කොස් සහ කුරක්කන් අලුත්ම විදියට කන්නෙ මෙහෙමයි | දිනමිණ

කොස් සහ කුරක්කන් අලුත්ම විදියට කන්නෙ මෙහෙමයි

අප විවිධ වර්ගයේ ටොෆි, කුකීස් සහ බයිට් ඇති තරම් කාලා තිබුණත් ඒවායේ රස බැලුවා මිස ගුණය පිළිබඳ ව සැලකිලිමත් වුණේ නැහැ. ඒත් රස මෙන්ම ශරීරයට ගුණදායක ටොෆි වර්ග, කුකීස් සහ බයිට් වර්ග හදන්න හපනියක් තමයි නිමේෂා දුලාංජලී කියන්නේ. ඇය නිට්ටඹුව ප්‍රදේශයේ. ඒ වගේම ඇය ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක්. ඇයගේ මේ අලුත් නිෂ්පාදන අපේ රටේ වෙළෙඳපොළ පමණක් නොවෙයි විදෙස් වෙළෙඳපොළත් අබිබවා ගිහින්.

ඔබ කරන අලුත් නිෂ්පාදන ගැන කතා කළොත්?

මම කොස්වලට සහ කුරක්කන්වලට අගය එකතු කළ නිෂ්පාදන පෙළක් කරනවා. කොස් සහ කොස් ඇටවලින් කුකීස්, ටොෆී සහ බයිට් හදනවා. කුරක්කන්වලිනුත් කුකීස් හදනවා. බයිට් එක හදන්නේ කොස් මදුලුවලින්. කුකීස් සහ ටොෆී හදන්නේ කොස් ඇට පිටි කරලා.

 

මේ නිෂ්පාදන පෙළ ඔබ හදන්නේ දේශීය වෙළෙඳපොළට ද? විදේශීය වෙළෙඳපොළට ද?

දෙකටම තමයි. විදේශීය වෙළෙඳපොළ කිව්වාම දැනට හොංකොං, යූ.කේ.වලට විතරයි යවන්නේ. ඉදිරියේ දී තවත් රටවල් කිහිපයකට යවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

මේ දේවල් කරන්න ඔබ යොමු වුණේ කොහොම ද?

මෙය මම උපාධිය සඳහා කරපු ව්‍යාපෘතියක්. මම විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධිධාරිනියක්. ඒ වගේම ස්ලිම් (SLIM) ආයතනයේ ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing) සම්බන්ධ පාඨමාලාවක් කළා. ඒ තුළින් මම අලෙවිකරණය පිළිබඳ ව හොඳ අවබෝධයක් ලබා ගත්තා. මොරටුව කාර්මික සංවර්ධන මණ්ඩලයේ පුහුණු වැඩසටහන්වලට සහභාගි වුණා. විශ්වවිද්‍යාලයේ දී මගේ ව්‍යාපෘතිය වුණේ දේශීය ආහාර නව මුහුණුවරකින් අලෙවිකිරීම. ඒ කියන්නේ ඩිජටල්කරණය තුළින් අලෙවි කිරීම. මේ සඳහා මම මූලිකත්වය දුන්නේ කොස්වලට. කොස්වලට කිසිම පොහොරක් දාන්නේ නැහැ. සියයට සියයක්ම කාබනිකයි. ඒකට අගය එකතු කිරීමක් කරන්න ඕනෑ වුණා.

මේ සමඟම මම ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුවකටත් සහභාගි වුණා. අපේ මේ ව්‍යාපෘතිය අන්තිමට ඉතා සුළු කාලයකින් ව්‍යාපාරයක් බවට පත් වුණා. මම මුලින්ම හැදුවේ තල පැකට් එකක්. කිතුල් හකුරු සහ කිරි තල දාලා හැදුවේ. මම කරපු පර්යේෂණයට අනුව තලවල ගුණය ඉතා ඉහළයි. ඒත් දැනට වෙළෙඳපොළේ තිබෙන තලවල සියයට සියයක් තල නෙමෙයි. තවත් දේවල් එකතු කරනවා. මේ නිසා මට ඕනෑ වුණා සියයට සියයක්ම තල දෙන්න. මගේ මේ නිෂ්පාදනය මම හිතපු නැති විදියට සාර්ථක වුණා. ඊට පසුව මම කොස් ටොෆි එක හැදුවා. ඒකටත් හොඳ වෙළෙඳපොළක් හැදුණා.

ඔබ කොයි කාලෙද මේ දේවල් කරන්න පටන් ගත්තේ?

