බජිරි සහ පාන් පෝලිම් හරහා ගෑස් පෝලිම දක්වා | දිනමිණ

බජිරි සහ පාන් පෝලිම් හරහා ගෑස් පෝලිම දක්වා

මෙම මස 12 දින මහා බ්‍රිතාන්‍යයේ ‘ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබ් අඩවිය ඉතා අපූරු වාර්තාවක් පළ කර තිබුණි. ඒ, ඉහළ යන ඉන්ධන සහ ශ්‍රම පිරිවැය හේතුවෙන් එරට තක්කාලි සහ පිපිඤ්ඤා ගොවීන් විසින් එම වගාවන් නතර කර දැමීමට තීරණය කර ඇති බවය. ලෝකයේ බලවත්ම සහ ධනවත්ම රටක් වන මහා බ්‍රිතාන්‍යය අද වන විට මෑත ඉතිහාසයේ දරුණුතම ආහාර අර්බුදයට මුහුණ දී සිටී. ඉන්ධන, ගෑස්, විදුලිය සහ ඉහළ වැටුප් යන හේතු නිසා එරට භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ඒ අතර එරට බොහෝ ආහාර ඇසුරුම් වැනි කටයුතු සඳහා යොදා ගන්නා කාබන්ඩයොක්සයිඩ් වායු නිෂ්පාදනවල හිඟයක් ද ඇති ව තිබේ. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිව තිබේ. මහජනතාව විසින් ඉදිරියේ දී භාණ්ඩ හිඟය උග්‍ර වේය යන බිය නිසා භාණ්ඩ මිල දී ගැනීම හේතුවෙන් එරට සුපර් මාර්කට් ඇතුළු වෙළෙඳසැල්වල හිස් රාක්ක පමණක් ඉතිරිව තිබෙන ආකාරය මාධ්‍ය මඟින් දැක ගැනීමට හැකි විය.

මහා බ්‍රිතාන්‍යයට දැන් ශීත කාලයේ උදාවෙමින් පවතී. නිවෙස් උණුසුම් කර ගැනීමට එරට ජනතාව ගෑස්වලින් ක්‍රියාත්මක වන යන්ත්‍ර භාවිත කරති. එහෙත් දැන් එරට ගෑස් හිඟයකට මුහුණ දී සිටින අතර, වෙනත් විකල්පයක් නැති නිසා ජම්පර ආදිය වැඩිපුර ඇඳ සිරුර උණුසුම් කරගන්නා ලෙස දැනුම් දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ අතර තවත් සති කිහිපයකින් නත්තල උදා වනු ඇත. එම කාලයේ දී මාංශ පරිභෝජනය ඉහළ යන නමුදු හිඟය නිසා දැනටමත් මස් සලාක ක්‍රමය යටතේ ජනතාවට ලබා දීමට සිදු වනු ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

ඒ අතරම මහා බ්‍රිතාන්‍යය දැඩි ඉන්ධන හිඟයකට ද මුහුණ දී සිටී. එයට හේතුව ඉන්ධන ප්‍රවාහනය සඳහා යොදා ගන්නා රියදුරන් විශාල ප්‍රමාණයක් සේවයට වාර්තා නොකිරීමයි. ඒ අතර ඉන්ධන මිල ද ඉහළ ගොස් ඇත. ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දකින්නට ලැබෙන අතර, නගරවල වාහන ධාවනය ඉතා පහළ මට්ටමකට පත්ව තිබේ. ඒ කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයයි. ලොකු කුඩා සියලුම රටවලට වසංගතය විසින් ඇති කරන පීඩනයේ බර දැනී ඇත. මහා බ්‍රිතාන්‍යයේ සුපර් මාර්කට් අසල ආහාර පෝලිම ද, ඉන්ධන හල් අසල වාහන පෝලිම් ද, සලාක පත්වලට මස් ලබා දෙන බවට පළ වන වාර්තා ද, ශීත සෘතුවට ගෑස්වලින් උණුසුම ලබා ගැනීම වෙනුවට වැඩිපුර ඇඳුම් ඇඳ උණුසුම් ලබා ගැනීමට සිදුවීම ද අපට කියන්නේ කොවිඩ් වසංගතය හමුවේ ඕනෑම බලවත් රටක් වුව ද අසරණ බවට පත් විය හැකි බවයි.

