එන්නත්කරණයට හරස් වන ජන සතුරෝ | දිනමිණ

එන්නත්කරණයට හරස් වන ජන සතුරෝ

මේ ගත වෙමින් ඇත්තේ ලොව සෑම රටකටම අඩු වැඩි වශයෙන් අසීරුතා දැනෙන අභියෝග සමයකි. එක් අතකින් ගෝලීය වසංගතයක් පාලනය කිරීමට සිදුව ඇති අතර, අනෙක් අතට එකී වසංගතය මඟින්ම ඇති කළ බලපෑම් කළමනාකරණය කිරීමට ද සිදුව ඇත. කොවිඩ් ගෝලීය වසංගතයක මුහුණුවරින් මෙන්ම ජාතික ව්‍යසනයක ස්වරූපයෙන් ද රටවලට දැනෙමින් තිබේ. අභියෝග යනු මඟ හැරිය යුතු ඒවා නොව, මුහුණ දී ජය ගත යුතු ඒවාය. රටක් ලෙස අප ද වසංගතයේ අභියෝගය ජය ගැනීම සඳහා කැප වන සමයක් අපි පසු කරමින් සිටිමු. එහිදී අප සිටින්නේ කොතැන ද? අර්බුද සමයක බැහැරින් තැබිය යුතු පටු දේශපාලන මතිමතාන්තර පමණක් මුල් කොට ගත්, රට අසාර්ථක වීමේ සිහිනය දකින එය ප්‍රාර්ථනා කරන සහ ඒ වෙනුවෙන් වැඩ කරන පාර්ශ්ව සෑම විටම පෙන්වා දීමට වෑයම් කරමින් සිටින්නේ, අප සිටින්නේ පහළම බවය. එහෙත් ඇත්ත එය ද? ඇත්ත දැන ගැනීමට නම් කවුරුන් වුව ද කළ යුතු වන්නේ ලෝක තත්ත්වය දෙස හා රට දෙස නිදහස් විවෘත මනසකින් බැලීමය. මිථ්‍යාව වෙනුවට යථාර්ථය දෙසට හැරීමය.

එන්නත්කරණ ඉලක්ක

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ලෝකය දැනට හඳුනා ගෙන ඇති හොඳම විසඳුම එන්නත්කරණයයි. වසංගතය පරාජය කළ බවට ලෝකයට සතුටු විය හැකි වන්නේ සෑම රටක්ම තම එන්නත්කරණ ඉලක්ක සපුරා ගැනීමෙනි. එසේ වුව ද එය සිතන තරම් පහසු නැත. එන්නත් නිපදවන සහ ධනවත් රටවලට එය එතරම් අභියෝගයක් නොවුණ ද ලොව අති බහුතරයක් සෙසු රටවලට එය විශාල අභියෝගයකි. සෑම රටකටම එන්නත් ලැබෙන බවට සහතික කරමින් එන්නත් සමානාත්මතාවක් උදෙසා ක්‍රියා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා අභියෝගයකි. අප්‍රිකානු රටවල එන්නත්කරණය 2%ක් වැනි මට්ටමක තිබියදී මේ වසර අවසන් වන විට එන්නත් නිපදවන හා ධනවත් රටවල් සතුව අතිරික්ත මාත්‍රා බිලියන ගණනක් තිබෙනු ඇතැයි ගණනය කර තිබේ. එන්නත් නිපදවන රටවල් විසින් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට දෙන පරිත්‍යාගවලට අමතරව අති බහුතර අවශ්‍යතාව මුදල් ගෙවා ගත යුතුය. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාව ලොව හොඳින්ම එන්නත්කරණ ඉලක්ක සපුරා ගනිමින් රටවල් දහය අතර සිටී. ඉන් රටවල් පහක්ම එන්නත් නිපදවන රටවල්ය.

