිදු වේ. මේ චාරිත්‍රයේදී සහල් නැළියක බත්, කෙසෙල් ගෙඩි සතක්, හකුරු කැබැලි සතක්, හත්මාළුවක් යන මේ දැයින් සමන්විත ‘පස් පැණිත’ මුට්ටියක් දෙවියන් උදෙසා පූජා කිරීම විශේෂය.

බක් මහ කාර්තිය: දේවාභරණ සහිත පෙරහරක් පස් දිනක් තිස්සේ උඩ මළුවේ පැවැත්වීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. දේවාභරණ සියල්ල පිරිසුදු කිරීම සිදු වන හෙයින් නානුමුර මංගල්ලය යැයිද කියනු ලැබේ.

ඇසළ මහ කාර්තිය: සපරගමු මහ සමන් දේවාලයේ සිදු කෙරෙන සුවිශේෂතම කටයුත්ත වාර්ෂික ඇසළ මහෝත්සවයයි. මෙහි සම්පූර්ණ තතු විත්ති මතු දැක්වේ.

ඉල් මහ කාර්තිය: බක් මහ කාර්තියේදී සිදු කෙරෙන වතාවත්වලට සමානය.

බැතිමත් ඇදහිලි

මෙකී ප්‍රධාන තේවාවලට අමතරව, බැතිමතුන්ගේ විශ්වාසයන් නිසාම සමන් දේවාලයේ සිදු කෙරෙන විශේෂ වත් පිළිවෙත් සමහරක් ද දක්නට පුළුවනි. මෙරට සිංහල බෞද්ධයන්ගේ අලුත් අවුරුද්ද වශයෙන් සැලකෙන්නේ බක් මාසය වුවත්, ජනවාරි පළමු වැනිදා ද වැඩිපුර ආගමික වතාවත්හි යෙදීමේ නැඹුරුවක් සපරගමු වැසියන් කෙරෙන් දැක ගත හැකිය. ඒ අනුව මෙදින දේවාල භූමිය පිරීතිරී යන්නේ දේවාලය අවට වැසියන්ගෙන් පමණක් නොවේ.

සමන් දේවාලය ජන ජීවිතය හා අවියෝජනීය ලෙස බද්ධ වී ඇති තවත් අවස්ථාවක් ලෙස ළදරුවන් දොරට වැඩීම සඳහා දේවාලය වෙත කැඳවා ගෙන ඒම දැක්විය හැකිය. මෙහි ‘දොරට වැඩීම’ නම් ළදරුවකු හා හා පුරා කියා ගෙයින් පිටස්තර තැනකට කැටුව යෑමයි. මෙය ළදරුවා සමාජගත කිරීම සංකේතවත් කිරීමක් ලෙස ද සැලකීමට පුළුවන. සපරමුවේ මව්පියන් ඊට සුදුසුම තැන සේ දකින්නේ සමන් දේවාලයයි.

අලුත් රියක් මිලට ගන්නෝ ද පළමුවෙන්ම සමන් දේවාලයට ගොස් පඬුරක් ගැටගැසීමට අමතක නොකරති.

මෙපෙදෙසේ ප්‍රධාන ජීවනෝපායක් වන පතල් කැපීම ගැපීම නොහොත් මැණික් ගැරීමේදී පළමුවෙන්ම ඉටු කරන කාර්යයක් වන්නේ සමන් දෙවියන් උදෙසා බාරයක් වීමය. එමඟින් අන්තරාවකින් තොරව වැඩි වාසි ලද හැකි බවට තවමත් පවතින විශ්වාසය, මේ දෙවොල බිහි වීමේ ඉතිහාසය ද අපට සිහිපත් කරවයි. ක්‍රිස්තු වර්ෂ 1250දී පමණ එවකට රජ කල දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි:ව: 1236-1270) රජුගේ ඇමැතිවරයකු වූ ආර්යකාමදේව මෙපෙදෙසට පැමිණියේ රජු වෙනුවෙන් මැණික් සෙවීමටය. වත්මන් මහ දෙවොලේ උපත ඔහු එවකට මෙහි වූ ‘සමන් වෙහෙරට’ වූ බාරය ඔප්පු කිරීමයි.

