ගැමි ජනයා පෝෂණය කරන මිරිදිය මත්ස්‍ය වගාව | දිනමිණ

ගැමි ජනයා පෝෂණය කරන මිරිදිය මත්ස්‍ය වගාව

අපේ මුතුන්මිත්තෝ කෘෂි කර්මාන්තය හා සත්ත්ව පාලනය තම ප්‍රධාන ජීවනෝපාය කර ගෙන ජීවත් වූහ. ඊට අමතරව ධීවර කර්මාන්තයේ ද යෙදී ඇති බව ඉතිහාසඥයන් විසින් කරන ලද පර්යේෂණ අධ්‍යයන රාශියකින් හෙළි කරගෙන ඇත. පැරැණියන් එළවළු පමණක් නොව ආහාරවල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට මෙන්ම රසවත් කර ගැනීමට මිරිදිය මසුන් ආහාරයට ගත් බවට පැහැදිලි සාක්ෂි ඇත. මේ සඳහා ගමේ ඇළ, දොළ, වැව්, ගංගා ආදියෙන් මසුන් අල්ලාගෙන ඇත.

වර්තමානය වන විට මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු තත්ත්වයකට පත්ව ඇත. එය ප්‍රධාන මත්ස්‍ය කාණ්ඩ දෙකක් යටතේ වර්ධනය වී ඇත. ඒ දේශීය මත්ස්‍ය (Indigenous) සහ හඳුන්වා දෙන ලද විශේෂ මත්ස්‍ය (Introduce) අංශය යනුවෙනි. අතීතයේ සිට අපේ ඇළ, දොළ, වැව්, අමුණු, ගංගා ආදියෙහි ජිවත් වූ කාවයියා, ලුලා, මගුරා, පෙතියා, වළයා, කනයා ඉන් එක් කාණ්ඩයකි. අනෙක් කාණ්ඩයට තිලාපියා, කාපයා ඇතුළු විදේශීය රටවලින් හඳුන්වා දුන් මත්ස්‍ය විශේෂ අයත් වේ. කාප විශේෂ චීන හා ඉන්දියානු ලෙස වර්ග දෙකකි. චීන කාප වර්ග ලෙස හිස ලොකු කාපයා, තණකොළ කාපයා සහ රිදී කාපයා ද ඉන්දියානු කාප ලෙස රෝහු, කැට්ලා සහ මිරිගල් යන මත්ස්‍ය විශේෂ අයත් වේ. මීට අමතරව මොසැම්බික් තිලාපියා හා නයිල් තිලාපියා වැනි මත්ස්‍ය හඳුන්වා දී ඇත. එම මත්ස්‍ය විශේෂ අප්‍රිකානු කලාපය මූලික කර ගත් විශේෂ වේ.

1951දී පොළෝන්නරුව පරාක්‍රම සමුද්‍රය වෙත තිලාපියා හඳුන්වා දී ඇත. මෙම මත්ස්‍ය ව්‍යාපෘතිය ඉඟිණියාගල සේනානායක සමුද්‍රය ආශ්‍රයෙන් ද ක්‍රියාත්මක කර ඇත. තිලාපියා මත්ස්‍යයන් හඳුන්වා දී මිරිදිය කර්මාන්තය ප්‍රවර්ධනය කළ ද එම අවධියේ මෙම ව්‍යාපාරය සමඟ බද්ධ වී ඇත්තේ සුළු පිරිසකි. කෘෂිකර්ම කටයුතුවල නියැළෙන අතර වාරයේ මසුන් ඇල්ලීමට ද සුළු පිරිසක් යොමු වී ඇත.