මේ වන විට වසර එකහමාරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට ද කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුව ඇත. අන්තර්ජාතික වෙළෙඳපොළේ ආහාර, ඉන්ධන සහ තවත් භාණ්ඩ බොහොමයක මිල ගණන් ඉහළ ගොස් ඇත. එයට හේතුව වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ මෙන්ම අනෙකුත් රටවල ද භාණ්ඩ සහ සේවා නිෂ්පාදන කටයුතු අඩපණ වී භාණ්ඩ හිඟයක් ඇතිව තිබීමයි. ඒ හේතුවෙන්ම මිල ගණන් ද ඉහළ ගොස් ඇත. ඛනිජ තෙල්, ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි, ආදියෙහි මිල ගණන් ඉහළ ගිය අතර, මේ වන විට ඒවායේ මිල ගණන් වසංගතයට පෙර තිබූ තත්ත්වය හා සසඳන විට ඉතා ඉහළ මට්ටමක පවතියි. ඒ අතරම රටට විදේශ විනිමය ඇදී එන මාර්ග වැඩි ප්‍රමාණයක් අහිමි වීම නිසා ඩොලර් හිඟයක් ද ඇතිව තිබේ.

මේ සියලු අර්බුද මධ්‍යයේ වුව ද රජය ඉතා මෑතක් වන තුරු සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි බලපාන ඉන්ධන, ආහාර ද්‍රව්‍ය සහ ගෑස් ආදියෙහි මිල ඉහළ යෑමට ඉඩ නොදුන් අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සීමා කිරීමට කටයුතු කළේ ද නැත. සමහර භාණ්ඩ සම්බන්ධයෙන් රජය විසින් පාලන මිලක් පවත්වාගෙන ගියේය. රජය විසින් අනුගමනය කළ එම ක්‍රියාමාර්ගය පවත්වාගෙන යාමට හැකි වන්නේ එක්තරා කාල සීමාවක් දක්වා පමණි. කිරිපිටි, ගෑස්, පාන්පිටි ආනයනය කරන සමාගම් එම භාණ්ඩ ගෙන්වන්නේ පාලන මිලට වඩා ඉහළ මිලකට නිසා පාලන මිලට භාණ්ඩ අලෙවි කළ හැකි වන්නේ එක්තරා කාල සීමාවකට පමණි. තමන් වෙත ඇති තොග අවසන් වී ලෝක වෙළෙඳපොළෙන් වැඩි මිලට එම භාණ්ඩ ගෙන්වා දිගින් දිගටම ඒවා අඩු මිලකට අලෙවි කිරීමට එම සමාගම්වලට හැකියාවක් නැත. එවිට එම සමාගම් කරන්නේ භාණ්ඩ ආනයනය අඩු කිරීම හෝ නතර කර දැමීමයි. ඒ හේතුවෙන් භාණ්ඩ හිඟයක් ඇති වේ. පෝලිම් ඇති වේ. රජයකට ලෝක වෙළෙඳපොළේ මිලට වඩා අඩුවෙන් පාලන මිලක් නියම කර පවත්වාගෙන යෑමට හැකි වන්නේ එම අවස්ථාව දක්වා පමණි.

වෙළෙඳුන් විසින් මිල නියම කරන්නේ නම් රජයක් අවශ්‍ය වන්නේ කුමකට ද යනුවෙන් විපක්ෂයේ නායකයන් සහ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍යවලින් දකින්නට ලැබුණි. ඒ කැබිනට් මණ්ඩලය විසින් ගෑස්, කිරිපිටි සහ පාන්පිටි ආදියෙහි මිල පාලනය අත්හැරීමට තීරණය කිරීමත් සමඟය. මේ රටේ පාලන මිල ක්‍රමය උපරිම වශයෙන් ක්‍රියාත්මක වූ යුගය වන්නේ 1970-77 අවධියයි. එම කාල පරිච්ඡේදය තුළ භාණ්ඩ විශාල ප්‍රමාණයක් මිල පාලනය කර තිබුණි. එහෙත් එම භාණ්ඩ බොහෝමයක් වෙළෙඳපොළේ සොයා ගැනීමට නොහැකි විය. 1977දී බලයට පත් වූ ජේආර් ජයවර්ධන මහතා පාලන මිල ක්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කර දැමීමට කටයුතු කළේය. ඔහු ප්‍රකාශ කළේ භාණ්ඩ මිල තීරණය විය යුත්තේ ඉල්ලුම සහ සැපයුම අනුව වෙළෙඳපොළ විසින් බවයි. භාණ්ඩවල මිල පාලනය කිරිම ආණ්ඩුවක වගකීමක් නොවේ. රජය මැදිහත් වූ විට නිදහස් වෙළෙඳපොළ ක්‍රමය බිඳ වැටෙයි. වත්මන් රජයට සමහර භාණ්ඩවල මිල පාලනය කිරීමට සිදු වූයේ කොවිඩ් අර්බුදය හමුවේ මහජනතාවට මුහුණ දීමට සිදු වන පීඩනය අවම කිරීම සඳහාය. එය දිගටම පවත්වාගෙන යා හැකි එකක් නොවේ.

