ලොවක් අමතන ආසියාවේ හඬ: එක්සත් ජාතීන්ගේ 76 වැනි වාර්ෂික මහා මණ්ඩල සැසිය | දිනමිණ

ලොවක් අමතන ආසියාවේ හඬ: එක්සත් ජාතීන්ගේ 76 වැනි වාර්ෂික මහා මණ්ඩල සැසිය

ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ තැබූ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘මිත්‍රශීලි සහ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක්’ යන ශීර්ෂයෙන් යුතු පරිච්ඡේදය අපේ විදේශ ප්‍රතිපත්තිය මනාව පැහැදිලි කරයි. එහි වැඩි දුරටත් දක්වන්නේ ‘රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදී හෝ අන්තර්ජාතික වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන, ඕනෑම රටක් සමඟ සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින’ ගෞරවාන්විත පාලනයක් අපි යළිත් ස්ථාපිත කරන්නෙමු’ යනුවෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික මහා මණ්ඩල සැසි වාරය අද (සැප්තැම්බර් 21) අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතය. මෙවර මහා මණ්ඩල සැසිය ආරම්භ වන්නේ මානව සංහතියේම තිරසර පැවැත්මට බලපාන තීරණාත්මක අභියෝගක් සමඟිනි. මිලියන සංඛ්‍යාත ජනතාව කොවිඩ් වයිරසයේ ගොදුරු බවට පත්ව තිබේ. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කොවිඩ් උවදුරෙන් මරණයට පත්ව ඇත. කොවිඩ් උවදුර යනු සමස්ත ලෝකයටම අභියෝගයකි. දුප්පත්, පොහොසත් භේදයෙන් තොරව ලෝකයේ සමාජ, ආර්ථික, දේශපාලන බලවත්කම්වලින් පොහොසත් කේන්ද්‍රීය රාජ්‍යයන් සේම, දිළිඳුකම්, නූගත්කම් හා බෙදී යෑමේ විසමතාවන්ගෙන් අනූන පරිධියේ රාජ්‍යයන් ද එක සේ කොවිඩ් උවදුරේ ගොදුරු බවට පත්ව තිබේ. 2019 වසරේ අග භාගයේ චීනයේ වූහාන් ප්‍රාන්තයේ හුබෙයි ප්‍රදේශයෙන් ඇ‍රඹි කොවිඩ් 19 වසංගතය ගෙවී ගිය වසර දෙකකට ආසන්න කාලයක් තුළ සමස්ත ලෝකයේම සකලවිධ මානව හා භෞතික ක්‍රියාකාරකම්වලට තීරණාත්මක බලපෑමක් කර ඇත. මේ සියවසේ මුළු ලෝකයම මුහුණු දුන් බරපතළම හදිසි සෞඛ්‍ය මානව ආපදාව කොවිඩ් 19 වසංගතයයි.

මෙවර තේමාව

ඉකුත් වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වැනි වාර්ෂික සැසි වාරය සමාජ දූරස්ථකරණය හේතුවෙන් සාම්ප්‍රදායික සැසි වාරයකින් තොරව පැවැත්වූවත්, මෙවර 76 වැනි වාර්ෂික මහා මණ්ඩල සැසි වාරය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්වීමට කටයුතු කර තිබේ. මෙවර පැවැත්වෙන 76 වැනි මහා මණ්ඩල සැසි වාරයේ තේමාව වී ඇත්තේ, ‘කොවිඩ් වයිරසයෙන් සුවය ලැබීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව ගොඩනැඟීම, පෘථිවියේ සුවපත්භාවයට ප්‍රතිචාර දැක්වීම, මිනිස් අයිතීන්ට ගෞරව කිරීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානය යළි පණ ගැන්වීම’ යනුවෙනි.

