බාධක අභියෝග ජය ගෙන රට දිනවමු | දිනමිණ

බාධක අභියෝග ජය ගෙන රට දිනවමු

කොවිඩ් ව්‍යසනයෙන් මුළු ලෝකයම උඩුයටිකුරු කළ මොහොතක, ඒ කඳුළු මතින් නැඟී සිටින රටක් ලෙස, ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. අපේ රටට එවැනි අභියෝගාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වූයේ, ඉවසිලිවන්ත දක්ෂ නායකයකුගේ මඟ පෙන්වීම නිසාය. වයිරසයක් නිසා සමස්ත ජන දිවියම බියෙන් ඇලළී ගියත්, එන්නත්කරණයට යොමු වීම මඟින්, විද්‍යාත්මකව එම අභියෝගය ජය ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ නායකයකු ‍ලෙස සමත් වූ බව සිහිපත් කළ යුතුය. මෙවන් අර්බුදකාරී තත්ත්වයක් හමුවේ ජගත් ප්‍රජාව ඇමතීමට අපේ රටේ නායකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉඩ ලැබීම, කලාතුරකින් හිමි වන ගෞරවනීය අවස්ථාවකි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ හය වැනි සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින්, රටක රාජ්‍ය නායකයකු වශයෙන් ඉතා විශිෂ්ට මෙන්ම හරවත් දෙසුමක් ඉදිරිපත් කිරීමට, ජනාධිපතිතුමාට හැකි විය. ඒ කථාවෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමු කර ගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි විය. එය සමස්ත රටවැසියන්ම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.

එක්දහස් නවසිය පනස් පහේ දෙසැම්බර් දාහතර වැනිදා අපේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබුවේය. එක්සත් ජාතීන් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතාවල ඓතිහාසික පසුබිම පිළිබඳ විමසා බැලීමේදී, අපේ රටේ සිටි ප්‍රකට දේශපාලනඥයකු මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයකු වූ‍ ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන මහතා, එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ පළමු නිත්‍ය නියෝජිතයා විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ ප්‍රථම ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයා වූයේ, අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

එක්දහස් නවසිය හැටේ ජූලි විසි එක් වැනි දින ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස කිරුළු පලන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, එක්දහස් නවසිය හැත්තෑ එකේදී එක්සත් ජාතීන්ගේ විසි හය වැනි සැසිවාරය ඇමතුවාය. එතුමිය ඉන්දීය සාගරයේ සාම කලාපයක් පිහිටුවන ලෙස අන්තර්ජාතික ප්‍රජාවට යෝජනා කර සිටියාය. ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සහයෝගය ලැබිණි. ඒත් සමඟම සාමය සහ අහිංසාව කෙරෙහි ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි උනන්දුව පිළිබඳ බොහෝ රටවල ඇගැයුමට ලක් විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය ඇමතූ අනෙක් රාජ්‍ය නායකයෝ වෙති.

එක්සත් ජාතීන්ගේ කාර්යභාරය

සියලු ස්වෛරී රාජ්‍යවල ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා, සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරය බව සඳහන් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතක නොකළේය. ඒ අනුව, ලෝකයේ රාජ්‍ය නායකයන් අමතන ඉහළම සමුළුවේදී, අපේ රට අත් කර ගත් ප්‍රගතිය, දිනා ගත් දේ පිළිබඳ අවධාරණය කිරීමට එතුමාට හැකි වීම අප ලද භාග්‍යයකි.

අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එකොළොස් වැනි සමුළුව අමතමින් රටක ප්‍රමාණය, එහි ජනගහනය, එහි බලය හෝ ශක්තිය අනුව තනිව මැනීම සාධාරණ නොවන බව අවධාරණය කර ඇත. එම අදහස ඊටත් වඩා පැහැදිලි කරමින්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ස්වෛරී රාජ්‍යවල ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා, සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරය බව අවධාරණය කළේය. එමඟින් අප වැනි කුඩා රටක රාජ්‍ය නායකයකු ලෙස ලෝකය හමුවේ අපේ රටේ අභිමානය පෙන්වීමට සමත් වී ඇත.

අපේ යන්ත්‍රණය සහ උරුම කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකිය යුතු බව අවධාරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුබට වූයේ නැත. කොවිඩ් වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරි බලපෑමක් ඇති කිරීම පිළිබඳත්, එම වසංගත තත්ත්වය හමුවේ සිය සමීපතයන් අහිමි වූ සියලු දෙනාට සාතිශය සංවේගය පුද කිරීමටත්, බෞද්ධ රටක බෞද්ධ නායකයකු වශයෙන් එතුමා අමතක කළේ නැත.

