වෙළෙඳපොළ ක්‍රියාවලියට රජයේ දායකත්වය | දිනමිණ

වෙළෙඳපොළ ක්‍රියාවලියට රජයේ දායකත්වය

“ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඝෘජුව බලපාන අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක් සපුරා ගන්නේ ආනයනය මඟිනි. මේ ආනයන යාන්ත්‍රණය තුළ රජය යම් දායකත්වයක් දරන නමුත්, පෞද්ගලික අංශය වඩාත් සක්‍රීය ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බද්ධ වී සිටියි. එහිදී මහා පරිමාණ ව්‍යාපාරිකයන් සුළු පිරිසක් අත භාණ්ඩ ආනයනය රඳා පැවතීමත්, සහල් නිෂ්පාදනය වැනි රට තුළින්ම උත්පාදනය කර ගත හැකි පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළට ලබා දීමේ යාන්ත්‍රණය මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනකු මත පැවතීමත් නිසා, ඉකුත් කාල වකවානුව තුළ හිතුවක්කාර ලෙස මිල හැසිරවීමට දරන ප්‍රයත්නයන් පැහැදිලිව දක්නට ලැබිණි. එහෙත් මේ තත්ත්වය දිගින් දිගටම මතු වීම, පාරිභෝගිකයා අපහසුතාවට පත් කිරීමක් පමණක් නොව, රටේ සමාන්තර ක්‍රියාකාරිත්වය අඩපණ කරමින්, ආර්ථිකයට තදබල ලෙස බලපෑම් කිරීමකි.”

රටක වෙළෙඳපොළ ස්ථායිකරණය යනු පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා ආරක්ෂා කිරීමෙහිලා අත්‍යවශ්‍ය සාධකයකි. මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම පිළිබඳ විවිධ වාද විවාද මතු වී තිබේ. සහල් වෙළෙඳපොළ මුළුමනින්ම සිය පාලනයට ගැනීමට පෞද්ගලික අංශයට ඉඩ තැබිය යුතු ද? දිගු කාලීන පිළියම් මඟින් රජය මේ අර්බුදයට තිරසාර විසඳුමක් දීම කළ යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳ රජරට විශ්වවිද්‍යාලයේ, කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩබ්. පර්සි විජේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

එක්දහස් නවසිය හැත්තැ හතෙන් පසු දේශීය ආර්ථිකයේ හැඩරුව සහ ක්‍රියාකාරී යන්ත්‍රණය මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගත්තේය. හැත්තැ හතට පෙර දේශීය ආර්ථිකයට බලපාන කාරණාවලට රජය ඍජුවම සහ නිරන්තරයෙන් මැදිහත් විය. එහෙත්, හැත්තැ හතෙන් පසු රටේ ආර්ථික කටයුතුවලට රජයේ මැදිහත් වීම මෙන්ම පෞද්ගලික අංශය ස්වාධීනව සහ නිදහස් ලෙස ආර්ථික කටයුතුවලට සම්බන්ධ වන වටපිටාවක් නිර්මාණය විය. නිදහස් ආර්ථිකය යන අර්ථයෙන් රජයේ අතපෙවීම්වලින් තොරව, පෞද්ගලික අංශයට සිය ව්‍යාපාර පවත්වා ගෙන යෑම, භාණ්ඩ හා සේවා සැපයීම, ආදායම් උත්පාදනය ආදි නිදහස් අවස්ථා රැසක් විවර වී ඇත. එහෙත්, මෑත කාලයේ මේ නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් පැන නඟින ප්‍රශ්න ගණනාවක් රට තුළ උද්ගත වීම නිසා, රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමත්, ජනතා සුභසාධනය වඩාත් සුරක්ෂිත කිරීමත් සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවට අදහස් මතු විය.

වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය

රටේ අභ්‍යන්තර වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය දෙස බලන විට, මෑත කාලය තුළ පාරිභෝගිකයාට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වූයේ, ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඩු මිලකට, පහසුවෙන් සහ සුලබව සපයා ගැනීමේ දී අර්බුද රැසකට මුහුණ දීමට සිදු වීමත් සමඟය. පාරිභෝගිකයාට පමණක් නොව, රජය අසීරුතාවට පත් කරමින් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය සුළු පිරිසක් විසින් හසුරු වන ඒකාධිපති වියරුවක ස්වරූපයක් මතු වීම, අද වන විට සමාජ කතිකාවක් බවට පත්ව ඇත.