අපේ රටේ ජනගහනයෙන් එන්නත් මාත්‍රා දෙකම ගෙන ඇති සංඛ්‍යාව කෝටිය ඉක්මවා ඇත. එනම් එන්නත්කරණය සියයට පනහක් ඉක්මවා තිබේ. මෙය අභියෝගය ජය ගැනීම සඳහා පසු කළ යුතු කඩයිම් සාර්ථකව පසු කිරීමකි. මේ ඉබේ ළඟා වූ දෙයක් නොවේ. පළමුව රටට අවශ්‍ය එන්නත් සපයා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් දරන ලද ප්‍රයත්නයයි. මනා රාජ්‍ය තාන්ත්‍රිකභාවයකින් ක්‍රියා කරමින් රටේ ජනතාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, එන්නත් නිපදවන රටවල්, මිත්‍ර රටවල් ආදි අදාළ නොයෙක් පාර්ශ්ව සමඟ කටයුතු කරමින් ඒ එන්නත් සපයා ගැනීමට එතුමාට සහ රජයට හැකි විය. එය සිදු වූයේ 'එන්නත් එන්නැතැයි' ඇතැම් පාර්ශ්ව ප්‍රචාර දියත් කරන අතරතුරේය. මේ වන විට දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත් වර්ග පහක්ම මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළට ඇතුළත්ය. එලෙස සපයා ගත් එන්නත් ජනතාවට දීමේදී සෞඛ්‍ය අංශ, ආරක්ෂක හමුදා හා ඊට සහාය දුන් පරිපාලන තන්ත්‍රය ඇතුළු අදාළ අංශවල කැප වීම වෙනුවෙන් ප්‍රණාමය හිමි වේ. දිවා රෑ නොබලා වෙහෙසෙමින්, අවදානමට මුහුණ දෙමින් දරන ලද ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵල ගැන ඒ සෑම දෙනෙකුටම සතුටු විය හැකිය.

මිථ්‍යා මත

රටට එන්නත් තොග ලැබෙන විට එන්නත් ගැන නොයෙක් අසත්‍ය ප්‍රචාර, මිථ්‍යා මත සමාජගත කිරීමට දරන ලද ප්‍රයත්නය මේ දිනවල යළිත් දැක ගත හැකිය. ඒ වයස අවුරුදු 20-29 කාණ්ඩය එන්නත්කරණය

ඇරැඹීමත් සමඟය. මේ වයස් කාණ්ඩයට වඩාත් සංවේදී කාරණයක් මෙවර පෙරට දමා ඇත. අපේ රටේ තරුණ ප්‍රජාව බුද්ධිමත්ය. කවුරුන් හෝ කියන දෙයක් බාර ගැනීම වෙනුවට එන්නත්කරණය පිළිබඳ ලොව දැනට දන්නා තොරතුරු මෙන්ම අත්දැකීම් ඇසුරින් වුව ද සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකියාව තිබේ. එපමණ වෙහෙස නොවී සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපැදීම ද කළ හැකිය. අන් සියල්ලට පළමුව වැදගත් වන්නේ ජීවිතය රැක ගැනීමය. තීරණය ගැනීමට ඕනෑම අයකුට නිදහස තිබේ. සිහි නුවණින් විමසා බැලීම තම තමන්ගේ කාර්යයකි. එන්නත්කරණය, ලොක්ඩවුන් කිරීම ආදි වසංගත පාලන පියවර සමඟ දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ මෙන්ම මරණ සංඛ්‍යාවේද අඩුවක් දැකිය හැකිය. එය එලෙසින්ම පහළට ගැනීම සඳහා ජනතාව වගකීමෙන් හැසිරීම ද විය යුතුමය. මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ අතරින් සියයට හැත්තෑ පහක් පමණ කිසිදු කොවිඩ් එන්නතක් නොගත් අය අතුරින් බව සෞඛ්‍ය අංශ වාර්තා කර ඇත. තවත් සියයට විස්සක් පමණ එක් මාත්‍රාවක් පමණක් ගත් අයයි. මරණයට පත්ව ඇති සෙසු අය ද විවිධ රෝග තත්ත්වවලින් සහ සංකුලතාවලින් පෙළෙමින් සිටි අයයි. එන්නත් ගෙන, සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් පිළිපදිමින්, අසීරුවෙන් වුව ද යම් යම් අපහසුතා දරා ගනිමින් මේ කාල සීමාව ගත කිරීමට අප සමත් වන්නේ නම් වසංගතය පාලනය කිරීම කළ නොහැක්කක් නොවන බව පෙනී යා යුතුය.

සියල්ල සම්පූර්ණය, සියල්ල ප්‍රශස්ත අයුරින්ම ඉටු වන්නේය කියා කිසිවකුත් නොකියනු ඇත. මන්ද යත්: මෙවැනි තත්ත්වයක් යටතේ අතපසු වීම් හා පසුබෑම් ද විය හැකි බැවිනි. එහෙත් සමස්ත චිත්‍රය ඉතා පැහැදිලිය. ගෝලීය වසංගතයක් හමුවේ රටත්, ජනතාවත් රැක ගැනීම වෙනුවෙන් කළ හැකි සියල්ල රජය කර ඇති බව පාක්ෂික මතයකින් හා කුහක නොවී මේ දෙස බලන ඕනෑම අයකු පිළිගනු ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කළ යුතු බවට හඬක් නැඟිණි. සෞඛ්‍ය අංශවල නිර්දේශය පරිදි හා මහා සංඝරත්නයෙයේ අනුශාසනාවලට කන්දෙමින් ජනාධිපතිවරයා යළිත් ලොක්ඩවුන් තත්ත්වයක් පැනවීය. මාසයකට ආසන්න කාලයක් එය ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඒ රෙගුලාසි මාර්ගෝපදේශ ආදියට අනුගතව ක්‍රියා කිරීම ජනතාවට පැවරෙන අතර, සමාජයක් ලෙස කොපමණ වගකීම් සහගතව අප ක්‍රියාත්මක වෙමින් තිබේ ද යන්න අවධානයට ලක් විය යුතුය. මෙවැන්නක උපරිම ප්‍රතිඵල ලැබීමට නම් සෑම දෙනකු තුළම ඊට වුවමනාවක් තිබිය යුතු වේ. එසේ වුව ද, සාර්ථකත්වය දකින්නට රිසි නොවන පිරිස් හැසිරෙමින් ඇති අයුරු දක්නට ලැබේ.

