පුරන් කුඹුරු අස්වද්දන්නට උපන් හපන්නු | දිනමිණ

පුරන් කුඹුරු අස්වද්දන්නට උපන් හපන්නු

කොරෝනා වසංගතය එළැඹීමත් සමඟම සාමාන්‍ය මිනිස් චර්යා රටාවන් විවිධ ආකාරයෙන් වෙනස් වන්නට පටන් ගෙන ඇත. ඇතැම් පුද්ගලයන් එය යහපත් ආකාරයටත් ඇතැම් පුද්ගලයන් එය අයහපත් ආකාරයටත් වෙනස් කර ගෙන තිබේ. බොහෝ පුද්ගලයෝ නිරෝධායන ඇඳිරිනීති සමයේ අත පය හකුළා ගෙන නිවෙසට වී සිටීම වෙනුවට කැත්ත උදැල්ල අතට ගෙන ගොවිතැන් කිරීමට පටන් ගත්හ. මේ අතර ලබුදූව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් බාස්වත්ත ප්‍රදේශයේ හෙද නිලධාරියකු හා තරුණයකු ද මේ ආකාරයට ගොවිතැනට අතගැසූ දෙදෙනෙකි. වසර 30ක් තිස්සේ පුරන්ව පැවති කුඹුරු අක්කර 05ක වගා කිරීම ඔවුහු ආරම්භ කළහ. කාබනික පොහොර පමණක් භාවිත කරමින් වි හා එළවළු භෝග වගා කොට සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට ඔවුන් දෙදෙනා සමත් වී ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදි නිලධාරියකු වන කපිල මහෙන්ද්‍ර මෙන්ඩිස් හා ප්‍රදේශයේ තරුණයකු වන එම්. නිශාන්ත ලසන්ත එක් වි මෙම කුඹුරු යාය වගා කොට ඇත.

අක්කර 04ක පමණ භුමි ප්‍රමාණයක සම්බා වී වර්ගය වගා කොට ඇති අතර අක්කරයක පමණ එළවළු භෝග වගා කොට ඇත. වස විසෙන් තොර හරිත රටක් යන සංකල්පයට අනුගත වෙමින් මොවුන් දෙදෙනා වගා කටයුතු සදහා කාබනික පොහොර වලට අමතරව ක්ෂ්ද්‍රජිවි ද්‍රාවණ, ජිව මුත්‍රම්, මාළු ටොනික් යන දියර වර්ග ද භාවිත කොට ඇත.

වැඩි දියුණු කළ වී වර්ග සඳහා කාබනික හා දියර පොහොර පමණක් භාවිත කරමින් සාර්ථක අස්වැන්නක් ගත හැකි බව හෙදි නිලධාරි කපිල මහේන්ද්‍ර මෙන්ඩිස් මහතා පවසයි. බෝංචි, බණ්ඩක්කා, පිපිඤ්ඤා, වැටකොළු, පතෝල, මෑ කරල්, කරවිල යන එළවළු වර්ග මේ භූමියේ සාර්ථකව වගා කර තිබේ. මේ දිනවල එළවළු වගාවේ අස්වැන්න නෙළමින් පවතින අතර මෙකී එළවළු සඳහා පාරිභෝගිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් ද ඇති බව මොවුහු පවසති.

 

හෙද නිලධාරි කපිල මහෙන්ද්‍ර මෙන්ඩිස් මහතා පවසන්නේ මෙකී එළවළු අස්වැන්නෙන් කොටසක් කරාපිටිය ශික්ෂණ රෝහලේ මුළුතැන්ගෙය සඳහා අලෙවි කිරීමට එම රෝහලේ අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කොට ඇති බවයි.

තමන්ගේ සාර්ථක වගාව පිළිබඳව එම්. නිශාන්ත ලසන්ත මහතා පැවසුවේ මෙවැන්නකි.

"මේ කුඹුරු යාය අවුරුදු 30ක් තිස්සේ පුරන් වෙලා තිබුණේ. පසුගිය කන්නයේදී තමයි මේ යාය නැවත වගා කරන්න කටයුතු කළේ.

ඒ සඳහා අපි විශාල කැප කිරීමක් කළා. මුලින්ම කුකුළු පොහොර, දහයියා අඟුරුයොදාගෙන පස සාරවත් කර ගත්තා. අක්කරයක පමණ එළවළු වගා කරලා තියෙනවා. මිට අමතරව කුරුන්ද ප්‍රදේශය තුළ කාබනික පොහොර පමණක් යොදා ගෙන සුවඳැල්, කුරුලු තුඩ යන දේශීය වී වර්ග හා කොළ වර්ග අපි වගා කරනවා. වස විස නැතිව සහල් හා එළවළු පාරිභෝගික ජනතාවට දෙන්න අපි කටයුතු කරනවා."

වසර ගණනාවක් තිස්සේ කාබනික ගොවිතැන් උපදේශකවරයකු ලෙස කටයුතු කරන නිමල් සිල්වා මහතා ද මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වීය.

"කාබනික ගොවිතැන් කටයුතු කරන විවිධ කණ්ඩායම් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්නවා. ඒ අයත් සමඟ අපි වැඩ කරනවා. මේ පස මැරිලා. ශාකයේ මුල මණ්ඩලය හදන්න ජිව මුත්‍රම් පොහොර යොදනවා. ශාකයේ පෝෂණයට මාළු ටොනික් දියර ද්‍රාවණය යොදා ගන්නවා.

වගාවට හදිසි රෝගයක් ආවොත් ගිනි ප්‍රතිකාර ක්‍රමය භාවිත කරනවා." සාර්ථක වගාවේ ආරම්භය ඔහු පැහැදිලි කළේ එලෙසිනි.

ලබුදුව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි කේ.එච්.ජේ. සඳමාලි මහත්මියගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ බාස්වත්ත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිනී වයි.එම්.ඒ චාන්දනි මහත්මිය විසින් මොවුන් දෙදෙනා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු කොට ඇත.

 

නන්දසිරි වැලිගමගේ

නව අදහස දක්වන්න