සහල් වෙළෙඳපොළ රට තුළ කලින් කලට නිර්මාණය කරවන අර්බුදයම, ඒ ආකාරයෙන්ම ඉකුත්දා සීනිවලටත් බලපෑවේය. සහල් සැඟවීම මෙන්ම වැඩි මිලකින් ලාභ ලැබීම අරමුණු කර ගෙන ඉකුත්දා සීනි සැඟවීමේ මාෆියාව ද කරළියට ආවේය. මුළු ලෝකයටම බලපා ඇති කෝවිඩ් වසංගතයත් සමඟ රටේ ආර්ථිකය විවිධ හැල හැප්පීම්වලට ලක් වුව ද, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඩුපාඩුවකින් තොරව පාරිභෝගිකයාට සැපයීමට රජය නිරතුරුවම උත්සාහ ගත්තේය. එවැනි පරිසරයක් තුළ සීනී වෙළෙඳපොළ නිර්මාණය කළ අර්බුදය, රටේ ආර්ථික හා වෙළෙඳ කටයුතු සඳහා රජය නිරතුරුවම මැදිහත් වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ

වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවීමේදී අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස වර්ගීකරණයක් නිර්මාණය වුණේ, කොරෝනා වසංගතය නිසාම නොවේ. ඊට පෙර ද අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට ඉදිරිපත් කරන පෞද්ගලික අංශයේ අත්තනෝමතික හැසිරීම් නිසා, මේ වර්ගීකරණය මිල පාලනයට වඩාත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක විය. රටක ආර්ථිකය හසුරු වන ප්‍රධානතම බලවේග දෙක වන්නේ, ඉල්ලුම සහ සැපයුමයි. ඉල්ලුම වැඩි වන විට භාණ්ඩයේ මිල ඉහළ යයි. ඉල්ලුම අඩු වන විට මිල පහළ යෑම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත්, මෑත භාගයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වෙළෙඳපොළ හැසිරීම තුළ සැපයුම් දාමය බද්ධ වී තිබෙන ගබඩාකරණය සහ බෙදා හැරීම යන කාරණා දෙක මත, පාරිභෝගිකයාට භාණ්ඩවල මිල දරා ගත නොහැකි ලෙස ඉහළ යන තත්ත්වයක් නිර්මාණය කර ඇත.

යම් භාණ්ඩයක් වෙළෙඳපොළ තුළ සුලබ නොවන විට, මෑත භාගයේ දී මතු වුණු බරපතළම අර්බුදය මිල ඉහළ යෑමයි. මේ අර්බුදයේ යථාර්ථය යටපත් කරමින් ඇති කළ සහ නිර්මාණය කරන ලද ගැටලුවක් බව ප්‍රත්‍යක්ෂ වූයේ, බොහොමයක් අත්‍යවශ්‍ය භාණ්ඩ රට තුළ සුලබව පවතින නමුත්, හිඟයක් මවා පෙන්වීමෙනි. දෙදහස් දහ නවය වසරේ දේශීය වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ තිහකි. එම වසරේ පරිභෝජනය සඳහා වී මෙට්‍රික් ටොන් ලක්ෂ විසි තුනක් සහල් බවට පත් කළේය. ඒ වන විට මෙට්‍රික් ටොන් ලක්ෂ හතක අතිරික්තයක් පැවතුණි. පුදුමයට කරුණ වූයේ, රට තුළ විටින් විට සහල් හිඟයක් මතු වීමය. එසේ නම් සහල් හිඟයක් මතු වුණේ කෙසේ ද?