දරුවන්ගේ අනාගතය

සෞඛ්‍ය අංශවල විශේෂඥ උපදෙස් මත එන්නත් කළ යුතු ප්‍රමුඛතා කණ්ඩායම් හා වයස් කාණ්ඩ හඳුනා ගනිමින් පාසල් අදියරෙන් අදියර විවෘත කිරීමට රජය කටයුතු කරමින් සිටියදී, ගුරු සංගම් නායකයන් ලෙස තමන් හඳුන්වා ගන්නා අය ඊට හරහට සිටී. අපොස සා/පෙළ, උසස් පෙළ වැනි විභාගවලට ඇති වන බලපෑම් ඒ දරුවන්ගේ අනාගතයට බලපාන අතරම, තවත් වසර කිහිපයකින් රටට ද දැනෙනු ඇත. යුද්ධයක් හෝ වසංගතයක් නොමැතිව ගෙවී ගිය වසර කිහිපයක් තුළ මතු නොවූ වෘත්තීය අරගලවල මුහුණුවර ගත් විරෝධතාවල සැබෑ අරමුණ කුමක් දැයි වටහා ගත යුතුව ඇත්තේ එම ක්ෂේත්‍රවලම සිටින ගෞරවනීය වෘත්තිකයන්ය, ගෞරවනීය මිනිසුන්ය.

ත්‍රස්තවාදයට එරෙහිව මානුෂීය මෙහෙයුම දියත් වන විට රට අසාර්ථක රාජ්‍යයක් ලෙස හඳුන්වා එය වැළැක්වීමට වෑයම් කළ ඒ වුවමනාව වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන්, කල්ලි, කණ්ඩායම් වසංගතයට එරෙහිව රට තවත් යුද්ධ කරද්දී නැවතත් ක්‍රියාත්මකය. මේ උදවිය රට තුළ සිට මෙන්ම රටින් පිටත සිට ද ක්‍රියාත්මකය. ඔවුන්ට අනුව නම් මේ රට ලොව ඇති අසාර්ථකම රටය. ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සමඟ ලංකාවේ ආර්ථිකය සසඳන්නට වෑයම් කරන අය 2015-2019 රටේ ආර්ථිකය ගෙනැවිත් තිබුණේ කොතැනට ද යන්න කියන්නේ නැත. යහපාලනය, සාධාරණ සමාජය, සංහිඳියාව වැනි ලස්සන වචන ගොඩක් තොරොම්බල් කරමින් බලයට ආ අය ඇත්තටම රටේ යහපාලනය ඇති කර තිබිණි නම් සාධාරණ සමාජයක් නිර්මාණය කර ගියේ නම්, සංහිඳියාව ගොඩනැඟුවේ නම් මේ ගමන මෙපමණ අභියෝගාත්මක වනු ඇති ද? ඇත්ත නම්, ඒ සියල්ල ගොඩ නැගීමට වත්මන් පාලනයට සිදුව ඇති බවය. පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙළමින් සිටින අයට එය සිදු වූයේ, උදේ සිට රෑ වනතුරු සංහිඳියාව ගැන කතා කළ තම පාලන යුගයේදී බව අමතක වී තිබේ. රටේ ආර්ථිකය හා මහ බැංකුව ගැන කතා කරන මේ ඇතැම් අයට මහ බැංකු මංකොල්ලය සිදු කළේ තම පාලනය යටතේ බව අමතකව තිබේ. අවම තරමින් 2015දී තමන් බාර ගත් රට 2019දී නික්ම යන විට සුරක්ෂිත හා ආර්ථිකය ඉහළට ඔසොවා තැබූ රටක් ලෙස බාර දී යෑමට ඔවුන්ට හැකි විණි ද? කෙරුවාව එබඳු වුව ද, කියුම්වල නම් අඩුවක් නොපනේ. 'ආණ්ඩුව අපට දුන්නොත් අපි කරල පෙන්වන්නම් කියන අය බලයේ සිටි පස් අවුරුදු කාල සීමාව තුළ කළ දේ අමතක වීමට තරම් කාලයක් තවමත් ගත වී නැත. බල ව්‍යාපෘති ගැන මිස රට හෝ රටේ ජන ජීවිත පිළිබඳ අල්ප හෝ හැඟීමක් මේ පිරිස්වලට ඇතැයි නොපනේ.