නයිල් තිලාපියා, රතු තිලාපියා, ගිෆ්ට් තිලාපියා යන තිලාපි වර්ග සහ හිස ලොකු කාපයා, සාමාන්‍ය කාපයා, තණකොළ කාපයා සහ රිදී කාපයා යන චීන කාප වර්ග ද, රෝහු, කැට්ලා සහ මිරිගල් යන ඉන්දියන් කාපයන් ද, අද ලංකාවේ ආහාරමය මිරිදිය මත්ස්‍ය වගාව සඳහා බහුලව යොදා ගනී. මෙම මත්ස්‍ය වර්ගයන්ගේ වාසි රාශියකි. ඒවා අතර කෙටි කාලයකදී වැඩි වර්ධන වේගයක් පැවතීම, ස්වාභාවික ජලජ ආහාර මත පෝෂණය වීම, විවිධ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීම, කෘත්‍රිමව පහසුවෙන් අභිජනනය කිරීමට හැකි වීම, මාංසය රසවත් විම, පසු අස්වනු තාක්ෂණය මඟින් කල් තබා ගැනීමට හැකි වීම ආදිය වේ.

ආහාරමය මිරිදිය මත්ස්‍ය වගාව සඳහා හඳුන්වා දී ඇති බොහෝ මසුන් (කාප් විශේෂ) වැව් හෝ අනෙකුත් පද්ධති තුළ බෝවීමක් සිදු නොවේ. එමනිසා මත්ස්‍ය බීජ අභිජනන මධ්‍යස්ථාන වෙතින් ලබා ගෙන ජලාශ තුළ තැන්පත් කළ යුතු වේ. මේ සඳහා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇත. ඒ අතර ඉඟිනියාගල, උඩවලව, දඹුල්ල, කලාවැව, ඉරණමඩු, නුවරඑළිය, මුරුතවෙල මධ්‍යස්ථාන ප්‍රධාන වේ. ඇතැම් අභිජනන මධ්‍යස්ථානවල අභිජනනය කරන්නේ එක් මත්ස්‍ය වර්ගයක් පමණි. ශ්‍රී ලංකාවේ විසිරී ඇති සියලු ජලාශ සඳහා මත්ස්‍ය බීජ සපයා දෙන්නේ මෙම අභිජනන මධ්‍යස්ථාන වෙතිනි. එසේ සපයා දෙන්නේ දින 45 ක් වයසැති මත්ස්‍ය පැටවුන්ය. මත්ස්‍ය ඇසිත්තන් වැනි අඩු වයසක් සහිත අවස්ථා ජලාශවලට මුදාහැරිය හොත් විලෝපිකයන්ට පහසුවෙන් ගොදුරු විය හැකි බැවින් ඇඟිල්ලන් (සෙන්ටි මීටර 5 ක් පමණ දිග) දක්වා වර්ධනය වූ දින 45 ක් පමණ වයස මත්ස්‍ය පැටවුන් පමණක් ජලාශ වෙත මුදා හැරේ.

රජය සතු සියලු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ශ්‍රී ලංකා ජලජීවි සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ජලජිවි සංවර්ධන අධිකාරියේ නියාමනය යටතේ මසුන් ඇති කරන ජලාශ දෙවර්ගයකි. එක් වර්ගයක් නිත්‍ය ජලාශ ලෙස නම් කර ඇත. මින්නේරිය, පදවිය, සේනානායක සමුද්‍රය, පරාක්‍රම සමුද්‍රය වැනි ප්‍රමාණයේ විශාල නොසිඳෙන වැව් මෙම කාණ්ඩයට උදාහරණ ලෙස දැක්විය හැකිය. අනෙක් ජලාශ කාලීන ජලාශ ලෙස නම් කර ඇත. මේවා බොහොමයක් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වර්ෂ අවසාන භාගයේ දී සිඳී යන ඒවා වේ. මේ හැර ගෘහාශ්‍රිත පොකුණු, ජලාශ තුළ ඉදි කරනු ලැබූ කොටු සහ කූඩු තුළ ද මත්ස්‍ය වගාව සිදු කරනු ලබයි. එමෙන්ම කුඹුරුවල ද මසුන් ඇති කෙරේ. මේ වගා ව්‍යුහ තුළ වගා ක්‍රම දෙකක් අනුගමනය කෙරේ. එක් වගා ක්‍රමයක් වන්නේ තනි රෝපණයයි. (ඒක වගා) මෙයින් අදහස් වන්නේ පද්ධතිය තුළ එක් මත්ස්‍ය වර්ගයක් පමණක් වගා කිරීමයි. (උදා: තිලාපියා පමණයි) අනෙක් ක්‍රමය බහු රෝපණයයි (බහු වගාව). මෙහි දී විවිධ භෝජන විලාස දක්වන මත්ස්‍ය විශේෂ එකම වගා පද්ධතියක ඇති කිරීම සිදු කරනු ලැබේ.

