අර්ජුන් ගෙන්වා ගන්න රාජ්‍යත්‍රාන්ත්‍රික සාකච්ඡා | දිනමිණ

අර්ජුන් ගෙන්වා ගන්න රාජ්‍යත්‍රාන්ත්‍රික සාකච්ඡා

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ දැනට සිංගප්පූරුවට පළාගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විත්තිකරු උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට දෙරට අතර රාජ්‍යත්‍රාන්ත්‍රික සාකච්ඡා සිදුවන බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දක්වමින් ඊයේ (13) පැවසීය.

ශ්‍රී ලංකා රජය වසර දෙකක් තිස්සේ සිංගප්පූරු රජයෙන් ඉල්ලීම් කළ බවත්, අවසන් වතාවට කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර දක්වා නැති බවත් පැවසූ නාවාන මහතා සිංගප්පූරු රජය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් විත්තිකරු නැතිව නඩු විභාගය ගෙන යෑමට ඉල්ලීමක් ඉදිරි නඩු දිනයේදී කරන බවත් පැවසීය. යහපාලන ආණ්ඩුව සමයේ 2015 පෙබරවාරි 27 දා කළ පළමු මහ බැංකු බැඳුම්කර නිකුතුව මඟින් රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කිරීමට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එසේ පැවසීය.

මහාධිකරණ විනිසුරු චම්පා චානකී රාජරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩුව කැඳවීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති අතර, ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමඟ උදර්පන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් එය සක්‍රීයව පවතින බවත් සඳහන් කළේය.

එම උදර්පන ක්‍රියාවලියට වසර දෙකහාමාරක් ගතව ඇති බවත්, විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් එවන ලෙසට කළ අවසන් ඉල්ලීමට සිංගප්පූරු රජය ප්‍රතිචාරයක් තවමත් දක්වා නැති බවත්, එසේ විත්තිකරු ලබා නොදුනහොත් විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දක්වමින් පැවසීය.

2015 වසරේ පෙබරවාරි මස 27 දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු දස දෙනකු විත්තිකරුවන් කරමින් මේ නඩුව පවරා ඇත.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න