2019දි තමයි මම මුලින්ම මේ දේවල් කරන්න ගත්තේ. 2019 නොවැම්බර් වෙනකොට මම තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට මේ ව්‍යාපාරය ලියාපදිංචි කළා. ඉන්පසුව මට කොළඹ සිටි සෙන්ටර් එකේ කැන් මාර්කට් එකට සම්බන්ධ වීමට හැකියාව ලැබුණා. එතැනදී මම කොස් කුකී එක සහ කුරක්කන් කුකී එක දාලා බැලුවා. එය සාර්ථක වුණා. ජනතාව එය හඳුනා ගත්තා. ඒ සඳහා වෙළෙඳපොළක් හැදුණා. එහිදී මට ගොඩක් අය උදවු කළා. ඒ වගේම මෙහිදී විදෙස් වෙළෙඳපොළ හඳුනාගන්නත් හැකි වුණා.

 

ඔබගේ මේ නිෂ්පාදන සඳහා කොස් සහ කුරක්කන් සමඟ මේවා රසවත් කරන්න තව මොනව ද එකතු කරන්නේ?

හාල් පිටි, ආටා පිටි, කිතුල් හකුරු, රතු සීනි, පොල් සීනි එකතු කරනවා. කෘත්‍රිම රසකාරක හෝ වර්ණකාරක කිසිවක් එකතු කරන්නේ නැහැ. මේවායේ තිබෙන්නේ ස්වාභාවික වර්ණයක්.

 

ජනතාවගේ ඉල්ලුම කොහොම ද?

හොඳ ඉල්ලුමක් තිබෙනවා. මේවා කොළවල ඔතපු ටොෆි නෙමෙයි. කිරි ටොෆි වගේ කොටු කපපු ටොෆි. මේවා කෑවාම ඒවම ඉල්ලන පාරිභෝගිකයන් පිරිසක් මට ඉන්නවා. විදෙස් වෙළෙඳපොළෙත් මගේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඉදිරියේ දී නවසීලන්තයට සහ ජපානයටත් මේ නිෂ්පාදන යවන්න සූදානමින් ඉන්නේ.

 

ඔබ මේ සඳහා අමුද්‍රව්‍ය සපයා ගන්නේ කොහොම ද?

මගේ ප්‍රදේශයෙන් වගේම ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් මට කොස් සහ කොස් ඇට ලැබෙනවා. කුරක්කන් ගන්නේ නම් කැකිරාවෙන්. කිතුල් හකුරු ගන්නේ ගාල්ලේ නෙළුවෙන්.

 

ඔබගේ මේ නිෂ්පාදන කටයුතු සඳහා උදවු කරන සේවක පිරිසක් සිටිනවා ද? කොහොම ද ඒවා කෙරෙන්නේ?

දැනට මම මගේ නිවෙසේ අයගේ උදව්වෙන් මේ දේවල් කරන්නේ. මේ නිෂ්පාදන සියල්ල අපි මැනුවලි කරන්නේ. කොස් ඇට පොඩි කරන්න කපන්න මැෂින්වලින් අමාරුයි. අතින් තමයි කරන්නේ. මේ මාසේ අන්තිම වගේ අලුත් නිෂ්පාදනාගාරයකට යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. එහිදී මැෂින්වලින් ඒ දේවල් කරන්න සැලසුමක් තිබෙනවා. ඒ වගේම එහිදී සේවකයන් තිදෙනකුට පමණ ස්ථිර රැකියා දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. එතැනදී කාන්තාවන් සම්බන්ධ කර ගන්න තමයි සැලසුම් කළේ.

මට මුල සිටම ඕනෑ වුණේ වෙනස් දෙයක් කරන්න. එය මම හිතුවටත් වඩා වෙනස්ම විදියට කර ගන්න පුළුවන් වුණා. ඉදිරියේදී මම තවත් අලුත් දේවල් හදන්න පර්යේෂණ කරමින් ඉන්නේ. ඒවා ළඟදිම වෙළෙඳපොළට ඒවි. මට මේ හැම දෙයක්ම කරන්න මුලින්ම උදවු කළේ මගේ අම්මා. තාමත් මගේ පවුලේ අය, මගේ ස්වාමි පුරුෂයා සහ මගේ යාළුවෝ මට උදවු කරනවා. මගේ එකම ආසාව තමයි මගේ මේ නිෂ්පාදන පිටරටවල වෙළෙඳපොළේ තිබෙනවා දකින්න.

නිමේෂා දුලාංජලීගේ අලුත් නිෂ්පාදන පිළිබඳව දැන ගැනීමට හෝ ඇයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා දීමට හෝ හැකියාවක් ඇති ඕනෑම කෙනකුට [email protected] හරහා ඇය සමඟ සම්බන්ධ වීමට හැකියාව තිබේ.

 

චතුමී පිටිපන

නව අදහස දක්වන්න