මත්ස්‍ය වගාකරුවන් වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණක් වන්නේ මසුන් රෝගවලින් වළක්වා ගැනීම සහ රෝගවලට ප්‍රතිකාර කිරීමයි. වයිරස්, බැක්ටීරියා, දිලීර සහ ප්‍රොටොසෝවා මඟින් මසුන්ට බෝ වන රෝගවලට නිසි පරිදි ප්‍රතිකාර කළ යුතුය. එසේ නොවේ නම් බලාපොරොත්තු වන අස්වැන්න ගැනීමට නොහැකි වනු ඇත. මේ නිසා ආහාරමය මිරිදිය මත්ස්‍ය වගාව පිළිබඳව වගාකරුවෝ පුහුණු කෙරෙති.

ශ්‍රී ලාංකික ගැමි ජනතාවගේ ආර්ථික තත්ත්වය මෙන්ම පෝෂණ තත්ත්වය නංවාලීමේ අරමුණින් ආරම්භ කළ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. කෙටි කලක් තුළ මිරිදිය මත්ස්‍ය වගාව ගම්බද ජනතාව අතර ජනප්‍රිය වීමට හේතු රාශියක් බලපා ඇති බව පෙනේ. එක් අතකින් ඌරු මස්, කුකුළු මස් මුහුදු මාළු මිල පසුගිය කාලය පුරා ඉහළ යෑම නිසා බොහෝ දෙනෙක් මිරිදිය මසුන් ආහාරයට ගැනීමට පෙලඹී සිටිති. මෙය වියදම් නොවන අඩු වියදම් ස්වයං රැකියාවකි. වසරේ ඕනෑම කාලයක අස්වැන්න නෙළා ගැනීමට හැකි වීම තවත් වාසියකි. මහා පරිමාණයෙන් කිරීමෙන් විදේශ විනිමය ඉපයිය හැකි සාර්ථක ව්‍යාපාරයකි. දැනටමත් රතු තිලාපියා අපනයනය කරයි. මෙම කර්මාන්තය වගාකරුවාට සාර්ථක ව්‍යාපාරයක් මෙන්ම ගමේ මන්ද පෝෂණයෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන්ට අඩු මිලැති පෝෂ්‍යදායී ආහාර සපයන අංශයකි. විටමින්, ඛනිජ ලවණ සහ පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු මිරිදිය මාළු මුහුදු මාළු තරමටම ගුණදායකය. ඔමේගා 6, මේද අම්ල, ප්‍රෝටීන්, කැල්සියම්, සෙලිනියම්, ෆෝලික් ඇසිඩ්, මැග්නීසියම්, පොටෑසියම්, නියැසින්, විටමින් E, විටමින් B12, අඩංගු වේ. මේ නිසා මිරිදිය මාළු ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර ශරීරයේ පිළිකා සෛල නැසීමේ විශේෂ ගුණයක් ද තිබේ.

 

(උපදෙස් :- ශ්‍රී ලංකා ජාතික ජලජිවි සංවර්ධන අධිකාරියේ ඌව-නැඟෙනහිර භාර සහකාර අධ්‍යක්ෂ රෝහිත ප්‍රනාන්දු සහ

මොනරාගල දිස්ත්‍රික් ජලජිවි වගා ව්‍යාප්ති නිලධාරි කේ.එම්. කපිල බණ්ඩාර)

 

කෝනාර එම්. ගුණපාල

නව අදහස දක්වන්න