ගෑස් මිල ඉහළ නොදැමීමෙන් සමාගම් 2ට පාඩුව කෝටි 450යි | දිනමිණ

ගෑස් මිල ඉහළ නොදැමීමෙන් සමාගම් 2ට පාඩුව කෝටි 450යි

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණත් ඊට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නොදැමීම නිසා ගෑස් සමාගම් දෙක රුපියල් කෝටි හාරසීය පනහක පාඩුවක් ලබා තිබේ.

මින් වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ලිට්‍රෝ ගෑස් සමාගමයි. එම සමාගම ලබා තිබෙන පාඩුව රුපියල් කෝටි හාරසියයක්(බිලියන 4) යැයි ගණන් බලා ඇත. ලාෆ් ගෑස් සමාගම ලබා තිබෙන පාඩුව කෝටි පනහකට(මිලියන 500) ආසන්න යැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා 'දිනමිණ'ට පැවසීය. මසකට ගෑස් මෙට්‍රික් ටොන් 45,000ක් 50,000ක් අතර ප්‍රමාණයක් මෙරටට ආනයනය කරන අතර කොරෝනා වයිරසය පැතිරයාමත් තවත් කාරණා කිහිපයක් නිසා ඉකුත් කාල සීමාවේදී ගෑස් මිල සැලකිය යුතු ගණනකින් වැඩි වූ බවද හෙතෙම කීය. ලෝක වෙළෙඳ පොළේ මිලට සාපේක්ෂව මෙරට මිල ඉහළ නැංවීමට අවසර දෙනලෙස ලිට්‍රෝ හා ලාෆ් ගෑස් සමාගම් දිගින් දිගටම ඉල්ලා සිටියත් පාරිභෝගිකයන් ආරක්ෂා කරමින් රජය ඊට අවසර නොදුන් බවද ඒ මහතා පැවසීය. නමුත් අදාළ සමාගම් දිගින් දිගටම ලබන පාඩුව සැලකිල්ලට ගෙන, දෙපාර්ශ්වටම අගතියක් නොවන පරිදි ඉකුත් දිනවල ගෑස් මිල යම් පමණකින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියේ අවසරය හිමිවිය.

එළඹෙන සීත සමයත් සමඟ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල තවත් ඉහළ යනු ඇතැයි ද වෑගපිටිය මහතා කීය.

ගෑස් මිල තීරණය කිරීමේදී අඩු ආදායම්ලාභීන්ට පමණක් සහන මිලකට ගෑස් ලබාදීමේ ක්‍රමවේදයක් සකසන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ශිරාන් රණසිංහ

නව අදහස දක්වන්න