අභියෝග ජය ගැනීම

ලොව පුරා සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය හා අත්‍යවශ්‍ය සේවකයන්ගේ කැප වීමත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අර්බුදයට දැක්වූ ප්‍රතිචාරවලට ස්තුති කිරීමත්, ගුණගරුක නායකයකු කෙරෙහි පිහිටන විශිෂ්ට ලක්ෂණයකි. සමස්ත ලෝකය මුහුණ දෙන කොවිඩ් අභියෝගය ජය ගනිමින් සිටින ආකාරයත්, ඉදිරියට සියලු අභියෝග ජය ගැනීමට රටක් වශයෙන් අපගේ දායකත්වය කෙබඳු විය යුතු ද? යන්නත්, ජනාධිපතිවරයාගේ හරවත් දෙසුමෙන් අවධාරණය කළේය.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට සහ වඩා ප්‍රශස්ත ලෙස නැවත රටවල් යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීම සඳහා, ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව කලාපීය දැනුම් කේන්ද්‍රයක් ගොඩනැඟීමට අපේක්ෂා කරන බව පැහැදිලි කිරීමට ද, ඔහු අමතක කළේ නැත. අප සියලු දෙනා එකාවන්ව එක්වී, මෙවැනි විනාශකාරී අවස්ථාවලට මුහුණ දිය යුතු ආකාරය පැහැදිලි කිරීම ද ඔහු යුතුකමක් කර ගත්තේය. හුදෙකලා වීම්වලින් තොරව එකට අත්වැල් බැඳ නැඟී සිටීම මඟින්, මෙවැනි අනතුරු ජය ගත හැකි බව ද ජනාධිපතිතුමා තව දුරටත් පැහැදිලි කළේය.

සංවර්ධනය වෙමින් පවතින රටක් වුව ද, ශ්‍රී ලංකාව එන්නත් කිරීමේ වැඩසටහන තුළ ඉතා සාර්ථක වී ඇති අයුරු එතුමා පැහැදිලි කළේය. අවුරුදු තිහට වැඩි සියලු පුද්ගලයන්ටම පාහේ එන්නත් දීමට කටයුතු කිරීමත්, ඔක්තෝබර් මාසය වන විට අවුරුදු විස්සට වැඩි සැමට පූර්ණ වශයෙන් එන්නත් දීමත්, නුදුරු අනාගතයේ අවුරුදු පහළොවට වැඩි දරුවන්ට එන්නත් දීමට කටයුතු කර ඇති ආකාරය පිළිබඳත් ඔහු ලොවක් හමුවේ ප්‍රකාශ කර සිටියේය. රටක නායකයකු වශයෙන් කොවිඩ් අභියෝගය විද්‍යාත්මකව ජය ගත යුතු ආකාරය එතුමාගේ දෙසුමෙන් මනාව පැහැදිලි විය.

දියුණුයැයි කියා ගන්නා ඇතැම් රටවල රාජ්‍ය නායකයන් මුව ආවරණ පවා පලඳින්නේ නැතිව, විචාරයකින් තොරව ජනතාව සමඟ කටයුතු කළ අවස්ථා, අන්තර්ජාතික දේශපාලන ලෝකයෙන් අපට අසන්න දකින්න ලැබිණි. එවන් වකවානුවක අපේ රටේ නායකයා වශයෙන් ජනතාව රැක ගැනීම සඳහා නිසි සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට අවැසි මඟපෙන්වීම් කිරීමට ඔහු කටයුතු කළේය. ඒ ගැන ලොවක් හමුවේ පැවසීමට ඔහුට ශක්තිය ලැබුණේ, කියන දේ ක්‍රියාවෙන්ම ඔප්පු කළ රාජ්‍ය නායකයකු වූ නිසාය. ඒ ගැන රටවැසියන් ලෙස අපට ද ආඩම්බර විය හැකිය.