2019 ජනාධිපතිවරණයෙන් හැට නව ලක්ෂයක ජන වරමක් ලද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙවර නිව්යෝක් නුවර පැවැත්වෙන 76 වැනි වාර්ෂික මහා මණ්ඩල සැසි වාරය ඇමතීමට නියමිතය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් පත් වීමෙන් අනතුරුව සිය ප්‍රථම විදෙස් සංචාරය සඳහා පිටත්ව ගියේ ඉන්දියාවටය. ඒ 2019 වසරේදීය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වීමෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වන හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයකට සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙයයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට මේ සැප්තැම්බර් මාසය වන විට මාස විස්සක් ගත වී තිබේ. එම මාස 20ක කාලයෙන් මාස දොළහකට වැඩි කාලයක් රට අගුළු දැමීමට හෝ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වූයේය. රටේ දෛනික ජන ජීවිතය මේ කාලය තුළ මුළුමනින්ම බිඳවැටුණු අතර, ඒ කාලය අතරතුර රටේ ආර්ථික කටයුතු මුළුමනින්ම අක්‍රියව පැවතිණි. කොවිඩ් උවදුර රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට කෙතරම් බලපෑමක් කර ඇතිද යන කාරණයට හොඳම නිදසුන නම්, නිදහසින් පසු අඩුම ආර්ථික වර්ධන වේගය මේ වසරේ වාර්තා වී තිබීමයි. එසේ වුවත් දාහත් ලක්ෂයකට ආසන්න රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි, පොහොර සහනාධාර හා අනෙකුත් සුභසාධන කටයුතු ද රජය නොනවත්වා ක්‍රියාත්මක කර ඇත.

නම්‍යශීලි පිළිවෙත

ආර්ථිකයට කොවිඩ් උවදුර කොතරම් බලපෑම් කර තිබුණත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් හා ඇතැම් වෘත්තීය සමිති ජනාධිපතිවරයා හා ආණ්ඩුව කෙරෙහි ඇති කළ බලපෑම ද සුළුපටු නොවේ. රටේ ආර්ථිකය විශාල ආගාධයකට ගමන් කරමින් තිබියදී ඇතැම් ව්‍යාපාරික පිරිස්, පාරිභෝගික ප්‍රජාව ප්‍රාණ ඇපයට ගනිමින් සහල්, සීනි, වී ඇතුළු පාරිභෝගික ද්‍රව්‍යන්හි මිල ගණන් ඉහළ දමමින් ආණ්ඩුව අපහසුවට පත් කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රයකට අදාළ වැඩපිළිවෙළක් ගෙන යමින් තිබේ. එලෙසම ගුරු, විදුහල්පති වැටුප් ප්‍රශ්නය මුල් කර ගනිමින් වෘත්තීය සමිති කිහිපයක් ගෙන යන වර්ජන ක්‍රියාවලිය ද එවැනිම දේශපාලන න්‍යාය පත්‍රයකට අදාළ ව්‍යාපෘතියකි. කොවිඩ් උවදුර හේතුවෙන් පාසල් වසා දැමුව ද දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු කඩාකප්පල් වී ඇත්තේ අත්තනෝමතික වර්ජන ක්‍රියාවලිය හේතුවෙනි. රජය, මේ ආණ්ඩු විරෝධි ක්‍රියාකාරකම්වලට එරෙහිව බලය අවම හෝ ක්‍රියාත්මක කර නැත. පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගෙන බඩු මිල ගණන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක සුළුතරයක් වන මාෆියා ව්‍යාපාරික ප්‍රජාව සමඟ සේම, දරුවන් ප්‍රාණ ඇපයට ගෙන සටන් කරන වෘත්තීය සමිති සමඟ ද නම්‍යශීලී පිළිවෙතක පිහිටා කටයුතු කරති. ආණ්ඩුව අසාර්ථක බව ප්‍රකාශ කරන විපක්ෂ නායකවරයා, ආණ්ඩුව ඉල්ලා අස් වී මැතිවරයණක් පවත්වන ලෙස කරන බොළඳ ප්‍රකාශ විපක්ෂයේ තවත් කණ්ඩායම් විසින්ම ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්නුම් කරන්නේ මෙරට ප්‍රධාන විපක්ෂයේ ඇති අපරිණත ස්වභාවය නොවේ ද?