පෙරහර මංගල්‍යය

පර සතුරු උවදුරු එල්ල වීමත් සමඟ විවිධ ආරක්ෂිත ස්ථානයන්හි සඟවා තබන ලද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පළමුවන රාජසිංහ (ක්‍රි:ව: 1581-1592) රජ සමය වන විට පැවතියේ කුරුවිට දෙල්ගමු වෙහෙරේය. දළදා වහන්සේ වැඩමවා සමන් දේවාලයේ වාර්ෂික පෙරහරක් කරවීමට මේ රජු කටයුතු කළහයි පැවසේ.

පෘතුගීසීන් විසින් කරන ලද දරුණු විනාශයෙන් පසු දේවාලය පිළිසකර කරවූ දෙවැනි රාජසිංහ (ක්‍රි:ව: 1635-1687) රජු කොට්ටිඹුල්වල පන්සලෙන් භික්ෂූන් වහන්සේ වැඩමවා බණ පිරිත් පවත්වා යළිදු දළදා පෙරහර පැවැත්වූ බව ‘ශ්‍රී සුමන රාම සැර සිරිත’ නම් මූලාශ්‍රයක සඳහන් වෙතැයි කියති. එවක් පටන් අඛණ්ඩව සපරගමු මහ සමන් දේවාලයේ පෙරහර වාර්ෂිකව පැවැත්වෙන බව ද පැවසේ.

පෙරහර කටයුතු ආරම්භ වන්නේ කප සිටුවීම පිණිස ශුභ මුහුර්තියක් පිළියෙල කිරීමත් සමඟිනි. අලුයම් කාලයට යෙදෙන මේ නැකැත් වේලාවේදී, මීටරයක් පමණ දිගැති රුක්අත්තන ලීයක්, සිදුරු කරන ලද ගල් පුවරුවක සිටුවා, එහි පොල් මලක් බැඳ, පොල් ගෙඩි දෙකක් එල්ලනු ලැබේ. මේ රුක්අත්තන ලීය කලින් දින රෑ කපා, සිංහාසන මණ්ඩපයේ (රිට්ටා ගෙයි) තැන්පත් කර තබනු ලැබේ. එතැන් සිට කප සිටුවන තැන තෙක් වියන් යටින්, හේවිසි භේරි තූර්ය නාද මධ්‍යයේ එය රැගෙන එනුයේ දේවාලයේ කපු මහතා විසිනි. ඒ සමඟ අලුත් වළන් කදක් ඔසවා ගත් කුඹල්කරුවෙක් ද පැමිණේ.

කප සිටුවූ දින සිට දවස් පහක් පුරා මේ කුඹලාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන පෙරහර හැඳින්වෙනුයේ ‘කුඹල් පෙරහර’ නමිනි. කුඹල් පෙරහර නිමා වීමත් සමඟ ඇරඹෙන්නේ ‘වීදි පෙරහර’යි. වීදි පෙරහර ද දවස් පහක් පුරා පැවැත්වේ. එහි විශේෂත්වය වන්නේ එක් රැයකට දෙවතාව බැගින් එය වීදි සංචාරය කිරීමයි. මෙනිසාම එය ‘දෙවේලේ පෙරහර’ නමින් ද හැඳින්වේ. ‘වීදි පෙරහර’ යන නම මෙයට ලැබු‍ණේ බඩල් වීදිය, ඌව වීදිය, ගම්පහේ වීදිය සහ හුනුවල වීදිය යන වීදි සතරේ එය ගමන් කරන බැවිනි. මේ පෙරහරේ ඇතකු පිට තබා ගත් සමන් දෙවි ආභරණ ද සමන් දෝලිය හා පත්තිනි දෝලිය ද වැඩමවනු ලැබේ.