භාණ්ඩ ආනයනය

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඝෘජුව බලපාන අත්‍යව්‍ය භාණ්ඩ බොහොමයක් සපුරා ගන්නේ ආනයනය මඟිනි. මේ ආනයන යාන්ත්‍රණය තුළ රජය යම් දායකත්වයක් දරන නමුත්, පෞද්ගලික අංශය වඩාත් සක්‍රීය ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බද්ධ වී සිටියි. එහිදී මහා පරිමාණ ව්‍යාපාරිකයන් සුළු පිරිසක් අත භාණ්ඩ ආනයනය රඳා පැවතීමත්, සහල් නිෂ්පාදනය වැනි රට තුළින්ම උත්පාදනය කර ගත හැකි පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළට ලබා දීමේ යාන්ත්‍රණය මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනකු මත පැවතීමත් නිසා, ඉකුත් කාල වකවානුව තුළ හිතුවක්කාර ලෙස මිල හැසිරවීමට දරන ප්‍රයත්නයන් පැහැදිලිව දක්නට ලැබිණි. එහෙත් මේ තත්ත්වය දිගින් දිගටම මතු වීම, පාරිභෝගිකයා අපහසුතාවට පත් කිරීමක් පමණක් නොව, රටේ සමාන්තර ක්‍රියාකාරිත්වය අඩපණ කරමින්, ආර්ථිකයට තදබල ලෙස බලපෑම් කිරීමකි. එය, ආර්ථිකයට හිතකර තත්ත්වයක් නොවේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය දල වශයෙන් ලක්ෂ දෙසිය විස්සක් පමණ වේ. වයස අවුරුදු දහ හතරට අඩු පිරිස මුළු ජනගහනයෙන් සියයට විසි තුනකි. අවුරුදු පහළොවත්, හැට හතරත් අතර පිරිස සියයට හැට හයකි. වයස අවුරුදු හැට පහට වැඩි පිරිස සියයට එකොළහකි. ඒ අනුව රටේ ශ්‍රම බළකාය සියයට හැට හයකි. මේ පිරිස විවිධ ක්‍රම මඟින් රටේ ආර්ථිකය නඟා සිටු වීමට සිය දායකත්වය ලබා දෙති.

එහෙත්, කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ මේ වන විට, රටට උත්පාදනය වන භාණ්ඩ හා සේවා අකර්මන්‍ය වීමක් ද, සීමා සහිත වීමක් ද සිදුව ඇත. නිෂ්පාදනය අඩු වීම නිසා රට තුළ සංසරණය වන භාණ්ඩ හා සේවා ද අඩු වී තිබේ. මේ තත්ත්වය රටේ අත්‍යවශ්‍ය සේවා සැපයීමට හා භාණ්ඩ නිෂ්පාදනයට තදබල ලෙස බලපා ඇත. රට තුළ යම් ප්‍රමාණයක් නිපද වුව ද, ආනයනයට වැඩි ඉඩක් ලබා දීමට සිදුව තිබේ. අල, ලූනු, තිරිඟු පිටි, සහල්, පරිප්පු මීට උදාහරණ වේ. කෙසේ වෙතත් නිෂ්පාදනය අඩු වීමෙන් ඇති වන භාණ්ඩ හා සේවාවල මිල උච්චාවචනයට වඩා, ගබඩාකරණය හා ප්‍රවාහනය හේතුවෙන් භාණ්ඩවල මිල ඉහළ යෑම වෙනත්ම කාරණයකි.

භාණ්ඩ ප්‍රවාහනය සහ ගබඩාකරණය, භාණ්ඩ මිල කෘත්‍රිම ලෙස ඉහළ යෑමට ඝෘජුවම බලපායි. අපේ රට තුළ මෑත කාලයේ මේ තත්ත්වය කැපී පෙනෙන කාරණයක් බවට පත්ව ඇත. මෙය, වෙළෙඳපොළ තුළ ගැටලු රැසක් ඇති කිරීමට තදබල ලෙස බලපා තිබේ. මේ කාරණය, නිරන්තරයෙන් මතු වන සහල් අර්බුදය මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක හිතුවක්කාරී ලෙස මිල ඉහළ යෑමට ද බලපා ඇත. ඉකුත්දා ඇති වුණු සීනි අර්බුදය මීට ගත හැකි ආසන්නතම උදාහරණයයි. සහල් අර්බුදයට බලපා ඇත්තේ ද මේ හේතු කාරණා දෙකයි.

ගබඩා පහසුකම්

ගබඩාකරණ ක්‍රියාවලියේ ස්ථායිතාව බිඳ වැටීම, ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල නිරන්තරයෙන් ඉහළ යෑමට හේතු වී තිබේ. පෞද්ගලික අංශය අත්තනෝමතික ලෙස භාණ්ඩ ගබඩා කරයි. එහෙත්, ප්‍රාථමික නිෂ්පාදකයාට කිසිදු ගබඩා පහසුකමක් නැත. වී ගොවියා මීට හොඳම උදාහරණයයි. එමෙන්ම රජයේ ගබඩා යන්ත්‍රණය අවශ්‍ය තරමින් පුළුල් වී නැත. මේ අසමතුලිතතාව වෙළෙඳපොළ ක්‍රියාවලියේ අසමතුලිතතාවක් නිර්මාණය කරයි.

