ස්ත්‍රීපුර ගුහාවේ හුණු මල් අසිරිය | දිනමිණ

ස්ත්‍රීපුර ගුහාවේ හුණු මල් අසිරිය

සුන්දර ස්ථාන පිළිබඳව මෙන්ම ගවේෂණය කළ යුතු තැන් පිළිබඳව නිරන්තරයෙන් හෙළිදරව් කරන අප අද ඔබට කියන්නේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්බොක්ක වසමේ පිහිටි තවත් අපූරු තැනක් පිළිබඳවයි. මේ ස්ථානය පිළිබඳව තොරතුරු අපට පැවසුවේ වසමේ ග්‍රාම නිලධාරි සමන්ත රාජපක්ෂ මහතායි.

මේ ස්ථානය වෙනස්ම අත්දැකීමක් ගෙන දෙන තැනක්. එය හුණු මල් පිරුණු ලෙන් ගුහාවක්. මේ ගමනට මාත් එක්ක ගම්පහ ඩිලාන් සන්දීප මල්ලිත් එකතු වුණේ ඔහුත් කලක සිට සංචාරක මඟපෙන්වන්නකු ලෙස කටයුතු කරන අයකු වීමත් ඔහු නිරන්තරයෙන් මෙවැනි අපූරු තැන් ගැන තොරතුරු මට කියන අයකු නිසාත්.

අප දෙදෙනා වැල්ලවාය නගරයේ සිට යතුරුපැදියක ගමන ඇරඹුවා. වැල්ලවාය ඇල්ල පාරේ කුමාරදාස පාසල ළඟින් වමට ගල්බොක්ක ගමට යන පාර දිගේ උඩහට ගියේ අප එනතුරු බලා සිටි මේ ගමනේ මඟපෙන්වන්නා හමුවීමේ බලාපොරොතුවෙන්. ඒ පාර දිගේ කිලෝමීටර් හතරක් පමණ යන විට ආරණ්‍යයට යන මාර්ගය හමු වෙනවා. එතැනින් තමයි මේ ගමන පටන් ගන්නේ.

මේ ගමන යන්න අපිත් සමඟ තවත් කිහිප දෙනකුත් සම්බන්ධ වුණා. පිරිසක් එක්ක යන එකෙන් මේ ගමනේ තිබෙන අවදානම අඩු වෙනවා.

හෙළගල්බොක්ක කියන්නේ බොහොම සුන්දර පාරම්පරික ගමක්. තවලමෙන් බඩු ඇදපු ගමක් විදියටයි සඳහන් වන්නේ. කාලෙකට කලින් හොඳින් ජනාවාසයක් වෙලා තිබුණා. පාසලක්, තැපැල් කන්තෝරුවක් වගේම පන්සලක් පවා තිබුණා. පන්සලට දානේ දෙන්න කිසිවකු නැති වෙන කොට හිටපු හාමුදුරුවොත් පන්සල අත්හැරලා ගිහින්.

පූනාගල වත්තේ සිංහල දරුවෝ වගේම දමිළ දරුවොත් ඒ ගමේ තිබුණ පාසලේ ඉගෙන ගත්තා. දරුවෝ සියයකට වැඩිය හිටියා කියලා තමයි ගමේ ඒ කාලේ හිටපු තැපැල් මහත්තයා කිව්වේ. එහෙත් අලි කරදර වගේම ගමනාගමනයේ තිබුණ දුෂ්කරතා නිසා ගම්මානේ මිනිස්සු පහළට ආවා. ඒ නිසා ගම්මානය පාළු වුණා. අද වෙන කොට ගල්බොක්ක පාසලේ දරුවෝ ඉන්නෙත් හය හත් දෙනෙක් පමණයි.තැපැල් කාර්යාලයත් ප්‍රධාන පාර අයිනට ගෙනැත්.

මේ ගමන යන්න කලින් අපට පොඩි අනතුරු ඇඟවීමක් ලැබුණේ ජයසිරි මහතාගෙන්. ඔහු කිව්වේ මේ ගුහාව කළුවර නිසා ඇතුළේ කිසිවක් නොපෙනෙන බැවින් හොඳ විදුලි පන්දම් තුන හතරක් රැගෙන යන ලෙස.

හෙළගල්බොක්ක ආරණ්‍ය සේනාසනය දක්වා පාර කපලා තියෙන්නේ ගමේ මිනිස්සු. ඒ පාර දිගේ කිලෝමීටර් එකහමාරක් පමණ යන්න ඕනෑ.සාමාන්‍ය වාහනයකින් වුණත් යන්න පුළුවන්. ඒත් අපි ගියේ පයින්. පයින් යන ගමන බොහොම විනෝදජනකයි. ගමේ මිනිස්සුන්ගේ සුන්දර අත්දැකීම වගෙම ඔවුන් විඳින දුක් ගැහැට ගැන කියන කතා හරිම පුදුමයි. විස්තර කතා කර කර නෙදැනීම කිලෝමීටර් එකහමාරක්ම ඇවිත්.