වීදි පෙරහර අවසන් වූ පසු දින රාත්‍රියෙන් ඇරඹෙනුයේ ‘මහ පෙරහර’ හෙවත් ‘කුඹල් පෙරහර’ යි. එයට පෙර කළ යුතු වතාවත් රාශියකි: හේවිසි පූජාව (හැන්දෑදුර තේවාව), බොලපැන් තේවාව (දියවඩන තේවාව), දුම් තේවාව, ආලත්ති තේවාව, හඳුන් කිරිපැන් තේවාව ආදි වශයෙනි. ඉක්බිති පිරිත් නිලය භාර ස්වාමීන් වහන්සේ රැස්ව පිරිත් සජ්ඣායනා කරති. අනතුරුව වාහල බෙර වාදනය කරනු ලබන අතර, එය මහ පෙරහරට සහභාගි වන සියලු ශිල්පීන්ට හට පෙරහර රාජකාරි සඳහා සූදානම් වන ලෙස කරනු ලබන හැඟවීමකි. නියමිත සුබ මොහොත එළඹි විට නිලය භාර ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් ඉටු කරති. මේ වන විට බස්නායක නිලමේ ඇතුළු සියලු රාජකාරි භාර නිලමේවරු, මොහොට්ටාලවරු, ශිල්පීහු, අලිඇත්තු පෙරහරේ ගමන් කිරීම සඳහා පෙළගැසී සිටිති.

චාරිත්‍රානුකූලව දළදා කරඬුව රන්සිවි ගෙයක තබා ඇතු පිට තබනු ලැබේ. එය නිම වීමත් සමඟ පෙරහර පිටත් වීම සඳහා අණ දෙන වෙඩිල්ල පත්තු කරනු ලැබේ. එවිට මුලින්ම පෙරහරේ දළදා පෙරහර කොටස ගමන් අරඹන අතර, ඉක්බිති පත්තිනි පෙරහරත්, අනතුරුව සමන් පෙරහරත් ගමන් කිරීම සිරිතයි. එහි බිසෝ පෙරහර, සමන් දෙවි රජු පෙරහර, කුමාර පෙරහර යනුවෙන් කොටස තුනකි.

පෙරහර පෙළගැස්ම

පෙරහරේ මුලින්ම ගමන් ගනුයේ කසකරුවෝ සහ ගිනි බෝලකරුවෝය. ඉනික්බිති සපරගමුවටම ආවේණික ‘මහ බඹා’ ගමන් කරවන අතර, ඊට පසුපසින් පෙරමුණේ රාල හා හේවිසි වාදකයන්, නැට්ටුවන් සහ අලිඇතුන් පෙරටු කරගත් දළදා කරඬුව රැගත් හස්තියා ගමන් ගනී.

අනතුරුව පත්තිනි පෙරහරේ කාන්තාවන් සුදු වත් හැඳ දෝලාව අසලින් ගමන් කිරීම සිරිතයි. සමන් දෙවි පෙරහරේ දේව ආභරණ, දෝලාව, හා කුමාර රථය ආදිය රැගෙන යනු ලබන අතර, හේවිසි වාදකයෝ හා සබරගමු නර්තන ශිල්පීහු මෙහිදී ශිල්ප දක්වති. පෙරහර අවසන පූර්ණ නිල ඇඳුමින් සැරසුණු බස්නායක නිලමේ ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය තේජස්වි විලාසයෙන් ගමන් ගනිති.