පෞද්ගලික අංශයේ ගබඩාකරණ ක්‍රියාවලිය පවත්වා ගෙන යන්නේ, රටේ පවතින වෙළෙඳ නීති කඩ කරමිනි. ඉකුත්දා පිටරටින් මෙරටට ආනයනය කළ සීනි කිලෝවක් රුපියල් දෙසිය විසි පහක් දක්වා මිල ඉහළ නංවන ලද්දේ මෙවැනි කූට වෙළෙඳ ක්‍රමෝපායක් උපයෝගි කර ගෙනය. එවැනි තත්ත්වයක් තුළ භාණ්ඩ හිඟය මෙන්ම පාරිභෝගිකයාට දැරිය නොහැකි ලෙස මිල ඉහළ යෑම ද සමාජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙයි. මේ තත්ත්වය පාලනය කිරීමට අනිවාර්යයෙන්ම රජයට මැදිහත් වීමට සිදු වේ. එහිදී රජයට නිෂ්පාදකයා ආරක්ෂා කිරීමත්, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමත් යන කර්තව්‍යය දෙකම පැවරී ඇත. උපරිම මිලක් නියම කිරීමෙන් නිෂ්පාදකයාත්, අවම මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයාත් ආරක්ෂා වන නමුත්, අර්බුදයක් මතු නොවන තැනට කටයුතු කිරීම පහසු කාර්යයක් නොවේ.

භාණ්ඩ සැඟවීමේ වෙළෙඳ උපක්‍රමය පිටුපස ඇත්තේ, අනාගතයේ මිල ඉහළ යනු ඇතැයි යන උපකල්පනයයි. එහෙත් භාණ්ඩ එක් රැස් කර වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා තැබීම, වෙළෙඳපොළ ආචාරධර්ම උල්ලංඝනය කිරීමක් මෙන්ම, ඒ මොහොතේ රජයට පාරිභෝගිකයා වෙනුවෙන් නීති විරෝධීව රඳවා තිබෙන භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සහ රාජ සන්තක කිරීමට බලයක් ඇත.

කෙසේ වෙතත් ආනයනික භාණ්ඩවල මිල උච්චාවචනයට ලෝක වෙළෙඳපොළේ තත්ත්වය ඉඳුරාම බලපායි. එම තත්ත්වය පාලනය කිරීම උගහටය. එහෙත්, ආනයනික භාණ්ඩවල මිල හේතුවෙන් දේශීය පාරිභෝගිකයා නිරන්තරයෙන් පත් වන අහසුතාව මෙන්ම, රජය පත් වන ගැටලුවලට එකම සහ තිරසාර විසඳුම ආනයනය හැකි තරම් සීමා කර, මෙරට නිෂ්පාදනය වැඩි කිරීමය. දෙවැනි කාරණය ආදේශක භාණ්ඩ ප්‍රවර්ධනය, වෙළෙඳපොළ විවෘත කිරීම සහ ඒවා පාරිභෝගිකයන් අතර ජනප්‍රිය කරවීමය. තුන් වැනි කාරණය නිෂ්පාදනය, ගබඩාකරණය සහ බෙදාහැරීමේ යාන්ත්‍රණයට රජය මැදිහත් වීමයි.