පාර ඉවර වෙන්නේ ආරණ්‍යය ළඟින්. එතැන ඉඳන් ආරණ්‍යය අසලින්ම ගලා යන ඇළත් එක්කම තිබෙන අඩි පාර දිගේ ඇවිදගෙන යන්න ඕනෑ. මිටර් 250ක් විතර යන කොට දකුණු පැත්තට යන්න තවත් අඩි පාරක් හමු වෙනවා. ඒ පාර දිගේ ටික දුරක් යන කොට විශාල ගලක් තිබෙනවා. එතැනින් වම්පැත්තට යන්න ඕනෑ. ඒ ටිකේ පාරක් නෑ කාලෙකට කලින් කුඹුරු කරපු ප්‍රදේශයක්. ගමේ අය පහළට ගියාට පස්සේ ඒවා අතෑරලා. දැන් ගිනිගිරැස්ස, මානං ගස් වැවිලා. කටු පඳුරූ තිබෙන මූකලානක් මැදින් පාර හදාගෙන තමයි අපිට යන්න සිදු වුණේ.. කොහොම හරි අපි කතාවෙන්ම ගුහාව ළඟටම ආවා. අපට පෙනුණු විදියට කාලෙකින් කවුරුවත් මේ පැත්තට ඇවිත් නෑ. ටිකක් විතර ජරාවාස වෙලා. දිරාගිය අතු ඉතිවලින් වැහිලා. ඒවා හෙමිහිට අයින් කරලා අපි කල්පනාවෙන් පරිස්සමින් ගුහාවට ඇතුළු වුණා.

මේ ගුහාවට ඇතුළු වෙන්න පුළුවන් කවුළු දෙකක් තිබෙනවා. ආධාරකයක් නම් නෑ. පහළට ටිකක් බහින්න ඕනෑ. ගුහා දෙකෙන්ම යන්න තියෙන්නේ එකම ආකාරයකට.

ගුහා කටේ විතරයි තරමක ආලෝකයක් තියෙන්නේ. ඇතුළ කට්ට කරුවලයි. ළඟ ඉන්න කෙනා පේන්නෙත් නෑ. විදුලි පන්දම් තුන හතරක් අපි අතේ තිබුණ නිසා අඳුර ඒතරම් ප්‍රශ්නයක් වුණේ නෑ. ආරම්භයේ ගුහාව අඩි පනහක හැටක විතර උසක් තිබෙනවා. හුනු මල් වලින් ගුහාවෙ බිත්ති වැහිලා. සමහර හුනු මල් පහළට එල්ලෙනවා.

සත්තු, සර්පයෝ ඉන්න පුළුවන් නිසා කල්පනාවෙන් තනියම නම් යන්න සුදුසු නැහැ. විදුලි පන්දම් ළඟම තියාගන්න ඕනෑ.

අපි ගුහාවේ ඉස්සරහට ම ගියා. ඊළඟට හමු වන තැනින් යන්න ඔලුව පහත් කරන්න ඕනෑ. ගමන ටිකක් දුෂ්කරයි කියලා සිතෙන්නේ නැමිලා යන්න වෙන නිසා. තවත් අඩි 10-15ක් විතර යනකොට ගමන තවත් අමාරයි. මහත කෙනකුට එතැනින් එහාට යන්න කොහොමත් බැහැ. මේ කටෙන් ඇතුළට යනවා කියන්නේ හැබෑම වීරයෙක් වෙන්න ඕනෑ. මේ ගුහාව බලන්න යන හැම කෙනකුටම ඒ අභියෝගය ජය ගන්න අමාරුයි. එතැනින් එහා තියෙන ගුහාවේ අසිරිය විඳින්නත් ලැබෙන්නේ නැති නිසායි මම එහෙම කිව්වේ.

ඒ ගුහාවට යන්නත් ඕනෑ දිගා වෙලා. එතැනින් ඊළඟ උමං කටට යන්න තියෙන්නේ අඩියක විතර උස අඩි දෙකහමාරක් විතර පළල කවුළුවකින්. ඒකෙන් තමයි ඊළඟට රිංගලා යන්න තිබෙන්නේ. මින්දි ඉස්සෙල්ලාම රිංඟලා ගියා. ඊළඟට මගේ වාරේ. ඇතුළේ තියෙන්නේ මොනව ද? ඇතුළ කොහොම ද? කියන එක බලන්න යන්නම හිත කියනවා.

ඒත් හිත දෙගිඩියාවෙන්. කෝකටත් කියලා ඉස්සෙල්ලාම කකුල් දෙක පහළට දැම්මා. අත්දැකීම ගන්නේ නැතුව හරියට මේ දේ ඔයාලට විස්තර කරන්නත් බැහැ නේ. ඒ නිසාම ඇතුළට යන්න හිතුවා. දිගා වෙලා පහළට බඩගාන්න හරි නැත්නම් මුණින් අතට හැරිලා තල්ලු වෙන්න හරි ඕනෑ.