එන්නත්කරණ ක්‍රියාවලිය

එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කළ සෞඛ්‍ය සේවකයන්, හමුදාව සහ පොලිස් නිලධාරීන්ගේ, රජයේ සේවකයන්ගේ සහ තේරී පත් වූ මහජන නියෝජිතයන්ගේ සහයෝගය, අපේ රට එන්නත්කරණයෙන් ඉදිරියට පැමිණීමට හේතු විය. වසංගතය වළකා ගැනීමට ඔවුන්ගේ දායකත්වය හේතු වූ ආකාරය පිළිබඳව ද, ජනාධිපතිවරයාගේ නිසි ඇගැයීමට ලක් විය. අන්තර්ජාතික සමුළුවකදී ඔවුන්ගේ සේවය පිළිබඳ කළ එම ඇගැයීම ගැන අප පැසසිය යුතුය. දුර දැක්මක් සහිත රාජ්‍ය පාලකයකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය නතු කළ තවත් වැදගත් කරුණක් වූයේ, වසංගතයේ බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි ලෙස බලපා ඇති ආකාරයයි. දෙදහස් තිහ වසරේ තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම අවදානමකට ලක් වී ඇති අයුරු, ජනාධිපතිවරයා අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ අවධානයට ලක් කළේ ඒ අයුරිනි. දැක්මක් සහිත නායකයකු වශයෙන් ඉදිරි ආර්ථික ඉලක්ක කෙසේ සපුරා ගත යුතු ද? යන්න එමඟින් පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට දාහතරකට ආසන්න ප්‍රමාණයක් යැපෙන සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම, එතුමා මේ අන්තර්ජාතික සමුළුවේදී අවධාරණ කළේය. එසේම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පොලී සහන වෙනත් මූල්‍යාධාර ලබා දීමත්, අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් ප්‍රදාන හා වියළි සලාක ලබා දෙමින්, ඔවුන්ගේ ජන දිවිය වෙනුවෙන් ක්‍රියාත්මක වීමෙන් රාජ්‍ය වියදම්වල වැඩි වීම පිළිබඳත් අවධාරණය කළේය. කොවිඩ් වසංගතයෙන් පීඩා විඳිමින්, ජනතා සුබසාධන ක්‍රියාමාර්ග තුළින් ජනතාව රැක ගත් බව, ඔහුගේ කතාව තුළින් මැනවින් පැහැදිලි වේ.

වසංගතයේ ප්‍රතිවිපාක

වසංගතයේ ප්‍රතිවිපාක, මනුෂ්‍යත්වයට බෙහෙවින් විනාශකාරි වනවා සේ ම, ඉදිරි දශක කීපය තුළ සිදු වන දේශගුණික විපර්යාස හේතුවෙන් ඊටත් වඩා විශාල අභියෝගවලට මුහුණ දීමට මිනිසාට සිදු විය හැකිය. ළඟට වඩා දුර දකින නායකයකු වශයෙන් ඒ පිළිබඳ දනවමින් අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානයට යොමු කිරීම අගය කළ යුත්තකි. එම සමුළුවේදී ජනාධිපතිතුමා, පරිසරයට ආදරය කරන නායකයකුගේ විශිෂ්ට ලක්ෂණ ප්‍රකට කිරීමට සමත් වූ බව නොරහසකි. බෞද්ධ නායකයකු වශයෙන් බුදු රජාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ ඉගැන්වීම් මත ශ්‍රී ලංකාවේ දාර්ශනික උරුම මුල් බැස තිබෙන, පාරිසරික අගය රැක ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට ද, ජනාධිපතිතුමා අමතක කළේ නැත.

ජනාධිපතිතුමා ඉතාම ඍජු පිළිවෙතක් අනුගමනය කරමින් කාබනික පොහොර භාවිතයෙන් සියලු ජනතාවත්, මිහිතලයත් රැක ගැනීමට ක්‍රියා කරන ආකාරය, අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානයට යොමු කිරීම ද අගය කළ යුත්තකි.

ත්‍රස්තවාදය තුරන් කිරීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණුවලදී අන්තර්ජාතික සහයෝගය අවශ්‍ය බව පැවසීමෙන්, ත්‍රස්තවාදය ලෝකයෙන්ම තුරන් කළ යුතු බව අවධාරණය කළ බව පැහැදිලිය. අවසන් වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇෆ්ගනිස්තානයේ බෞද්ධ උරුම ආරක්ෂා කිරීමට දිරිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් සහ අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටීම, බොදු උරුම ලෝකයේ කුමන රටක පැවතිය ද, එය රැක ගත යුතු බව ලෝකය හමුවේ අවධාරණය කිරීමකි. විශිෂ්ට පාලකයකුගේ මේ සාරගර්භ දෙසුම මඟින් අපට පැහැදිලි වන්නේ හෙට වඩා යහපත් රටක් බිහි කිරීමට ඔහුගේ දායකත්වය නොමඳව ලැබෙන බවයි.

මහින්ද ආරියවංශ

නව අදහස දක්වන්න