එක්සත් ජාතීන්ගේ උපරිම සහාය ධනාත්මකව ශ්‍රී ලංකාවට දෙනවා | දිනමිණ

එක්සත් ජාතීන්ගේ උපරිම සහාය ධනාත්මකව ශ්‍රී ලංකාවට දෙනවා

ජාතීන් අතර සමඟිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට දෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවසීය.

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පෙරේදා (19) පැවති විශේෂ හමුවේදී මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාරයන් හා ශ්‍රී ලංකාව පිළිබඳ සුන්දර මතකය අවධි කළේය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබිණ.

වසර 30කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහලේකම්වරයා සඳහන් කරනු ලැබිණ. එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය.

නව අදහස දක්වන්න