ලෝකයම දරුණු සෞඛ්‍ය ආපදාවකට මුහුණ දී තිබියදී, රටට ශක්තිමත් ආණ්ඩුවකට වඩා පරිණත විපක්ෂයක් අවැසිව තිබේ. මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවක ආණ්ඩුව නිවැරදිව මෙහෙයවීම පරිණත විපක්ෂයක කාර්යභාරය වන්නේය. එහෙත් වර්තමාන විපක්ෂයේ හැසිරීම් රටාවෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් කෙතරම් නොමේරු දේශපාලන ව්‍යාපාරක්ද යන්නයි.

රට තුළ වන මේ ව්‍යාකුලත්වයන් කළමනාකරණය කරමින්, ගෝලීය කොවිඩ් අභියෝගය රට තුළ මැඬ පැවැත්වීමට ද ආණ්ඩුව කටයුතු කරමින් සිටී. විපක්ෂයේ සියලු සතුරුකම් මධ්‍යයේ වුව ද සියලු පුරවැසියන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව ප්‍රමුඛකොට සලකා ආණ්ඩුව එන්නත්කරණ කාර්ය ශක්තිමත් කර තිබේ. විපක්ෂය කවර චෝදනා නැඟුව ද, කොවිඩ් උවදුරට එරෙහිව ලෝකයේ සාර්ථකම එන්නත්කරණය සිදු කරන රටවල් විස්ස අතරට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඒ වනාහි අන්තර්ජාතිකව අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි.

විදේශ ප්‍රතිපත්තිය

මෙවර පැවැත්වෙන 76 වැනි වාර්ෂික මහා මණ්ඩල සැසි වාරයට සමගාමිව අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනා සම්මතයන් පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්ය.

ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූයේ ශ්‍රී ලංකාවේ ද සහභාගිත්වයෙනි. ඒ වනාහි රටක් ලෙස අපේ ස්වාධීනත්වය, ස්වෛරිත්වය ප්‍රශ්න කිරීමට හා අභියෝග කිරීමට ලක් වූ අවස්ථාය. ශ්‍රී ලංකාව වනාහි ස්වාධීන හා ස්වෛරි රාජ්‍යකි. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ තැබූ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 15 වැනි පිටුවේ ‘මිත්‍රශීලි සහ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක්’ යන ශීර්ෂයෙන් යුතු පරිච්ඡේදය මඟින් අපේ විදේශ ප්‍රතිපත්තිය මනාව පැහැදිලි කරයි.

එහි වැඩි දුරටත් දක්වන්නේ ‘රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදී හෝ අන්තර්ජාතික වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන, ඕනෑම රටක් සමඟ සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි යළිත් ස්ථාපිත කරන්නෙමු’ යනුවෙනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මාස විස්සක් තරම් කෙටි පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ ගෞරවය අන්තර්ජාතිකව ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි වාර්ෂික සමුළුවේදී කවර යෝජනා සම්මත වුව ද රටේත්, පුරවැසියන්ගේත් අභිමානය කෙලෙසීමට හේතු වන පරාධීන තීරණවලට ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පෙලඹී නැත. අද (21) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩලය හමුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන්නේ අභිමානය සුරක්ෂිත ගෞරවාන්විත පාලනයක් ස්ථාපිත කළ රටක රාජ්‍ය නායකයකු වශයෙනි. ගෝලීය කොවිඩ් උවදුර පිටු දැකීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව සාර්ථක ක්‍රියා මාර්ග රැසක් ගෙන තිබේ. ලෝකයේ බලවත්ම රටවල් කොවිඩ් උවදුර හේතුවෙන් බරපතළ මූල්‍ය හා ආර්ථික අර්බුදවලට මුහුණ දෙන විට එම අභියෝග කළමනාකරණයට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නව උපාය මාර්ග සකස් කිරීමට හා ඒවා සාර්ථකව අත්හදා බැලීමට පියවර ගෙන ඇත. මෙවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩලයේ 76 වැනි සැසි වාරයේදී ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් ඇති වීමට වැඩි ඉඩකඩක් තිබේ. ඒ තිස් වසරක බෙදුම්වාදි කොටි ත්‍රස්‍තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ මෙහෙයුම් කළමනාකරුවා සේම, යුද්ධය අවසන් වූ ශ්‍රී ලංකාවේ වාණිජ මෙන්ම පරිපාලන අග නගරය ආසියාවේ අලංකාරම නගරය බවට පරිවර්තනය කළ පුද්ගලයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස මෙවර මහා මණ්ඩල සැසි වාරය ඇමතීමයි. මේ සියවසේ දරුණුම හදිසි මානව සෞඛ්‍ය ආපදාව නිවැරැදිව කළමනාකරණය කරමින් කොවිඩ් උවදුරට එරෙහි මානව ප්‍රතිශක්තිකරණය සඳහා එන්නත්කරණය සාර්ථක කළ ලෝකයේ රාජ්‍ය අතරට ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබූ නායකයා ඔහුය.

