උණහපුළුවාට උගේ පැටියත් මැණිකක් | දිනමිණ

උණහපුළුවාට උගේ පැටියත් මැණිකක්

සොබාදහම් නිමැවුම් අතරේ ක්ෂීරපායි සත්ත්ව ලෝකයේ මිනිසාගේ සමීපතම නැදෑයන් ගැන විමසුමක් කරන්න හිතුනේ අපි ගිරිතලේ ස්වභාව රක්ෂිතය ආශ්‍රිතව කරපු සංචාරය අතරතුරදී අපූරු මිතුරකු මුණගැසුණු නිසයි. මෙයා අපිටත් යම්තාක් දුරකට ඥාතීත්වයක් දරන සාමාජිකයකු බව සඳහන් කළොත් ඒ සත්ත්වයාගේ රූපය දුටු කල ඔබ ඊට එකඟ නොවන්නත් පුළුවන්. මොකද යම් විරූපී බවක් තමයි මේ සත්ත්වයා තුළින් විද්‍යමාන වන්නේ. මුහුණෙන් බාගයකටත් වැඩියි ඇස් ගෙඩි. අත පයත් කෝටුකිතයි. ඒත් මෙයාගේ චර්යා රටාවන් අධ්‍යයනය කරද්දියි වැටහෙන්නේ මිනිසුන් වන අපටත් මේ තිරිසන් සතාගේ ජීවිතයෙන් ඉගෙන ගන්න බොහොමයක් දෑ ඇති බව. අපේ ජනවහරේ කියනාවා "උණහපුළුවාට උගේ පැටියත් මැණිකක්" කියලා. සැබැවින්ම එහි ව්‍යාංග්‍යාර්ථය වන්නේ කෙතරම් අවලස්සන වුණත් උණහපුළු මවට තමන්ගේ පැටවා වටින බවයි. ඒකයි පැටවා තමන්ගේ ළයට තුරුලු කර ගත්තු ගමන් ඉන්නේ. මටත් මේ කියන උණහපුළුවා හමු වෙද්දි එයත් උන්නේ මොකක්දෝ දෙයක් ළයට තුරුලු කර ගෙනයි. හරියට ඒ දෙය අපි ඩැහැගනියි කියන බයෙන් වගේ තමයි මෙයා උන්නේ. තව තවත් ළයට තුරුලු කර ගත්තු ගමන් අපිට දත නියෙව්වේ අනතුරු අඟවමින්. ඒ ළයේ උණුහුමින් සැතපෙමින් උන්නේ පුංචිම පුංචි පැටවෙක්. අම්මා නම් උන්නේ බල්ලන්ගේ සපා කෑම් හේතුවෙන් අසාධ්‍ය තුවාල ලබා දැඩි වේදනාවකිනුයි. බල්ලන් වට කර ගෙන හපද්දීත්, පස්සේ ඒ බල්ලන්ගෙන් මේ සතාව බේර ගත්තු ගැමියා විසින් ඒ සතාව වනජීවී භාරයට පත් කරන තුරුත් තමන්ගේ අත් දෙක ළයට තුරුලු කර ගත්තු ගමන්ම තමයි මෙයා උන්නේ. තමන්ගේ තුවාල ගැන වත් නෙමේ මෙයා ළතැවුණේ. හිතේ තිබුණේ තමන්ගේ කිරිකැටි බිලිඳාගේ සුරක්ෂිතතාව පිළිබදව බව එයාගේ හැසිරීම් අධ්‍යයනය කරද්දි අපිට වැටහුණා. තුවාල ලැබූ සත්ත්වයාට අවශ්‍ය මූලික ප්‍රතිකාර දුන්නත් එයාගේ තුවාලවල බරපතළ තත්ත්වය හේතුවෙන් ජීවිතයෙන් සමු ගන්න සිදු වුණත්, ඒ වෙද්දීත් තමන්ගේ පැටවා ළයට තුරුලු කර ගත්තු ගමන්ම තමයි මෙයා පසු වුණේ. දසමාසයක් කුසේ හොවාගෙන ඉඳලා තමන් මේ ලෝකෙට බිහි කළ කිරිකැටියන් මහමඟ අතැර යන, හුස්ම හිර කොට ජීවිතය තොර කරන්නට වුව ද පසුබට නොවන, උපන් ගමන් බිලිඳුන් පුලුස්සා මරා දමන මිනිස් මව්වරුන්ට යළිත් සිහිපත් කළ යුතුව ඇත්තේ උණහපුළුවාට උගේ පැටියත් මැණිකක් බවයි. මිනිස් සිතකට හිතන්නට බොහෝ දේ ඒ තුළ ගැබ් වෙලා තියෙනවා.