පෙරහර ගමන් මඟ සලකන කල්හි: ප්‍රථමයෙන් කුඹල් වීදියෙන් උඩ වීදියට එළඹ, ගම්පහේ වීදියට පැමිණ වීදි සංචාරය කරන අතර, ශුභ මුහුර්තිය උදා වන තුරු දේවාභරණ රිට්ටා ගෙයි තැන්පත් කරනු ලැබේ. මේ අවස්ථාවේදී පෙරහර ගිමන් නිවන අතර, වෙඩිල්ල පත්තු කිරීමෙන් ලැබෙන සංඥාවෙන් අනතුරුව නැවත ගමන් ආරම්භ කරයි. සුබ මොහොතින් පෙරහර ගෙවැදීමෙන් ඉක්බිති දායක වූ සියලු පාර්ශ්වයන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනය කෙරේ.

දවල් පෙරහර

රන්දොලි පෙරහරට පසු දින ‘දහවල් පෙරහර’ යි. මෙහිදී දේවාභරණ සහිත දෝලාව ද රැගත් දර්ශනීය පෙරහර සමන් දේවාලයේ සිට කොටාඹේ තොට දක්වා ගමන් ගනී. අනතුරුව අඟුල්වලට නැඟ, කළු ගඟ දිගේ ඉහළට ගොස් රත්මලේඇල්ල නම් ස්ථානයට කරා ළඟා වෙයි. මේ කටයුත්තට කපු මහතා, හේනෙමාමා, පේළි විදානේ යන අය සහභාගි වීම අනිවාර්යය. කිසිවකුටත් නොපෙනෙන ලෙස අඟුල වටා පිරුවට ඇද අවුරා, දිය කැපීම සිදු කරන අතර, මේ අවස්ථාවේ සුදු රතු මල් ගඟ දියේ පා කර හරිනු ලැබේ. සුබ මොහොතින් දිය කපා ඒ ජලය කෙණ්ඩියකට පුරවා ගන්නා අතර, බස්නායක නිලමේ ප්‍රථමයෙන් පඬුරු පූජා කිරීම සිරිතයි. ඉක්බිති රැස්ව සිටින සියලු බැතිමතුන් පඬුරු පුදන අතර, කැවුම් කිරිබත් සංග්‍රහයන් භුක්ති විඳ ගඟේ පෙරහර යළි ගමන් අරඹයි. කොටාඹේ තොටින් ගොඩ බැස ගන්නා පෙරහර නැවතත් සමන් දේවාලය බලා ගමන් ගනී. මෙලෙස පෙරහරින් ගෙනෙනු ලබන නැවුම් පැන් කෙණ්ඩිය දේවාලයේ තැන්පත් කරනු ලැබේ. පුරාණ කාලයේ නම් මින් අනතුරු සපරගමු නර්තන සම්ප්‍රදායටම ආවේණික ‘දිග්ගෙයි නැටුම’ නම් විශේෂිත රංගනයක් පැවැත්වුණු බව කියතත්, කලක පටන් එය අභාවයට ගොස් තිබේ. පෙරහර කටයුතු ඉඳුරාම අවසන් වනුයේ ගරා යකුම නැටීමෙනි.

ශ්‍රී ලංකාව පුරා නන් දෙස පැවැත්වෙන විවිධ සංස්කෘතික උත්සව අතරට විසල් සෞන්දර්යයක් එක් කරන සපරගමු මහ සමන් දේවාලයේ ඇසළ මහ කාර්තිය එලෙස නිමාවට පත් වෙයි. ඒ,

සම්බුද්ධ පාද වරලඤ්චන සෝභිතස්මිං

වාසෝ සමන්තගිරි මුද්ධනි දේවරාජා

පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාභිධානෝ

පාලේතු මං සත්තසාස හිතා වහන්තු

යනුවෙන්, සමන්තකූටාධිගෘහීත ශ්‍රී සුමන සමන් නාමෝපලක්ෂිත සෝතාපන්න බෞද්ධ දේවරාජයාණන්ට සියලු පින් පෙත් අනුමෝදන් කරවමිනි.

ජයත් පියදසුන්

ඡායාරූප: රන්දික හපුතන්ත්‍රී

අසංක සම්පත් කලවාන සහ

අන්තර්ජාලය ඇසුරෙනි

නව අදහස දක්වන්න