ජනතාවාදි රජය

සහල්, මාෆියාවක් ඇතැයි කෑගැසූ අය කූට ලෙස හෝ මනුෂ්‍යත්වයට පවා නොගැළපෙන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඟවන්න වෑයම් කරමින් රට තුළ ආහාර හිඟයක් ඇතැයි මවා පෑමට ගත් ප්‍රයත්නයට එරෙහිව රජය ගත් පියවර ගැන දැන් කියන්නේ මොනවා ද? හදිසි නීතිය යොදා මර්දනය කරන බවය; මිලිටරිකරණයක් කර ඇති බවය. මේ හඬට ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ධුරයේ සිටින මිෂෙල් බැචලේගෙන් ද ඇසිණි. ගෝලීය වසංගතයක් හමුවේ ලෝකයේ රටවල් කීපයක් මෙය හදිසි තත්ත්වයක් ලෙස සලකා ක්‍රියා කරමින් සිටින්නේ දැයි ඇයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැන ගැනීමට පුළුවන. එසේම, මිලිටරිකරණය වී ඇත්තේ මොනවා ද? මේ කියන මිලිටරිකරණයෙන් අදහස් වන්නේ කුමක් ද? දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතිකව වුව ද පැසසුමට ලක් වන අයුරින් සහ සෙසු රටවලට ද ආදර්ශයක් වන අයුරින් ආරක්ෂක හමුදා සිය වෛද්‍ය බළකා යොදා ගනිමින් එන්නත්කරණයට කැප වී සිටීම මිලිටරිකරණය ද?

ගංවතුර වැනි ආපදා තත්ත්ව යටතේ සහන සේවා ක්‍රියාත්මක කරමින් ජීවිතත්, දේපළත් රැක ගැනීමට තම ජීවිත පවා අවදානමේ හෙළමින් කැප වීම මිලිටරිකරණය ද? වසංගතයකින් ජන ජීවිත රැක ගැනීමට අවශ්‍ය පියවර ගනිද්දී ජනතාව කුසගින්නේ නොතැබීම ද ජනතාවාදි රජයක යුතුකමකි; වගකීමකි. එය ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් හදිසි රෙගුලාසි එකක් දෙකක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම මිලිටරිකරණය ද? වසංගත සමයක වීදි විරෝධතා පැවැත්වීම ජනතා හිතවාදි ය. ජනතාව කුසගින්නේ නොතැබීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම ජනතා විරෝධි ය.

‍ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වී මාස එක හමාරක් ගත වන විට කොවිඩ් වසංගතය ගැන වාර්තා වූ අතර, වසංගත රටට එන්නත් පෙර එය පාලනය කර ගැනීමට අවශ්‍ය සැලසුම් ආරම්භ විය. පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූයේම වසංගතය ලොව දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබූ සමයක වන අතර, මේ ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය වසරක කාලයෙන් වසංගතය පාලනය කිරීමට විශාල ප්‍රයත්නයක් දැරීමට සිදු විය. එසේ වුව ද රට තුළ සිදු වන සංවර්ධන ව්‍යාපෘති ආදිය ද ක්‍රියාත්මකය. මේ ඇතැම් පාර්ශ්වවල වුවමනාව වී ඇත්තේ ආණ්ඩුව ඒ කිසිවක්ම නොකර වසංගතයෙන් ද පරාජය වනු දැකීමය. සිහිනෙන් පවා එය පතන පුද්ගලයන් පක්ෂ හෝ කණ්ඩායම් මෙලෙස සතුරු වෙමින් ඇත්තේ ආණ්ඩුවට යැයි ඔවුන් සිතා සිටිනවා විය හැකිය. කවර වෙනස්කම් තිබුණ ද මේ ආණ්ඩු විරෝධයට අවස්ථාව නොවේ. කවුරුන් හෝ එය එසේ නොවේයැයි කියන්නේ නම් ඔවුන් 'ජන සතුරන්' මිස අන් කවුරුන් හෝ නොවන බව ඔවුන්ගේ භාවිතාව මඟින්ම පැහැදිලි වනු කිසැකයි.

ධම්මික සෙනෙවිරත්න

 

 

නව අදහස දක්වන්න