මම ඉස්සෙල්ලත් කිව්වා වගේ උණහපුළුවා කියන්නෙත් අපිට බන්ධුවර වන කෙනෙක්. කොතෙකුත් නම් බුද්ධියෙන් ඉහළ නිමැවුම් සිදු කළත් මිනිසුන් පැවත එන්නේ වානරයින්ගෙන් බව මිනිසාටම අමතක වී ඇති බවත් සිහිකටයුතුයි. තමන්ගේ ආදිතමයින් වන වානර පරපුරට මිනිසුන් අතින් සිදු වන අතටයුතුකම් නම් අමානුෂිකයි. ඒ ගැන අහද්දි , සිත ප්‍රශ්න කරන්නේ මිනිසා සැබැවින්ම මනසින් උසස් ද? යන පැනයයි.

ප්‍රිමාටාවෝ. උණහපුළුවා (Lorises), කියන්නේත් ප්‍රිමාටා ගෝත්‍රයේ සාමාජිකයෙක්. ප්‍රිමාටා කියන්නේ ක්ෂිරපායි සත්ත්ව වර්ගයේ එක් ගෝත්‍රයක්. ඒ ගෝත්‍රය නියෝජනය කරන සත්වයන්ගේ දේහයේ රෝම පිහිටා තියෙනවා. කළල බන්ධධාරියි. සාපේක්ෂව දීර්ඝ ගැබ් කාලයක් තම කළලය ගර්භාශය තුළ දරා ගෙන ඉන්නවා. අනතුරුව ගැබ තුළ හොදින් විකසනය වුණු අංගසම්පූර්ණ දරුවකු බිහි කිරිමට සමත් වෙනවා. කලාතුරකින් විකලාංග දරුවනුත් බිහි වෙනවා. දරුවන් මවගේ ක්ෂිර ග්‍රන්ථි මගින් කිරි උරා බොමින් වැඩෙනවා. මුඛයේ පැහැදිලි ලෙස හඳුනාගත හැකි දත් වර්ග හතරක් පිහිටලා තියෙනවා. මේ අයට තමන්ගේ සිරුරේ නියත දේහ උෂ්ණත්වයක් පවත්වා ගන්න පුළුවන්. මොළය යමක් වටහා ගත හැකි ආකාරයට හොඳින් වර්ධනය වෙලයි තියෙන්නේ. මේ අයගේ හැටි සොබාවන් මිනිසුන් වෙන අපිටත් ගැළපෙනවා නේද? ඔව්. මිනිසා කියන්නේත් ප්‍රිමාටා ගෝත්‍රයේ සාමාජිකයෙක්. ප්‍රිමාටා ගෝත්‍රයේ අනෙක් සාමාජිකයන් වෙන්නේ ලීමරයන් (Lemurs), පුරාතන ලොකයේ වඳුරන් (Old World Monkeys), නූතන ලෝකයේ වදුරන් (New World Monkeys) සහ වානරයින් (Apes).

අපේ රටේ දී හමු වන ප්‍රිමාටා ගෝත්‍රයේ සාමාජිකයන් වන්නේ රිළවුන්, උණහපුළුවන්, වඳුරන්. උණහපුළුවන් පිළිබඳව කරුණු - කාරණා දන්නේ ටික දෙනයි. ඒකට හේතුව වෙන්නේ මේ සත්තු රාත්‍රී කාලයේ දී විතරයි එළි බහින්නේ. රාත්‍රියේ හැංගුණු ඔවුන්ගේ වතගොතත් අපූර්වත්වයෙන් අනූනයි.

‘Slender loris’ කියන ඉංග්‍රීසි නමින් හඳුන්වන මෙයාලගේ විද්‍යාත්මක නම වෙන්නේ ‘Loris tardigradas’. ඇත්තටම සොබාදහමේ අමුතු ම නිමැවුමක්. රාත්‍රිය පුරාවට ම වනපෙත් තුළ සරණා මේ සත්තු දක්ෂ දඩයක්කාරයෝ. දිනයේ උදෑසන සහ දහවල් සමයේ අලස ලෙස නිදා ගැනීම ජන්ම පුරුද්දක් වුණත් රාත්‍රියේ දී තමයි සක්‍රීය වෙන්නේ. රාත්‍රියේ දී අලස බව පරයා සැඟව ගත් කඩිසර ගති ස්වභාවය ඉස්මතු වෙනවා.

උණහපුළුවා තමන්ට වඩා විසි තිස් ගණනකින් විශාල සිරුරකට හිමිකම් කියන මොනරාගේ ගෙල තමාගේ ඉඳි කටු වගේ පිහිටලා තියෙන සිහින්, ඒත් සවිමත් උල් දත්වලින් හපා කාලා මරා දැමීමට හැකියාවක් ඇති සතෙකු හැටියට කැලෑබද ගැමියන් විශ්වාස කරනවා.