රටේ තත්ත්වය පිළිබඳව මෙන්ම අර්බුදය හමුවේ රජයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද අප නිරීක්ෂණය කළ යුත්තේ හුදෙක් අපට දැනෙන පීඩනයන් සහ බලපෑම අනුව නොවේ. රජයක් විසින් ප්‍රමුඛතාව දිය යුතුය කරුණු පිළිබඳවත්, සමහර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයට අනුගමනය කළ හැකි වෙනත් විකල්ප තිබේ ද යන්නත් අනුවය. කොවිඩ් අර්බුදයෙන් අත්මිඳිය හැකි එකම මඟ වන්නේ එන්නත්කරණයි. විවිධ දුෂ්කරතා තිබුණ ද, මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිය ද විවිධාකාරයෙන් විවේචනය එල්ල වුව ද රජය මේ වන විට ජන සංඛ්‍යාවෙන් සියයට හැටකට ආසන්න ප්‍රමාණයකට එන්නත් දෙකම ලබා දී ඇත. සේවයට වාර්තා නොකළ ද කිසිදු අඩුවක් නැතිව රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ඇති අතර, පුද්ගලික අංශයට ද වැටුප් ගෙවීම සඳහා ආධාර ලබා දී ඇත. විශ්‍රාම වැටුප් අඛණ්ඩව ගෙවනු ලබයි. කිහිප වරක්ම අති විශාල පිරිසකට මූල්‍ය ආධාර ලබා දුන්නේය. බැංකු පොලී අඩු කරන අතරම රජය විසින් සහන ලබා දිය හැකි සෑම ආකාරයකින්ම ඒවා ලබා දී ඇත. අඩුම තරමින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමට බල කිරීමක්වත් කර නැත.

‘බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ වෙබ් අඩවිය ප්‍රකාශ කරන ආකාරයට කොවිඩ් හේතුවෙන් ඉන්දී්‍ය ජන සංඛ්‍යාවෙන් කෝටි විසි තුනක් දුගීභාවයට පත්ව ඇත. ඉන්දියාවේ ග්‍රාමීය දුගීභාවය සියයට 15කින් ද, නාගරික දුගීභාවය සියයට 20කින් ද වැඩි වී ඇත. දෙවැනි ලෝක සංග්‍රාමය අවධියේ ශ්‍රී ලංකාවට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවීම නිසා ආහාර සලාක ක්‍රමය ආරම්භ කරනු ලැබීය. සමහර පිරිස් සහල් හිඟය නිසා ඒ වෙනුවට බජිරි යනුවෙන් හඳුන්වන තෘණ වර්ගයක ඇට ආහාරයට ගත් බව සඳහන් වේ. 1971 කැරැල්ලෙන් පසු මේ රටේ ආහාර, ඇඳුම්, සීනි, සුදු රෙදි පෝලිම් ඇති විය. එහෙත් සමස්ත ජන සංඛ්‍යාවටම බලපාන වසංගත තත්ත්වයක් තිබිය දී පවා මහජනතාවට බලපාන පීඩනය අවම මට්ටමකට ගෙන ඒමට රජයට හැකි වී ඇත. ලොක්ඩවුන් නිසා කෝටි දහයකට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇත.

ශ්‍රී ලංකාව විසින් කොවිඩ් අර්බුදයේ දුෂ්කරම අවධිය පසු කර ඇතැයි සිතමි. තවත් ලොක් ඩවුන් එකකට යෑමට ආණ්ඩුවට ද රටට ද මහජනතාවට ද ශක්තියක්, හැකියාවක් නැතැයි සිතමි. රෝගයෙන් බේරී සිටීමට හැකි වන ආකාරයේ ප්‍රතිශක්ති උත්තේජනයක් රජය විසින් එන්නත්කරණය මඟින් ලබා දී ඇති අතර, රෝගයෙන් බේරී සිටීමේ වගකීම පැවරී ඇත්තේ මහජනතාවටමය. ඉතිරි සීමාවන් ද ඉවත් කර රට සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වූ විට බොහෝ ප්‍රශ්නවලට විසඳුම සොයා ගැනීමට ද හැකිවනු ඇත.

මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

 

නව අදහස දක්වන්න