වෙළෙඳපොළ ක්‍රියාදාමය

රජයේ මැදිහත් වීම යන්න මෙහිදී මනාව විග්‍රහ කර ගත යුතු වේ. රජය සෑම විටම වෙළෙඳපොළ ක්‍රියාදාමයට අතපෙවීම ප්‍රජාතනත්වාදයට නොගැළපෙයි. අවශ්‍ය වන්නේ අර්බුදකාරී අවස්ථා පැන නඟින විට රජයේ මැදිහත් වීමයි. ශ්‍රී ලංකාවේ සහල් වෙළෙඳපොළ ගත් විට, වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය තුළ පෞද්ගලික අංශයට කිසිදු බාධාවකින් තොරව රජය ප්‍රකාශයට පත් කර ඇති ස්ථාවර මිලට යටත්ව මිලදී ගැනීම් කළ හැකිය. රජය ඒ සඳහා කිසිදු සම්බාධකයක් පනවා නැත. පෞද්ගලික අංශය සතු විය යුතු වී සංචිතය පිළිබඳ රජය නීති පනවා නැත. එම නිසා, කිසිදු අවහිරයකින් තොරව නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය නිසා සහල් නිෂ්පාදකයන්ට ගැටලුවක් පැන නොනැඟෙන පරිසරයක් තුළ, පෙරළා ඔවුන් රජය සහ පාරිභෝගිකයා අපහසුතාවට පත් කරන ක්‍රියාවලියක නිරත වන්නේ නම්, එය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. අපේ රට තුළ දැනට සිදු වෙමින් පවතින්නේ, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සුළු පිරිසක් විසින් සංවිධානාත්මක මිල ත්‍රස්තවාදයක් ඇති කිරීමට උත්සාහ දැරීමකි.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අර්බුදයට බලපාන ආසන්නතම කාරණය, ගබඩාකරණය සහ බෙදාහැරීමේ දාමය කළමනාකරණය නොවීමයි. මේ කාර්යය සඳහා පෞද්ගලික අංශය ඔවුනොවුන්ට අනන්‍ය ක්‍රමවේදයක් සකසා ගෙන ඇත. එහෙත්, මිල අර්බුදයකදී රජයට එය පහසුවෙන් සමනය කිරීම කළ හැකි එකම මඟ, රජයේ ගබඩාකරණය හා බෙදාහැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමයි. කොවිඩ් වසංගතය වැනි සමස්ත ආර්ථික ක්‍රියාවලියම අකර්මන්‍යය වන අවස්ථාවක, භාණ්ඩ හිඟයක් ඇති නොවීමට මේ කළමනාකරණය ඉතා වැදගත් වේ. එසේම, පෞද්ගලික අංශය හිතුවක්කාර ලෙස මිල හැසිර වීමට උත්සුක වන්නේ නම්, එයට ද රජය සතු ශක්තිමත්ම අවිය වන්නේ මේ යාන්ත්‍රණයයි. පෞද්ගලික අංශයේ ආර්ථික ඒකාධිකාරයක් ඇති වීම වැළැක්වීමට නම්, වෙළෙඳපොළ ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම සියයට පනහක රජයේ මැදිහත් වීම ලබා දිය යුතු ය.

වෙළෙඳපොළ ක්‍රියාවලිය

සහල් අර්බුදය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව දක්වන අදහස් තර්කානුකූල බවින් හීනය. පෞද්ගලික අංශය පිරිවැයක් දරා නිෂ්පාදන මිලදී ගත්ත ද, නිෂ්පාදන ක්‍රියාවලිය, ගබඩාකරණය, බෙදාහැරීම කර ගත්ත ද, පෞද්ගලික අංශයේ වෙළෙඳපොළ ක්‍රියාවලියට රජය පහසුකම් සලසයි. බදු සහන ලබා දීම, රාජ්‍ය බැංකු හරහා ණය සහන ආදිය ලබා දෙන නිසා, එය පොදු භාණ්ඩයක් බවට පත් වෙයි. සහල් ලැබෙන්නේ රජයේ විවිධ සහන, දිරි ගැන්වීම මත මෙරට ගොවියා නිෂ්පාදනය කරන වීවලින් නම්, ඒවා මිලදී ගත් පමණින් මිල පාලනය සිය අණසකට ගැනීමට අයිතියක් නැත. මිල අර්බුදය පැන නඟින විට ඊට හේතු අධ්‍යයනය කිරීමට පැහැදිලි බාධාවක් බවට පත්ව ඇත්තේ මෙරට නිෂ්පාදනය පිළිබඳ නිවැරැදි දත්ත නොමැති වීමය. ආහාර නිෂ්පාදනවල, ගොවි නිෂ්පාදනවල අතිරික්තයක් පවතින්නේ ද යන්න පහසුවෙන් සොයා ගත හැක්කේ, නිෂ්පාදිත ප්‍රමාණය නිවැරැදි සංඛ්‍යා ලේඛන සහිතව අධ්‍යයනය කිරීමට ඇති බාධාවයි. එමෙන්ම මිල ස්ථායිකරණයට තිබෙන එක ම සාධකය ගබඩාකරණය, ප්‍රවාහනය සහ බෙදාහැරීම නම්, රජය ද මේ කාර්යයතුනම ශක්තිමත් කර තබා ගත යුතුය. මේ ක්‍රියාවලියට ප්‍රාථමික නිෂ්පාදන පන්තිය දායක කර ගත යුතුය.

පෞද්ගලික අංශය දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල පිටුබලයක් දෙයි. එහෙත් ඔවුන්ට වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය කිරීමට හෝ මිල හැසිර වීමට පරිසරයක් හෝ නිර්මාණය කර නොදිය යුතුය. ප්‍රජාතනත්‍රවාදී වෙළෙඳපොළ ක්‍රමයක් රට තුළ ඇති කිරීමට නම්, ඕනෑම අවස්ථාවක රජය ඒ සඳහා ඉදිරිපත් විය යුතුය. එය, ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ශක්තිමත් කරන්නකි.

සකුන්තලා ජයසිංහ

 

නව අදහස දක්වන්න