සසුනට වනස්පතියක් වූ ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියෝ | දිනමිණ

සසුනට වනස්පතියක් වූ ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියෝ

මහින්දාගමනයේ සිට ‍අපේ රටත්, ජාතියත් රැකුණේ මහසඟරුවනේ ආශිර්වාදයත් මඟ පෙන්වීමත් හේතුවෙනි. එහෙයින් අපේ ඉතිහාසයෙන් මහසඟරුවන වෙන් නොකළ හැකි තීරණාත්මක සාධකයකි. විටින්විට පහළ වූ මහයතිවරු මහසඟනට මඟපෙන්වමින් ජාතියක් රටත් නඟා සිටුවූහ.

ඉතිහාසයේ ඈත අවධියේ සිට මෑත අවධිය දක්වා අපේ ශාසන ඉතිහාසය එවැනි යතිවරුන්ගෙන් පොහොසත්ය. එබඳු මහයතිවරයන් අතර අද දින තමන් වහන්සේගේ සුපින්බර දිවියේ 86 වෙනි උපන් දිනය සමරන කෝට්‍‍ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්දර ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් දැක්විය හැකිය.

මෙරට මෑතකාලීන ජාතික, ශාසනික සහ ධර්ම ශා‍ස්ත්‍රීය ප්‍රබෝධයට පුරෝගාමී දායකත්වයක් දැක්වූ මහයතිවරයකු සේ ඉත්තෑපාන මහා නාහිමිපාණන් දැක්විය හැකිය.

දෙමළ කොටි ත්‍රස්තවාදය ඇතුළු ජාතික ව්‍යසනවලින් රටත්, ජාතියත්, සසුනත් නිදහස් කරගැනීම සඳහා අභීතව පෙරට වැඩි ජාතික තලයේ භික්ෂූන් වහන්සේ නමක් වූ උන්වහන්සේ සොඳුරු කළුතර පුරවරයට අයත් ඉත්තෑපාන ගම්පියසේ සැදැහැති පවුලක උපන්නේ පවුලේ බාල දරුවා හැටියටය. පවුලේ මව්පියන් ඇතුළු සෙසු අ‍යගේ ආදරය, කරුණාව ලබමින් හැදී වැඩුණු උන්වහන්සේ පැවිදි වූයේ ඉතා කුඩා වියේදීය.

පැවිදි වීමෙන් අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට එක්වෙමින් කටයුතු කළ උන්වහන්සේට එවක එම පිරිවනේ වැඩ විසූ ධර්මධර,විනයධර මහයතිවරයන්ගේ ඇසුර සහ මඟ පෙන්වීම ගැනීමට තරම් භාග්යඩ හිමිවිය.

කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නාහිමි, හැඩිපන්නල පඤ්ඤාලෝක නාහිමි, කොටහේනේ සිරි පඤ්ඤාකිත්ති නාහිමි, බඹරැන්දේ සිරි සීවලී නාහිමි ඇතුළු ශ්‍රේෂ්ඨ සඟපියවරුන්ගේ මඟපෙන්වීම ලැබීම ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමිගේ ඉදිරි ජීවිතයට ඉමහත් පිටිවහලක් වූ බව පෙනේ.

විද්‍යාලංකාර පිරිවෙනින් මූලික ධර්ම ශාස්ත්‍රය මැනවින් හදාළ ඉත්තෑපාන ධම්මාලංකාර හිමියෝ යොවුන් වියේදී සරසවියෙන් මූලික උපාධිය දිනා ගත්හ.ඒ පන්ති සාමාර්ථයක්ද සහිතවය.

ධර්ම ශාස්ත්‍රීය අධ්‍යයනයේ නිරත වූ උන්වහන්සේ ආචාර්ය උපාධිය දිනාගත්තේ මුල් බුදු සමයේ දාර්ශනික ප්‍රස්තුත නමැති පර්යේෂණාත්මක නිබන්ධයටය.

මෙසේ ධර්ම ශාස්ත්‍රීය ගවේෂකයකු, ගුරුවරයකු, සමාජ ක්‍රියාධරයකු, පුවත්පත් සහ පොත්පත් රචකයකු වශයෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ උන්වහන්සේ සුවිසල් මෙහෙයක් කළහ.

ජාතික දේශපාලනික ප්‍රශ්නවලට මැදිහත්වුවද ඉත්තෑපාන නාහිමියෝ ශාසනික මඟ නසා නොගත්හ.

උන්වහන්සේ වඩාත් ජනප්‍රසාදයට පත්වූයේ ලේඛකයකු වශයෙනි. විශේෂයෙන් ලංකාවේ චරිතාපදාන ලේඛකයකු වශයෙන් උන්වහන්සේට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

ඒ අතර බලංගොඩ අනඳමෙත් මහ නාහිමි සහ මර්සිලිනු පීරිස් ජයකොඩි පියතුමා සමඟ කතාබහ කර උන්වහන්සේ රචිත ග්‍රන්ථ ඉතා කදිමය. හරවත්ය. “පැවිදි පඬිමිණි පහන්” නමැති ග්‍රන්ථයද ඉතා අගනේය. විශිෂ්ටය.

මෙසේ තම උතුම් පැවිදි දිවිය ලෝක ශාසනික යහපතටම යෙද වූ ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක හිමියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!

සුගීෂ්වර බණ්ඩාර

නව අදහස දක්වන්න