විදුලි කාර්මික ශිල්පීන් වෙනුවෙන් වීටීඒ සහ කෙවිල්ටන් එක් වෙයි | දිනමිණ

විදුලි කාර්මික ශිල්පීන් වෙනුවෙන් වීටීඒ සහ කෙවිල්ටන් එක් වෙයි

දිවයිනේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදන සමාගමක් වන සීමා සහිත කෙවිල්ටන් ඉලෙක්ට්‍රිකල් ප්‍රඩක්ට්ස් පෞද්ගලික සමාගම සහ මෙරට ප්‍රමුඛතම වෘත්තීය පුහුණු ආයතනය වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගියදා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඔරුගොඩවත්ත K – Tec ආයතනයේදී සිදු විය.

ඒ දිවයින පුරා විසීරී සිටින කෙවිල්ටන් සමාගම හා සම්බන්ධ විදුලි කාර්මික ශිල්පීන්ගේ පළපුරුද්ද හා බැදුණු ප්‍රායෝගික දැනුම පරීක්ෂාවට ලක්කොට එම ශිල්පීන්ගේ න්‍යායාත්මක දැනුම හා කුසලතාවන්ගේ අඩුපාඩු පෙර ඇගයීම මඟින් හඳුනාගෙන, ඔවුන්ට අවශ්‍ය වන යාවත්කාලීන දැනුම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු අංශය මඟින් සිදු කර, අවසන් ඇගයීම් කටයුතුවලින් පසු RPL ක්‍රමවේදය යටතේ NVQ – Level 3 සහතික පත්‍ර ලබා දීම සිදු කිරීම සඳහාය. මේ සඳහා වැය වන මුදල් ප්‍රතිපාදන හා පුහුණු ද්‍රව්‍ය කෙවිල්ටන් සමාගම විසින් සපයනු ලබයි.

ලෝකයේ ඉහළ තත්ත්වයකින් යුතු විදුලි උපකරණ නිර්මාණය හා ප්‍රමිතිගත විදුලි කාර්මික සේවාවක් ලබා දීම වෙනුවෙන් විදුලි කාර්මික ශිල්පීන් වෙත උසස් තත්ත්වයේ සහතිකයක් ලබා දීමට කෙවිල්ටන් ආයතනයත්, විදුලි ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කරවීම තුළින් රාජ්‍ය අවශ්‍යතාව හඳුනාගෙන ඒ වෙනුවෙන් කටයුතු කිරීම මේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද්විත්වය විසින් සිදු කිරිම සුවිශේෂි සමාජ මෙහෙවරකි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙහි සභාපති / ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා හා කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂක එස්. සී. වීරසේකර මහතා විසින් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

මේ අවස්ථාවට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය, කෙවිල්ටන් ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි නලීන් ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිස හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා, උප සභාපති මහේෂ් ආරියරත්න මහතා, අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයද සහභාගි වූහ.

නව අදහස දක්වන්න