ලොව සාර්ථකම මානුෂීය හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බව ලොවට හඬ ගා කියන්න අපට අවස්ථාව උදා වූයේ ම්ලේච්ඡ කොටි ත්‍රස්‍තවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව දියත් කළ මානුෂීය මෙහෙයුම හේතුවෙනි. යුද්ධය අවසන් වී වසර එකොළහකට පසු ද ශ්‍රී ලංකා හමුදාව මානුෂීය හමුදාවක් බව අපට යළිත් ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට හැකි වූයේ කොවිඩ් උවදුර පිටුදැකීම සදහා ශ්‍රී ලංකා හමුදාව දුන් ධෛර්ය සම්පන්න හා එඩිතර නායකත්වය හේතුවෙනි. සෞඛ්‍ය අංශ සමඟ උරෙනුර ගැටෙමින් රෝගි සත්කාරක සේවාව ශ්‍රී ලංකා හමුදාව මනා කොට ඉටු කළේය. එන්නත්කරණය මේ ආකාරයෙන් සාර්ථක වූයේ හමුදාවේ ඒ මැදිහත් වීම නිසාය.

එන්නත්කරණ ක්‍රියාවලිය

ඇතැම් දෙනා සෞඛ්‍ය සේවාව හා එන්නත්කරණය සඳහා හමුදාවේ සහාය ගැනීම ‘මිලිටරිකරණය’ ලෙස හැඳින්වූවත් එය ඔවුන්ගේ බංකොලොත් බවේ ප්‍රකාශයක් ලෙස තහවුරු වී තිබේ. මිලිටරිකරණය යනු මෙතරම් මෘදු මොළොක් හා විනයානුකූල ක්‍රියාවලියක් ද? යනුවෙන් ප්‍රශ්න කරන තරමට හමුදාව කොවිඩ් උවදුර පිටු දැකීම සදහා සිය ශ්‍රම දායකත්වය දුන්නේය. සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ඍජු පාර්ශ්ව විවිධ ඉල්ලීම් මුල් කර හනිමින් කොවිඩ් උවදුරේ උව්චතම අවස්ථාවේ වෘත්තීය ක්‍රියාකාරකම්වලට යොමු වූවා අපට මතකය. එහෙත් ශ්‍රී ලංකා හමුදාව ඒ කිසිවක් නොසලකා කොවිඩ් උවදුර පිටු දැකීම සඳහා සිය සෞඛ්‍ය උපකාරක සේවයත්, එන්නත්කරණ ක්‍රියාවලියත් අඛණ්ඩවම පවත්වාගෙන ගියේය. රෝගීන් සහ පොදු ජනයා ප්‍රාණ ඇපයට ගනිමින් ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරද්දී තමන්ට ලැබෙන ආහාර වේල ගැන හෝ නොසලකා සුවපත් රටක් වෙනුවෙන් තම සේවය මාතෘ භූමිය හා එහි පුරවැසි ප්‍රජාව වෙනුවෙන් දුන්නේ ශ්‍රී ලංකා හමුදාව යනු ලෝකයේ විශිෂ්ටතම, විනයානුකූල හමුදාවක් හා මානවවාදි හමුදාවක්ය යන පණිවිඩය මුළු ලොවටම දෙමිනි. එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩල සැසියේදී ශ්‍රී ලාංකේය අභිමානය ලොවට කියන්න අපේ හමුදාවන්ගේ මානවවාදි ක්‍රියාකාරකම් කදිම නිදසුන්ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මාස විස්සක පාලන සමය දේශීයව දේශපාලන ගැටුම් සහ ගෝලීය කොවිඩ් වසංගතයෙන් පිරී පැවැති සමයක් ලෙස හැදින්වුවහොත් නිවැරැදිය. මේ මාස විස්සක කාලයේ දේශපාලන වශයෙන් ඔහුට සහාය දෙනවා වඩා සිදු වී ඇත්තේ කකුලෙන් අදින ස්වරූපයේ දේශපාලන එදිරිවාදිකම්ය.

