කළු දොළේ සුදු පෙණ | දිනමිණ

කළු දොළේ සුදු පෙණ

කළුතර දිස්ත්‍රික්කයේ හඳුනාගත් සුන්දර දිය ඇලි 26 කට අමතරව දෙස්, විදෙස් සංචාරකයන්ගේ සිත ගත් ඓතිහාසික හා පාරිසරිකව ඉතා වැදගත් ස්වාභාවික නාන තොටවල් රැසකි. අගලවත්තේ තුංදොළ සේම බස්නාහිර, දකුණු පළාත වෙන් කෙරෙන සීමාවේ පිහිටි "කළු වළ" ඇල්ල ද දේශීය පරිසරවේදින්ට මෙන්ම ස්වාභාවික දිය ඇළි, ස්වාභාවික ජල තටාක සොයා යන බොහෝ දෙනකුගේ සිත් ගත් සොඳුරු දිය දහරකි.

බස්නාහිර පළාතේ උපත ලබා දකුණු පළාත සුන්දර කරන "කළු වළ" දෙපළාතේ පමණක් නොව රටේම පරිසරලෝලීන්ගේ ආදරය දිනා ගන්නට සමත් ව තිබේ. ස්වාභාවික දිය ඇල්ලක් නැති නම් ඇළක, දොළ පහස විඳින්නට විශාල ගිරි දුර්ග පසු කර බොහෝ දුෂ්කර ගමනක් යෑමට සිදු වුවත් කළු වළට ළඟා වන්නට එවැනි දුෂ්කරතා විඳිය යුතු නැත. දකුණු පළාතේ ගාල්ල, ඇල්පිටිය, පිටිගල ප්‍රදේශයකින් පැමිණෙනවා නම් පිටිගල - පැලවත්ත මාර්ගයේ පිටිගල සිට කිලෝමීටර් තුනක් පසු කළ තැන කළු වළ හමු වේ. බස්නාහිර පළාතේ අගනුවර සිට පැමිණෙන්නේ නම් දක්ෂිණ අධිවේගි මාර්ගයේ හෝ ගාලු පාරේ මතුගම, අගලවත්ත හරහා පැලවත්තට පැමිණිය යුතුය. පැලවත්ත - පිටිගල මාර්ගයේ කිලෝමීටර් හතරක් පසු කල තැන කළු වළ හන්දිය හමු වේ. කළු වළ දිය දහර නිසාම හන්දියක් නැතත් කළු වළ හන්දිය ලෙස ප්‍රසිද්ධය.

කළු වළ උපතේ දී කළු දොළය. පෙර කී පරිදි කළු දොළ උපත ලබන්නේ බස්නාහිර පිදුරංගල කන්ද, සපු ගහ හේන, සහ දකුණු පළාතේ බඹරවාන කෑල්ල කොටසට දාවය. සිංහරාජ ආශ්‍රිත අවශේෂ වනාන්තර ලෙස අතීතයේදී පැවති වනයේ රූස්ස ගසින් වැසුණු නිසා දොළේ දිය දහර කළු පැහැයට පෙනීම නිසා කළු දොළ බවට පත්ව තිබේ. දැනට දශක කිහිපයකට ඉහත දොළ රක්ෂිතයේ තිබුණු දැවැන්ත දොරණ, කැකුණ, මිල්ල, හැඩවක, හල්, වල් දෙල්, ආදි ඉහළ වන ගණත්වයෙන් යුතු ශාක නිසා නිරන්තර ඉතා අඳුරු බවක් නිර්මාණය වීමෙන් මේ කඳු අතරින් ගලා ගිය දිය දහරේ වළ සහිත ගැඹුරු ස්ථානවල තැන්පත් වූ කොළ රොඩු හේතුවෙන් ඇති වූ කළු පැහැය දොළට මෙම නම පටබැඳීමට ද හේතු වූ බව කළු දොළේ අතිත ජනප්‍රවාද හෙළි කරයි.

කළු දොළ කළු වළ වන්නේ මෑත කාලීනවය. කළු දොළේ ගලා ගිය ජලයෙන් යාබද කුඹුරු යායට පණ දෙන්නට දොළ හරහා ඉදි කළ බැම්ම නිසා ඇති වූ වළ කළු දොළ කළු වළ වීමට හේතු විය. පිටිගල - පැලවත්ත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් දෙසීයක් පමණ දුරින් දොළේ පලල් ස්ථානයේ ජලය රැඳෙන සේ අඟල් අටක දහයක තරමේ බැම්මක් ඉදි කර දකුණු ඉවුරේ ජල පාලන කුඩා සොරොව්වක් තනා පිට වානෙන් වෙළ පහළ යාය, ඇතුළු කුඹුරු රැසක් පෝෂණය කරයි. මෙතෙක් ප්‍රයෝජනයකින් තොරව ගලා ගිය දිය දහර කෙත් වතු සරු සාර කරන්නට දායක වී ඇති සේම දිය නෑමට අපූරු ජල තටාකයක් නිර්මාණය වී තිබේ. මේ නිසා දැන් කළු දොළේ දිය නෑමට නිර්මාණය වූ තටාකය කදිම දිය වළකි. ඒ නිසා කළු දොළ "කළු වළ" ලෙස කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නොව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ද ජනප්‍රිය වී තිබේ.