රාත්‍රියේ දී ගොදුරු සොයමින් යන උණහපුළුවකුට සුදුසු ගොදුරකට ඉවක් දැනුණොත් එතැන ඉඳන් ගොදුර ඩැහැ ගන්නා තුරුම ඌ ගොදුර කරා සමීප වන්නේ හීන් සීරුවේම යි. ගොදුර ඇත්තේ ගසක් මත යැයි සිතන්න. ඒ බව දකිනා අපේ වන මිතුරා පළමුව ඒ ගස කරා නිශ්ශබ්දව ළං වෙනවා. හොඳින් ගොදුර නිරීක්ෂණය කරනවා. අනතුරුව හීන් සැරේ ගසට නැඟීම අරඹනවා. එසේ නඟිනා අතරතුර දී ගසේ පොත්තක් හරි කොළයක් හරි ඌ අතින් ගැලවුණොත්, ඒක බිමට පතිත වීමෙන් නැඟෙන හඬ ගොදුරු සතාගේ කන වැටෙතැයි බියෙන් ඌ, ඒ ගස් පොත්ත කටින් ඩැහැගෙන ආයිත් ගහෙන් බිමට බහිනවා. හඬක් නොනැඟෙන සේ ඒක බිම තියනවා, ආයිත් ගසට නඟිනවා.

මේ ආකාරයට නිහඬව, නමුදු ක්‍රමානුකූලවම ගොදුරට සමීප වන උණහපුළුවා විදුලි වේගයෙන් ඩැහැ ගන්නා ගොදුර ක්ෂණිකවම පපුවට තද කර ගන්නවා. අනතුරුව හුස්ම සිරවී ගොදුරු සතා මිය යන තෙක් ම ග්‍රහණය තද කරමින් ම හිස සපා කනවා. මේ ආකාරයට ගොදුරු කර ගන්නා සතුන් අතරට කුඩා ප්‍රමාණයේ කොඳු ඇට පෙළ සහිත සත්ත්ව වර්ග අයිති වෙනවා. ඒ වගේම මාංස ආහාරවලට අමතරව පලතුරු, මල් සහ කුඩා කෘමීන් ආහාර වශයෙන් ගන්නවා. මේ සත්තු ඉගිළෙන මෙරුන් අල්ලාගෙන කෑමටත් බොහොම ආසයි.

උණහපුළුවන් එයාලගේ දඩයම් උපක්‍රම අතින් ගොදුරු සත්ත්වයන් අතරේ වෙසෙස් තැනක තියන්න පුළුවන් සත්ත්ව විශේෂයක්. ඒ කියන්නේ දඩයමක් ඩැහැගන්න කෙතරම් දක්ෂතාවක් ප්‍රකට කරන්නේ ද කියනවා නම්, මොනරා කරා ළං වී, උගේ ඇඟට ගොඩ වී බෙල්ල සපනා තුරුම ඒ බවක් මොනරාට නොදැනෙන බවට ගම්වැසියන් අතර ඇත්තේ පිළිගත් විශ්වාසයක්. ගොදුරු කර ගන්නා සතාගේ එකදු කොටසක් හෝ ඉතිරි නොකර, පළමුව හිසෙන් පටන් ගෙන, පක්ෂියකුගේ නම් පෙඳය තෙක් ම වන සිරුරේ සියලු ම කොටස් (පිහාටු ද හා සමඟ) ආහාර වශයෙන් ගැනීම උණහපුළුවන් ගොදුරු බුදින අපූරු ක්‍රමයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්.

උණහපුළුවාගේ ඇස් බකමූණු ඇස් මෙන් ම වටකුරු, දීප්තිමත් වගේ විශාලයි. ඒ නිසා දෝ සිංහල ගැමියන්ගේ මිථ්‍යා විශ්වාසයන්ට අනුව උණහපුළුවාගේ කඳුළු එකතු කර, මතුරා කෙම් ක්‍රමයකට අනුව බෙහෙත් තනා, ඒ බෙහෙත තමන්ගේ ඇස්වල ආලේප කර ගැනීමෙන් පෙනීමේ තීව්‍රතාව ඇති වෙතැ’යි මතයක් තිබෙනවා. ඒ අසත්‍ය මතයට ඇතැම්විට උණහපුළුවාට මරණය අත් කර දීම සෝචනීය කරුණක්

 

සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික

ඡායාරූප - සෂික ශ්‍රී සංජීව

 

නව අදහස දක්වන්න