කොවිඩ් උවදුර පිටුදැකීම සදහා වන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටී. මේ වසරේ දෙසැම්බර් වන විට කොවිඩ් උවදුර කළමනාකරණය කරමින් රටේ කටයුතු සාමාන්‍යකරණය කරගත හැකි වනු ඇතැයි විශ්වාස කළ හැකිය. සංචාරක කර්මාන්තය, ඉදි කිරීම් හා ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව සුරක්ෂිත රාජ්‍යයක් බවට තහවුරු කිරීම ජනාධිපතිවරයාගේ ඉලක්කයයි. කොවිඩ් උවදුර පිටුදැකීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන සාර්ථක වැඩපිළිවෙළ කෙරෙහි මේ වන විට අන්තර්ජාතික අවධානය යොමු වී තිබේ. කොවිඩ් උවදුර කළමනාකරණය කිරිමේ සාර්ථකත්වය මත ඇතැම් රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබූ සංචාරක සීමා ද ලිහිල් කර ඇත. එය රටක් වශයෙන් අප ලැබූ ජයග්‍රහණයකි. ලෝකයේ සියලු කලාප සමඟ මනා සබඳතාවක් පවත්වා ගනිමින් සංචාරක හා ආයෝජන සදහා ඉඩ ප්‍රස්තා විවර කර ගැනීම කාලීන අවශ්‍යතාවකි. ඒ වෙනුවෙන් ලෝකයේ සියලු රාජ්‍ය සමඟ වඩා මිත්‍රශීලි හා නවීකරණය වූ නොබැඳි පිළිවෙතක පිහිටා කටයුතු කරන ආකර්ෂණීය විදෙස් ප්‍රතිපත්තියක් අප අනුගමනය කළ යුතුය. 

සියවසේ ආර්ථික බලය

මීළඟ සියවසේ ලෝකයේ ආර්ථික බලය චීනය ප්‍රමුඛ ආසියනු කලාපයට සංකේන්ද්‍රණය වෙමින් තිබේ. ලෝකයේ නව ආර්ථික බලවතා ලෙස චීනය පෙරට එමින් සිටී. යුරෝපයත්, ඈත පෙරදිගත්, බටහිරත් ,මධ්‍යම අප්‍රිකානු කලාපයත්, මැද පෙරදිග අරාබි රටවලුත් සමානව කළමනාකරණය කර ගත් නවීකරණය වූ උපායශීලි විදෙස් ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව අන්තර්ජාතිකව සාක්ෂාත් කර ගත යුතුය. එහිදී ඉන්දියාව ළඟම අසල්වැසියා ලෙසත්, චීනය හොඳම මිතුරා ලෙසත් සමබරව කළමනාකරණය කර ගැනීමත් වැදගත්ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආර්ථික දර්ශනය සකස් වී ඇත්තේ අන්තර්ජාතික ආර්ථික සාධක නිවැරැදිව කළමනාකරණය කර ගනිමින් ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැඟීම වෙනුවෙනි. කෙටි කාලීන අපහසුතාවලට ධෛර්ය සම්පන්නව මුහුණ දෙමින් දිගුකාලීනව සාර්ථක ප්‍රතිඵල ලැබෙන පරිදි ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමේ අඩිතාලම සකස් කිරීමට ජනාධිපතිවරයා මුල පුරා ඇත. එහි පළමු පියවර කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම හා ආනයන සීමා කරමින් දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්තියයි. ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැඟීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වී ඇත. ඒ සඳහා ලෝකය ජය ගැනීමට මෙවර එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩලයේ 76 වැනි සැසි වාරය වැදගත් අවස්ථා ලාභයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසි වාරය අමතා පවත්වන දේශනය රටක් වශයෙන් හා කලාපීය වශයෙන් ද වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරනු ඇත.

නව අදහස දක්වන්න