කලකට ඉහත කළු දොළේ ජල පෝෂක ප්‍රදේශ මහ ඝන වනාන්තර වුවත් දැන් ඒ සියල්ල බලපත් ඇති වත්, නැති වත් පෞද්ගලික ඉඩම්ය. ජල පෝෂක දොළ රක්ෂිත පවා තේ වගාවටත් ජනාවාසවලටත් බිලි වී හමාරය. මේ නිසා කළු දොළ කෙමෙන් කෙමෙන් කේඩෑරි වන්නට පටන් ගෙන තිබේ. මේ නිසාම දශකයකට පමණ පෙර කළු දොළ නිජ බිම කර ගත් ශ්‍රී ලංකාවට ආවේණික බුලත්හපයා, තල්කොස්සා, දොළ පෝතයා, ගල් පාඩියා, කාවයියා ඇතුළු මත්ස්‍ය වර්ග බොහොමයක් කළු දොළ අතහැර ගොසිනි. හවස් යාමයේ තොරතෝන්චියක් නැතිව ඇසුණු කක්කුටු නාදය පවා දැන් ඇසෙන්නේ ඉඳ හිට යැයි ඇල්ල අසල ජනතාව කියති.

කළු දොළ ඉහළ කොටසේ තවමත් යම් පමණකට හෝ ඉතිරි වී ඇති වනය තුළ බාඳුරා, නාපිරිත්ත, පෝට, ඇතුළු වැල් වර්ග ඉතිරිව ඇතත් වේවැල්, කහ වැල්, තම්බොටු ආදි වැල් වර්ග අද දකින්නට නැත. වනගහනය නිසාම ඇති වූ අඳුර නිසා නම් ලැබු කළු දොළ වර්ෂා සමයේදී දිය ඇල්ලක සිරි ගත්ත ද නාන තටාකයේ පහළ කොටස මේ වන විට ගල් තලාවක් බවට පත් වෙමින් තිබේ.

ප්‍රධාන මාර්ගයේ සිට මිටර් දෙසීයක් වැනි දුරකින් පිහිටි ස්වාභාවික නාන තටාකයක් මෙන්ම මෙතෙක් කිසිම පුද්ගලයකු දියේ ගිලී අනතුරකට පත් නොවූ කළු වළ ළාබාල, බිලිඳු දරුවකුට වුව ද ඉතාම ආරක්ෂිතව දිය නෑමට, විනෝද විය හැකි ස්ථානයකි. එහෙත් දිය ඇල්ලක්, දොළ පාරක් දුටු විට මත් වතුර බොන්නට හිතෙන සිහි විකල් කර ගන්නා පිරිසට නම් කළු වළේ ගල් තලාව වුව මාරන්තික විය හැකිය. නියාගම ප්‍රාදේශීය සභාව යටතේ ඇති කළු වළ ස්වාභාවික නාන තටාකය මේ දිනවල පවතින කොවිඩ් වසංගතය නිසා සංචාරකයන්ගෙන් තොරව පවත්වා ගෙන යන්නට ප්‍රදේශවාසීන් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් ගෙන තිබේ.

ප්‍රධාන නගරයකට ආසන්නව ඇති ස්වාභාවික දිය දහරක් වූ කළු දොළේ දිය නෑමට රටේ සෑම පළාතකින්ම සංචාරකයන් පැමිණෙන බව ඇල්ල අසල ජනතාව කියති. මෙම ස්ථානය සංරක්ෂණය කර ගනිමින් පරිසරයේ එකතු වන අපද්‍රව්‍ය ඉවත් කිරිම, සංචාරකයන් පිළිබඳ නිසි දැනුවත් කිරිමක් සිදු කර ප්‍රාදේශීය සභාවටත් ප්‍රදේශයේ ජනතාවටත් ආදයම් ලැබිය හැකි මනා ලෙස කළමනාකරණයෙන් රැක ගත යුතු පරිසර සම්පතකි. එහෙත් එවැන්නක් සිදු නොවීමෙන් ඇතැම් නොහික්මුණු පිරිස් මත් පැන් පානයටත් අවිනීත හැසිරිම්, කලකෝලාහලවලටත් හේතු වන සිදුවීම් පවා ඉඳ හිට ඇති වන බව කළු වළ අවට ජනතාවගේ අත්දැකීමයි. කොවිඩ් වසංගතය සමනය වූ පසු කළු දොළේ සුදු දිය දහරේ පහස විඳ ගන්නට ඔබට ද හැකිය.

 

පී. සෝමරත්න

නව අදහස දක්වන්න