ඉස්සෙල්ලා ටිකක් විතර ඇඟ පහළට යන කොට මේක අතර හිර වෙයි දෝ කියලා හිතට ලොකු බයක් දැනුණා. ඇඟ හීතල වෙලා. දාඩිය දාලා. තොල කටත් වේළිලා. කකුල් දෙක පහළට යන්තම් ගෑවෙනකොට තමයි හුස්ම ටික්ක වැටෙන්න ගත්තේ. ඒත් ආයෙත් ඒ සිදුරෙන් උඩට එන්න බව මතක් වෙන කොට ඔන්න ආයෙමත් ඇඟට දාඩිය දැම්මා.

කොහොම හරි ඔන්න ඒ බාධකෙත් ජය ගත්තා. දැන් ඉන්නේ තරමක විශාල කාමරයක් වගේ තැනක. ඒක පුරාම ගල් පර්වත විවිධාකාරයට පිහිටලා තියෙනවා. එතැනින් තවත් ටිකක් ඉස්සරහට යන කොට දෙපැත්තකට යන්න පුළුවන්. අපි ආවා වාගේ සිදුරු සහිත ගුහා හමුවෙනවා . මේක ඇතුළේ තියෙන්නේ කෑලි කපන්න පුළුවන් ඝන අන්ධකාරයක්. වවුලෙක් දෙන්නෙක් එහෙමත් ඉන්නවා. ඉතා හොඳින් වාතාශ්‍රයත් ලැබෙනවා. ඒත් මේ තරම් පිරිසුදු වාතාශ්‍රයක් ඇතුළට ලැබෙන්නේ කොහොම ද කියන එක නම් අපිට ප්‍රශ්නයක්. ඇතුළේ තියෙන සීතල ගතට වගේම සිතටත් කියා ගන්න බැරි ආශ්වාදයක්.

අපි ආවා වගේ ගුහා මේක ඇතුළේ තව තිබෙනවා. ඒත් කොහාට යනව ද කොතැනින් කෙළවර වෙනව ද කියලා සිතා ගන්න බැහැ.

ජීවිතයේ අත්විඳපු ත්‍රාසජනකම අත්දැකීම ගල දිගේ බඩ ගාන එක‍. ආධාරක නැහැ වගේම ජවයක් ගන්නත් කිසිම හැකියාවක් නැහැ. දෑතේ වීර්යයෙන්ම හිතේ එඩියෙන්ම කවුළුවෙන් උඩට ආවා. ඇති යාන්තං හිතට දැනෙන සතුට. වචනවලින් කියා නිම කරන්න බැරි තරම්.

ඒ කාලේ මේ ගුහාව මොන වගේ දේකට යොදා ගන්න ඇති ද කියලා ප්‍රශ්නයක් අපට ඇති වුණා. .මම ඒ ගැන ග්‍රාම නිලධාරි සමන්තගෙන් ඇහුවා. "රජ කාලේ කාන්තාවන් පිරිසක් සඟවලා තිබුණා කියලා කතාවක් නම් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පසු ගිය භීෂණය කාලේ ඔය ගුහාවේ අවි, ආයුධ, හැඳුනුම්පත් වගේ දේවලුත් හංඟලා තිබුණා කියලා කතාවකුත් තිබෙනවා. ඒත් ගුහාව ගැන හරියට ම විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා. අපි එයාගෙන් අහලා බලමු", කියලා සමන්ත රාලහාමි කිව්වා. ඒ තමයි හෙළගල්බොක්කේ හිටපු තැපැල් කන්තොරුවේ තැපැල් ස්ථානාධිපති එන්.ජී.බී. විජේරත්න. දැන් වයස අවුරුදු 80ක්. මේ ගුහාව ගැන ඔහු පැවසුවේ මෙවැන්නක්. "අපි ඒ කාලේ ඔය ගුහාව තියෙන පැත්තේ තමයි හේන් කළේ. ගල්බොක්කේ ගොඩාක් දෙනෙක් හේන් කරන්න ගියේ ඒ පැත්තේ. ඒ කාලේ කතාවක් තිබුණා ඔය හරියේ ගිනි තිව්වම මාස පහක් හයක් ගිහින් දෝව පැත්තෙන් මතුවෙනවා කියලා. ඔය ගුහාවට නම හැදුණා කියන්නේ මෙහෙමයි. ඒ කාලේ කුඹුරු කරපු අයියයි මල්ලි දෙන්නකුට ඔය හරියෙන් කාන්තාවක් මතුවෙලා ඇවිත් 'අයියේ පොඩ්ඩක් එන්න කෝ' කියලා කතා කරලා තියෙනවා. ඒ ගල් ලෙනට අයියා ගිහින් ආයේ ඇවිත් නෑ. ඒ නිසා ඔය ගුහාවට ස්ත්‍රීපුර ගුහාව කියලා කියනවා."

කොරෝනා වසංගතය නිම වුණාම ඔබටත් ත්‍රාසය භීතිය පිරුණු මේ ගුහාව ඇතුළ නරඹලා එහි තිබෙන අමුතුම අත්දැකීම විඳගන්න පුළුවන්.

 

ජී.අයි.ආර්. ගරුසිංහ

නව අදහස දක්වන්න